කෝලම්
 

කෝලම් යනු නළුවකු පළඳින වේශය යන්නයි. කෝලම් යන වචනය සිංහල භාෂාවට පමණක් සීමා වූ වචනයක් නොවන්නේය. අලංකාරය, හැඩය, වර්ණය, විභූෂණය, ආභරණ යන අර්ථයන්ද "කෝලම්" යන්නෙහි ගැබ් වී තිබේ. "කෝලම් තුල්ලල්" වශයෙන් හැඳින්වෙන නැටුම් විශේෂයක් අද දක්වා දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ භාවිතා වෙයි.


කෝලම් නාට්‍ය ලංකාවේ පහත රට ප්‍රදේශවල පැතිර තිබේ. එනම් බෙන්තර ප්‍රදේශයේ කෝම්මල, සුද්දගොඩ ගම්වලද මිරිස්ස ප්‍රදේශයේ ගිංතොට, උඩුපිල, කුඹුරුගමුව, තොටගමුව, ලක්වැල්ල ගම්වලද අම්බලන්ගොඩ ප්‍රදේශයේද රයිගම් කෝරළය හා අලුත්ගම ප්‍රදේශවල පැවතුණි. පහතරට බෙරය සහ හොරණෑව වාද භාණ්ඩ ලෙස භාවිතා කරන ලදී.


කෝලම් නාට්‍ය රසය රඳා පවතින්නේ පළඳින වෙස් මුහුණු නිර්මාණය හා නැටුම් විලාසිතාව මතය. මෙම අංගවලින් ගැමි කලාවේ අව්‍යාජ හා උසස් කලාත්මක ලක්ෂණ දැකිය හැක. කෝලම් නාට්‍යවල දැකිය හැකි තවත් වැදගත් ලක්ෂණයක් වන්නේ චරිත හාස්‍යයට හා උපහාසයට භාජනය කිරීමයි. ලංකාවේ මුල් වරට ප්‍රභූ පන්තියේ චරිත සහ පාලක පැලැන්තියේ චරිත සියුම් ලෙස උපහාසයට ලක් කරන ලද්දේ කෝලම් නාට්‍යකරුවා විසින් යැයි කිවහොත් එය නිවැරදිය.


කෝලම් රංගනයේ විකට ස්වරූපය මතු කරනු ලබන්නේ වෙස් මුහුණ නිර්මාණය වී තිබෙන ආකාරය හා මුඛරි සංවාදය නිසාය. මෙහිදී ආංගික අභිනය හා වාචික අභිනය ප්‍රධාන වශයෙන් උපයෝගි කොට ගනී. මෙසේ ගැමි ජීවිතයේ දී සමස්ත ගැමියන් නොදකින යමක් කෝලම් නාට්‍යකරුවා විසින් හාස්‍ය හා උපහාසය මුසුව සමාජයට කියාපායි.

කෝලම් නාටකයේ ප්‍රභවය


මහා සම්මත රජුගේ බිසවට නැටුම් සිනා කෙලි දැකීමට උපන් දොළදුක් හේතු කොටගෙන කෝලම් නැටුම් උපන් බව ජනප්‍රවාදයේ සඳහන් වේ. වෙනත් කිසිම වර්ගයක නැටුමකින් සතුටු කළ නොහැකි වූ රජ බිසවගේ දොළදුක සංසිඳු වීම ගැන රජු මහත්සේ තැවෙන්නට විය. මේ ආරංචිය සැලවී සක්දෙව් රජුගේ පඬුපුල් අස්න උණු වී ඒ සඳහා කළ හැකි උපකාරයක් වශයෙන් එක් රාත්‍රියක රජුගේ මඟුල් උයනේ කෝලම් මුහුණ තබන්නට සලස්වන ලදී. පසුදා උදෑසන රාජ සේවකයන් විසින් මේ කෝලම් මුහුණ දැක ඒ බව රජුට සැල කිරීමෙන් අනතුරුව නළුවන් ලවා මේ මුහුණු බැඳගෙන නැටීමට සලස්වන ලදී. මේ ආකාරයෙන් කෝලම් නැටුම්වල ආරම්භය සිදු වූ බවත් එයින් රජ බිසවගේ මනදොළ සංසිඳ වීමට හැකි වූ බවත් කෝලම් උපතේ කියැවේ.

