ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාවේ සම්භවය පිළිබඳ සොයන විට අපට ලැබෙන මුල්ම සාධක වන්නේ බෞද්ධ හා බෞද්ධ නොවන පූජා විධි තුළ අන්තර්ගත නාට්‍යමය ලක්ෂණයන්ය. දෙවනුව නාට්‍ය කලාවේ මූලික ලක්ෂණයන් කැටිකොට ගත් මුල්ම ගැමි නාටක වර්ග දෙක වන සොකරි සහ කෝලම් අපට ඉතා වැදගත් සන්ධිස්ථානයකි. මෙම ගැමි නාටක වර්ග දෙකෙන් "සොකරි නාටකය" පිළිබඳ පළමුව සොයා බලමු.
සොකරි නාටකය උඩරට පළාත්වලටත්, වන්නියටත්, සතර කෝරලේ ඇතැම් ප්‍රදේශවලටත් සීමා වූ ගැමි නාටක වර්ගයකි. සොකරි නාටකයේ විශේෂ ලක්ෂණය වන්නේ අනුරූපණ මාධ්‍යයෙන් කතාවක් කීමය. කණ්ඩායමේ නායකයා විසින් කිසියම් සිද්ධියක් කවියෙන් විස්තර කරන අතර නළුවෝ එය අනුකරණාත්මකව නැටුමකින් දක්වති. සමහර නළුවෝ වෙස් මුහුණු පළඳිති. නැටුම හා ගැයුම මෙහි අන්තර්ගත වී තිබෙන අතර මේ සඳහා උඩරට බෙරය නොහොත් ගැටබෙරය යොදා ගනී. ඇතැම් පළාත්වල දවුලද, වන්නියේ උඩැක්කියද යොදා ගැනේ. සොකරි කතාවේ පළාතෙන් පළාතට සුළු සුළු වෙනස්කම් පවතී.
සොකරි නාටකය සාමාන්‍යයෙන් රඟ දක්වනු ලබන්නේ ගොයම් කපා පාගා අවසන් වූ විට කමත රංග භූමිය කොටගෙනය. මේ වනාහි ගම්මුන් විවේකයෙන් ගත කරන කාලයයි. වටකුරු කමත කදිම රඟමඬලකි. හාස්‍යජනක සිදුවීම්වලින් පිරුණු සොකරි නාටකය මෙවැනි අවස්ථාවකට සුදුසු වූ විනෝදාස්වාද මාර්ගයකි.
සොකරි නාටකය පත්තිනි ඇදහිලිවලටත්, කතරගම දෙවියන් පිළිබඳ ඇදහිලිවලටත් සම්බන්ධ කර තිබුණි. සිංහල අවුරුද්දෙන් පසුව වෙසක් හා පොසොන් මාසවලදී සොකරි උත්සව පවත්වයි. මෙම උත්සව සමයේදී පිට පිටම රාත්‍රී හතක් සොකරි නාටකය රඟ දක්වා යළිත් නියමිත දිනයන්හි නාටකය රඟ දක්වති. උත්සව ආරම්භයේදී හැම නළුවෙක්ම පාහේ පත්තිනි දෙවියන්ට සහ කතරගම දෙවියන්ට භාර ඔප්පු කරති.
මෙතෙක් නිර්මාණය වී ඇති සොකරි පිටපත් එකිනෙක සජසන්දනය කර බලා ඒ සියල්ලෙහි සාරාංශයක් ගත් කල සොකරි කතාව මෙසේය.

