රට යකුම හෙවත් රිද්දි යාගය
 

රට යකුම් යාගය පවත්වන්නේ ගර්භණී මවකට දරු ප්‍රසූතීය හොඳින් සිදු වෙන්නත්, උපන් දරුවාගේ ආරක්ෂාවත්, වඳ ස්ත්‍රියට දරු උපත් ලබා දීමත් පිණිසය. මෙහිදී මළු කුමාර යක්ෂයාගේ රූපයක් අඹා කළු කුමාර පිදේනියක්ද දෙනු ලැබේ. මෙහි වීදීය (පසුතලය) කෙසෙල් පිති හා ගොක්කොළවලින් අලංකාර ලෙස නිර්මාණය කර තිබේ.

 
යාගය ආරම්භ වන්නේ හැන්දෑ පිදේනිය නමැති පූජා භාගයෙනි. අනතුරුව රිද්දි බිසවගේ වෙස් ගත් යකැදුරෝ තිදෙනෙක් යාග මඬුවට පිවිසෙති. මේ යකැදුරෝ ස්ත්‍රීන්ගේ විලාසයෙන් ළමැද පියවුරු නෙරා සිටින්නට හැට්ට ඇඳ ගොක් රෑන්වලින් හිස කෙස් ද පැළඳ ගෙන සිටී.



රිද්දි යාගයේ අන්තර්ගත නාට්‍යමය පෙළපාළි ලෙස,


01. නානුමුරය හෙවත් දොළහ පෙළපාළිය.
02. කපුයක්කාරිය

හඳුන්වා දිය හැකිය. මෙම අවස්ථා තුළ නිරූපණය, සමාරෝපය, අනුකරණය, සතර අභිනය හා අවස්ථා නිරූපණය යන නාට්‍යමය ලක්ෂණ දක්නට ලැබේ.

නානුමුරය හෙවත් දොළහ පෙළපාළිය



නාට්‍යමය ලක්ෂණවලින් පොහොසත් අංගයක් ලෙස මෙය දැක්විය හැකිය. මෙහිදී රිද්දි බිසව හා ඇයගේ බිසව් හත්දෙනා ලෙස ස්ත්‍රී වෙස්ගත් යකැදුරන් යාග මඬලට පිවිසේ. අවස්ථා නිරූපණය සඳහා සංවාද බොහෝ සේ යොදා ගැනේ. දීපංකර බුදුන්ට පූජා කිරීම සඳහා වස්ත්‍රයක් විවීමට පෙර පිරිසිදු වන ආකාරය දොළහ පෙළපාළියෙන් නිරූපණය කෙරේ. තමන්ගේ දෝෂ දුරු කර ගැනීමේ අධිෂ්ඨානයෙන් ගෙන හැර පාන අවස්ථා දොළහ මෙහිදී රඟ දැක්වේ.

                                                        




නෑම සඳහා විලට යන ආකාරය දක්වමින් කළයක් උකුලේ තබා යකැදුරා ස්ත්‍රී ගමන් විලාශයෙන් යාග මඬල තුළ ඔබ මොබ යන ආකාරය සිත් ගන්නා සුලුය. නා පිරිසිදු වීමේදී සිදුකරනු ලබන අනුකරණය මෙහිදී දකින්නට ලැබේ. අනතුරුව හිස පීරීම, හිසේ තෙල් ගෑම, කොණ්ඩය බැඳීම ආදි පෙළපාළි දොළහ නිරූපණය කෙරේ.


සෑම පෙළපාලියක්ම ආරම්භ කිරීමට පෙර යකැදුරන් දෙදෙනෙකු අතර පවත්නා සංවාදය තුළින් අර්ථය පහදා දෙනු ලැබේ.

ගැහැනු වෙස්ගත් ඇදුරා : ආයුබෝවන් ගුරුන්නාන්සේ, (ගුරුන්නාන්සෙන්ගෙන් පිළිතුරක් නැති බැවින් වඩාත් උස් හඬකින්) ආයුබෝවන් කිව්වා,
ගුරුන්නාන්සේ : ආයුබෝවන් කිව්වද? හොඳයි ඉතින්?
ගැහැනු වෙස්ගත් ඇදුරා : දොළහ පෙළපාළියක් කරන්න අවසර ගන්නයි හදන්නේ.
ගුරුන්නාන්සේ : දොළහ පෙළපාළියක් වශයෙන් කරන්නද?
ගැහැනු වෙස්ගත් ඇදුරා : ඔව්. දොළහක් පෙළපාළි ගෙනහැර දක්වන්න තමයි. එදා ඒ වඳ බිසව් හතදෙනා තමන්ගේ දෝෂ දුරු කර ගන්නට ඒ ගඟ දියට ඇවිත් දැක්වූ අවස්ථා දොළහ. මේ දොළහ පෙළපාළියෙන් කරලා පෙන්වන්නේ.
ගුරුන්නාන්සේ : මුලින්ම පිරිසිදු වෙන්න නානු සොයන්න ඕනා.
ගැහැනු වෙස්ගත් ඇදුරා : ඇයි නානු ගාන්නේ?
ගුරුන්නාන්සේ : පිරිසිදු වෙන්න. නානු ගාලා ඉස්නානෙට යනකොට අවයෝග මරයෝග නැති වෙනවා.

කපුයක්කාරිය


දොළහ පෙළපාළිය නිරූපණය කිරීමෙන් පසු ඉදිරිපත් කරන කපුයක්කාරියද නාට්‍යමය ලක්ෂණ සහිත අංගයයි. පන් නෙළා ගෙනවිත් පැදුරක් වියා ඒ මත කපු නෙලා ගෙනැවිත් දමන අයුරු මෙහිදී නිරූපණයෙන් සිදුවේ. නූල් නටන ආකාරය හා රෙද්ද වියන ආකාරය අනුරූප මාධ්‍යයෙන් රඟ දක්වයි. අවසානයේදී වියන ලද විවරය දීපංකර බුදුන්ට පූජා කිරීමෙන් පසු දරුවා නළවන ආකාරය නිරූපණය දක්වාම රට යකුම් යාගයේ නාට්‍යමය සහිත අංග බොහෝය. දරුවාගේ රුවට සමාන දඬු රුවක් යාග මඬලට ගෙනවිත් වතුර බේසමේ දමා දරුවා නාවන ආකාරය, දරුවා පිරිසිදු කරන ආකාරය ආදියද අනුරූපණය මාධ්‍යයෙන් ඉදිරිපත් කෙරේ. අවසානයේ දී දරුවා ආතුරයාගේ දෑත් මත තබා සෙත් ශාන්ති කොට තෑගි ලබා ගනියි.

(c) Shilpa Sayura Foundation 2006-2017