කෝලම් නාට්‍ය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කළ හැකිය. පළමු වැනි කොටසට අයත් වන්නේ නාට්‍ය රඟ දැක්වීමට සුදුසු ලෙස තානායම් පොළක් සකස් කිරීම සඳහා පැමිණෙන පුද්ගලයන්ය. ඔවුන්ගේ රාජකාරිය නියමාකාරව ඉටු නොවේ. සමහර නිලධාරින් පැමිණෙන්නේ වෙරි මතින්ය. මේ ආදී චරිත තුළින් හාස්‍ය මතුවේ. මේ නිසාම කෝලම්වල පළමු කොටස හාස්‍ය හා උපහාසය පිරී තිබේ.

දෙවන කොටස එන්නේ තානායම් පොළ සූදානම් කිරීමෙන් පසුව රජුගේ සහ බිසවගේ සම්ප්‍රාප්ත වීමයි. නියම රැඟුම හෙවත් නාට්‍යමය අවස්ථාව වශයෙන් ගත හැකකේ මෙම දෙවන අවස්ථාවයි. ක්‍රමවත් චරිත අනුසාරයෙන් ගොඩ නැගෙන කතා වස්තුවක් නාට්‍යමය වශයෙන් නිරූපණය කිරීම ආරම්භ වන්නේ මෙතැන් සිටය. මෙම කොටස මුල් කොටස මෙන් හාස්‍ය රසයෙන් යුක්ත නොවේ. මෙහිදී ආගමික, ඓතිහාසික හෝ අද්භූතජනක කතාවක් ඉදිරිපත් කෙරේ. නිදසුන් වශයෙන් මනමේ කතාව, ගෝඨයිම්බර කතාව හා සඳ කිඳුරු කතාව දැක්විය හැකිය.

කෝලම් නැටුම් ඇරඹීමට කලින් ඒ සඳහා මඬුවක් තනා ගනු ලැබේ. මඬුව ඉදිරිපිට සාදන්නේ කරලියයි. ඇතැම් පළාත්වල කරලිය හඳුන්වන්නේ "තානායම් පොළ" යනුවෙනි. තවත් පළාතක "සබය" යන වදන ව්‍යවහාර කරයි.


මඬුව ඉදිරිපිට භූමි භාගය එළිකොට, කවාකාර වන සේ කෝටු සිටුවා ලණු අදිනු ලැබේ. මෙම ලණුවලින් කොටු වූ ප්‍රදේශය කරලියයි. එම කවාකාර ප්‍රදේශයත්, මඬුවත් අතර කණු තුනක් සිටුවා හරස් අතට ශක්තිමත් ලෙස ලී පටි බඳිනු ලැබේ. ඒ ලී පටි අතරට කොළ අතු බස්සවනු ලැබේ. මෙය "වෙස් අත්ත" යන නමින් හැඳින්වේ. රංගනය සඳහා සූදානම් වූ නළුවන් තමන්ගේ අවස්ථාව එනතුරු වෙස් අත්තට මුවා වී සිටිති. කාරිය කරවන රාල හෙවත් සබේ විදානේ සමග එක් පසෙකින් බෙර වාදකයෝ දෙදෙනෙක් ද, හොරණෑ වාදකයෙක්ද සිටිති. හොරණෑව ප්‍රථමයෙන් පහතරට නැටුම් සඳහා යොදා ගනු ලැබුයේ කෝලම් නැටුම්කරුවන් විසිනි. ආලෝකය සඳහා පොල් තෙල් පහන් සහ පන්දම් පත්තු කර තිබේ. ඇතැම් කෝලම් මඬුවල මල් පැලක්ද දක්නට ලැබේ.

(c) Shilpa Sayura Foundation 2006-2017