සූනියම් යාගය
 

සූනියම් යනු ශුන්‍ය කිරීම හෙවත් නැති භංග කිරීමයි. මෙය සූනියම් කිරීම හා සූනියම් කැපීම යන අර්ථ දෙකකින් ව්‍යවහාර වෙයි. පහතරට ප්‍රදේශයන්හි පවත්නා ප්‍රධාන යකුන් තොවිල් අතර ගෞරව පූර්වක වීශේෂත්වයක් දක්නට ඇති ශාන්ති කර්මයකි. සූනියම් යාගය.


සූනියම් යාගයේ උත්පත්ති කතාවට මූලික වූයේ මහා සම්මත රාජ පරම්පරාව තුළ සිදු වූ පොරොන්දු කඩ කිරීමක අනිසි ප්‍රතිඵලයකි. වසවතු හා විෂ්ණු යන මිත්‍රයින් අතර ඇති කරගත් සම්මුතියක් හා පොරොන්දුවක් අනුව විෂ්ණු වසවතුගේ නැඟණිය සමගත්, වසවතු විෂ්ණුගේ නැේණිය සමගත් විවාහ වන බවට ගිවිස ගනිති. කල්යාමේදී විෂ්ණුගේ නැේණිය වූ මැණික්පාල මහා සම්මත හා විවාහ වීම නිසා ඉහත කී පොරොන්දුව කඩ වීමෙන් උපන් ඊර්ෂ්‍යාව, ද්වේශය හා වෛරය අවසානයේ පළිගැනීමක් බවට පත්විය. ඒ අනුව මැණික්පාල බිසවට නින්දා කොට ඇයගෙන් පළිගැනීමේ අදහසින් රාජ මාලිගයට ගිය වසවතු විසින් කරන ලද අණවිනය විශාල රෝ දුකකට හේතු පාදක වූ බව පෙනේ.


වඩිග පටුන


හූනියම් කැපීම නොහොත් සූනියම් යාගයේ අන්තර්ගත නාට්‍යමය ලක්ෂණවලින් යුත් අංගයකි වඩිග පටුන. මෙහිදී වඩිග දේසේ සිට පැමිණෙන බමුණන් කිහිපදෙනෙකුගේ රංගනයක් ඉතා විචිත්‍ර ලෙස ඉදිරිපත් කෙරේ. මෙය ආරම්භ වන්නේ ප්‍රේක්ෂකයන් තුළ කුතුහලය ජනනය කරවන කදිම රංගොපක්‍රමයකි. නළුවා (යකැදුරා) වීදිය පිටුපස සිට වෙස්වලා ගන්නා අතරතුරේ බෙරකරු ප්‍රේක්ෂක අවධානය රඳවා තබා ගැනීමට බෙර තාල වයයි. ස්වල්ප වේලාවකින් වෙස්වළාගත් ඇදුරා වීදිය පිටුපස සිට මතු වී එක්තරා මුද්‍රාවක් පා නික්ම යයි. මෙට තුන්වරක් කරනු ලැබේ. පසුව නායක ඇදුරා නාට්‍යමය අවස්ථාව මුල පුරයි. එහිදී මෙම කවිය ගායනය කරයි.

වඩිග පුර දේසෙන්
සත් දෙන බමුණු ඇවිදින්
කළ වඩිග පටුනෙන්
මෙසේ බමුණෝ යාග කරමින්


ජටා හිස දරමින
සුද්ද අෂ්ටක වැල්ද කරලන
කුඩය ගෙන සුරතින
මෙසේ බමුණෙක් සබේ නික්මුණ


වඩිග බමුණා සබයට ප්‍රවේශ වන නැටුම් පදය ඉතාමත් ආකර්ශණිය ස්වභාවයක් උසුලයි. හිසේ තලප්පාවක් බැඳ, හිස මුදුනෙහි කොණ්ඩයක් බැඳ, මුහුණ පුරා පැතිරුණ රැවුලක් ද, ඇසට කළු කණ්නාඩි කුට්ටමක් ද, මාල, වළලු හා පුන නූලකින්ද සැරසී සිටී. මොහුගේ ආභරණ අතර නූපුරද ඇත. ඔහු එක් අතක පොතක් හා අනෙක් අතෙහි කුඩයක් ද දරමින් එයි. බමුණා ස්වල්ප වේලාවක් නැටූ පසු එක් ඇදුරෙක් ඉදිරියට ඇවිත් ඔහුගෙන් ප්‍රශ්න අසන්නට ගනී. ඉන්දියාවෙන් එන මේ බ්‍රාහ්මණයා සිංහල නොදනී. ඔහු ව්‍යාජ පාලි බසකින් කතා කරයි. ඔහු කියන දේ ඇදුරාට තේරුම් ගැනීමට නොහැකි වීම හා ඇදුරා කියන දේ ඔහුට තේරුම් ගත නොකැකි වීම හේතුකොට ගෙන හාස්‍ය රසය හා නාට්‍යමය ගුණය මතුවේ.

බමුණා : (අත දිගු කොට දක්වමින්) දේව මනුස්සානං අත්ථා. බහු මනුස්සානං අත්ථා. මණ්ඩප අත්ථි, ආලෝකං අත්ථී කිං කාරණං අත්ථී.

ඇදුරා : තොවිලයක් මේ කරන්නේ තොවිලයක්.
බමුණා : (බෙර හඬට භය වූ විලාසයක් දක්වා බෙරකරු වෙත අත දිගු කොට බෙර වයන්න එපා යැයි අඟවමින්, ඇදුරාගේ) බාසායං අත්ථා.
ඇදුරා : බස් යන්නේ මේ පාරෙන් නෙමේ කන්දෙන් එහා පැත්තේ.

මේ ආදි වශයෙන් හාස්‍ය රසය මතු කරන සංවාද වඩිග පටුන තුළ දක්නට ලැබේ. ප්‍රසාංගික බව පූර්ණව දක්නට ලැබෙන වඩිග පටුන තුළ නළුවන්ගේ නර්තන විලාසය ඉතාමත් කුසලතා පූර්ණ එකකි. පහත රට නැටුම් කලාව ආශ්‍රිතව ගොඩනැගී ඇති මෙම නැටුම් අංග මිනිස් ශරීරය ඉතාමත් සැහැල්ලු ලෙස මෙහෙයවන ආකාරයක් දක්නට ලැබේ. මුහුණේ ඇහිබැම, ඇස් ඇතුළු සියලු අංග සාත්වික අභිනය සඳහා දායකත්වය සපයයි. යොදා ගන්නා ඇඳුම් සහ අභරණ ඉතාමත් විචිත්‍ර නිසා මෙම නැටුම් අංගය තවත් මතු වී පෙනේ. සූනියම් යාගයේ ප්‍රසාංගික ලක්ෂණ දරණ එකම අංගය ලෙස හැඳීන්විය හැකි මෙම වඩිග පටුන වර්තමානයේ දී පෙරහැරවල් සහ විවිධ උත්සව අවස්ථා සඳහා යොදා ගැනේ.


(c) Shilpa Sayura Foundation 2006-2017