සොකරි නාටකයේ රංග ශෛලිය
 

සොකරි නාටකයේ පාත්‍රයන් ගණනාවක්ම යෙදෙති. සොකරි, ගුරුහාමි, පරයා, වෙදරාල, සොත්තානා, වඩුරාල, යකඩ තළන්නා, නයි නටවන්නා, හැට්ටියා, කඩවත් රකින්නෝ, කපුරාල හෙවත් විනායක්කාරයා ඇතුළු පිරිස රංගනයට දායක වෙති. රංග භූමියේ එක් පසෙක පොතක් අතින් ගත් ගුරුන්නාන්සේ හෙවත් ගායක මණ්ඩ‍යේ ප්‍රධානියාද, තාලම්පට වයන්නෙක්ද, උඩරට ගැටබෙරය වයන්නෙක්ද සිටිති. සමහර ප්‍රදේශවල හොරණෑ වයන්නෙක්ද සිටින අතර වන්නි ප්‍රදේශවල උඩැක්කි වයන්නෙක්ද සිටී.


ගුරුන්නාන්සේ විසින් ගයන සෑම කවි පෙළක්ම අත්වැල් ගායකයෝද ගායනා කරති. ගැටබෙරය ගායනයට අනුකූලව වාදනය කරයි. සෑම චරිතයක්ම වේදිකාවට එන විට ගුරුන්නාන්සේ විසින් කවියක් හඳුන්වා දෙනු ලැබේ.


සොකරිය හඳුන්වා දුන්නේ මෙසේය.


සොකරිය එන්නී සබයෙන් අවසර ගත්තී
නැටුම් නටන්නී තාලෙට රාග කියන්නී
පද අල්ලන්නේ පියවුරු ළැම සොලවන්නී
කැඩපත ගත්තී සුරතින් මුහුණ බලන්නී


අඳුන් ගාන්නී නෙත් දෙක ඔමරි කරන්නී
මල් ගවසන්නී කොණ්ඩේ ගොතා හෙළන්නී
තෝඩු දමන්නී පවලන් මාල බඳින්නී
සේල අඳින්නී පටකින් ඔමරි දමන්නී

 
පරයා හැඳින්වූයේ මෙසේය.


ඉතින් කියන්නේ තුන්වෙනි වරට නටන්නේ
පරයයි එන්නේ වටපිට නිතර බලන්නේ
කට දොඩවන්නේ ගිය ගිය තැන පෙරෙළන්නේ
කොක් හඬලන්නේ සොකරිය දෙසයි බලන්නේ


වෙදා හැඳින්වූයේ මෙසේය.


වෙදා නටන්නේ පළමුව සබේට එන්නේ
යොදා කියන්නේ තාලෙට ගත වෙව්ලන්නේ
කුදා වෙනෙන්නේ සබයේ කොක් හඬලන්නේ
විදා පාන්නේ අත්දෙක තෑගි ලබන්නේ


සෝක්කා හෙවත් සොත්තානා හැඳින්වූයේ මෙසේය.


සොක්කා එන්නේ දෙවනුව නැටුම් නටන්නේ
දැක්කා උන්නේ සෙල්ලම් යසයි කියන්නේ
බක්කා ඉන්නේ නැටුමට මමයි කියන්නේ
සොක්කා දන්නේ නැටුමට බිම පෙරළෙන්නේ


සොකරි නාටකයේ චරිත නිර්මාණය වී ඇත්තේ කෙසේදැයි මීළඟට විමසා බලමු.

ගුරුහාමි :


ගුරුහාමි තොරොම්බල් පෙට්ටියක් කර තබාගෙන ගමන් කරන ආඬිගුරෙකුගේ ස්වරූපය සිහිගන්වයි. තොරොම්බල්කාරයා යනුවෙන් හඳුන්වන්නේ මාල, වළලු වැනි ආභරණ විකුණන පුද්ගලයන්ය. ගුරුහාමි චරිතය "ආඬිගුරු, ගුරු ස්වාමි, ගුරු සිවනාථ" යන නම්වලින් හඳුන්වන ලදී. මොහු විසුළු පෙනුමක් ද ඇත්තෙකි. ඉතාම අවලස්සන මුහුණක් මොහුට හිමි වී තිබේ. මොහුගේ ඇඳුම බලි ඇඳුරෙකුගෙ ඇඳුමට සමානය.

(c) Shilpa Sayura Foundation 2006-2017