අදෘෂ්‍යමාන බලවේගයක් විසින් මිනිසාට ලෙඩ රෝග හා අපල උපද්‍රව එල්ල කරන බව පැරණි ජන සමාජයේ විශ්වාසයකි. ඒ අතරම මෙම උපද්‍රව සුව කිරීමට බලි, බිලි, පජා, පිදේනි, යාග හෝමාදිය පවත්වන ලදී.
මේ ආකාරයට යකුන්ගෙන් සිදුවන විවිධ උවදුරු නැති භංග කිරීම උදෙසා ලංකාවේ පහතරට ප්‍රදේශවල බොහෝ කලක් සිට පැවත එන ශාන්ති කර්ම විශේෂය තොවිල් පවිල් හෙවත් බලි තොවිල් යනුවෙන් මෙරට ප්‍රචලිතය. අද පවා ව්‍යවහාරිකව පවතින පහතරට ප්‍රධාන පෙළේ තොවිල් හතරකි. එනම්,
01. සන්නි යකුම හෙවත් දහ අට සන්නිය
02. සූනියන් කැපිල්ල
03. මහ සොහොන් සමයම
04. රට යකුම හෙවත් රිද්දි යාගය
මේ අතරින් ප්‍රධාන යකුන් උදෙසා පවත්වනු ලබන සන්නි යකුම ඉතා බලසම්පන්න ශාන්ති කර්මයකි. සන්නි යකුම නටනු ලබන්නේ බයවීම, සිහි මුර්ජාව, අංශභාගය, නිතර උණ ගැනීම, කොරවීම, වලිප්පුව, ඔල්මාද වැනි අසනීප සඳහාය.
පහතරට ශාන්ති කර්ම අතුරින් බොහෝ සෙයින්ම නාට්‍යමය ලක්ෂණ දරන යාගය "සන්නි යකුම" වශයෙන් සැලකිය හැකිය. සන්නි යකුන් යාගය සඳහා ඉදි කරනු ලබන තොවිල් පඩුව සන්නි යකුන් විදි මාලාව යනුවෙන් හැඳින්වේ. මෙය තොරණ හතකින් සමන්විත වේ.
සන්නි යකුමේ පුරාවෘත්තය
තම බිසව රැක බලා ගන්නා ලෙස ඇමතිට පවරා සංඛපාල රජු යුද්ධයට යයි. රජු පිටත්ව යන විට බිසව ගැබ්ගෙන සිටින බව ඔහු නොදනියි. බිසවට මී අඹ කෑමේ දොළක් ඇති විය. කවර ආකාරයෙන් හෝ ඇයට මී අඹයක් ලැබී කන අවස්ථාවේ තවත් දුගී ස්ත්‍රියකට මී අඹ කෑමේ දොළක් ඇති වී මින් කොටසක් ලබා ගැනීම සඳහා මාලිගයට පැමිණියාය. කෙසේ හෝ රජ බිසව තම අඹයෙන් කෑල්ලක් දීමට අකමැතිව තනිවම කෑ නිසා මෙම ස්ත්‍රිය දැඩි කෝපයට පත්විය.
රජු යුද්ධය අවසන් කර එන මග බලා සිටින ඇය, ඇමති බිසව අනාචාරයේ හැසිරුණු බවත්, ඇය ගැබ්ගෙන සිටින බවත් පැවසුවාය. කෝපයට පත් රජ කිසිම තොරතුරක් නොවිමසා බිසව දෙපළු කොට මැරීය. ඉන්පසු සුළඟ ආධාරයෙන් බිසවගේ මළ සිරුරේ කොටස් දෙක එකට හා වී කුසයේ සිටින දරුවා වැඩෙන්නට විය. පසුව බිහිවූ කුමරා තම මව නිරපරාදේ මරා දමා ඇති බව දැන ගස්වල පොතු කොල අඹරා ගුලි 18 ක් සාදා ගෙන ඉන් යකුන් 18 දෙනෙකු මවා ගන්නා ලදී. මෙම සගයින් සමඟ විශාලා මහනුවර විනාශ කරන ලදී. අවසානයේ බුදුන් වහන්සේ විශාලා මහනුවරට වැඩ රතන සූත්‍රය දේශනා කර යක්ෂයින් පිරිස එළවා දැමූ බව කියවේ. සන්නි 18 වශයෙන් ගැනෙන්නේ මොවුන් 18 දෙනාය.
යකුන් 18 දෙනා නම් කර ඇත්තේ මෙස්ය.
මරු සන්නිය, ජල සන්නිය, කණ සන්නිය, වෙඩි සන්නිය, ගුල්ම සන්නිය, වාත සන්නිය, පිත් සන්නිය, සෙලෙස්ම සන්නිය, කොර සන්නිය, අමුක්කු සන්නිය, දෙමළ සන්නිය, දේව සන්නිය, ගිනිජල සන්නිය, බිහිරි සන්නිය, යක්ෂ සන්නිය, භූත සන්නිය, යාග සන්නිය හා මහා කෝල සන්නිය යනුවෙනි.
ආතුරයා තොවිල් මඬුවේ පැදුරක වාඩි වී සිටින අතර වෙස් මුහුණු, ඇඳුම් පැළඳුම්වලින් යකුන්ගේ වංශය අරූඨ කරගත් යකැදුරන් පැමිණ යකාගේ භූමිකාව නිරූපණය කරයි. යක්ෂයන් තම තමන්ගේ වග තුග හෙළි කරමින් ගුරුන්නාන්සේ සමග සංවාදයක යෙදී පිදේනි කැපකර ගනිති. මෙම අවස්ථාවේ දී යක්කු බෙරකාර ගුරුන්නාන්සේ සමග විහිළු තහළු, දෙපැත්ත කැපෙන කියුම්, වචන කණපිට පෙරළා කියන කියුම් මෙන්ම ඇතැම් විට අසභ්‍ය වචන පවා හුවමාරු කර ගැනේ.
සූනියම් යක්ෂණිය පළමුව රූමත් කාන්තාවක් ලෙසද, දෙවනුව බඩදරු කාන්තාවක් ලෙසද, තුන්වනුව දරුවකු වඩාගත් මවක් වශයෙන් ද තුන්වරක් සභාවට එන්නීය. තුන්වන අවස්ථාවේ දී ඇතිවන සංවාදය මෙසේය.
යක්ෂණිය : (අත දරුවෙකු නළවමින් සභාවට පිවිසේ. ළමයා අතගාමින් කියයි) පීකොක්, තී රෝස්, බිස්ටල්, නන්දසේන, පොඩිඅප්පුහාමි, පියසේන
යකැදුරා : එක දරුවෙක් වඩාගෙන නම් කීයක් කියෙව්වද? හරිම වැඩක්නෙ බොල
යක්ෂණිය : චන්දෙට, චන්දෙට කරන්න ගිහින් තමයි මට මෙහෙම වැරදුනෙත්. තාත්තලා ගොඩයි.
යකැදුරා : කවුරු කවුරුද ඔය තාත්තලා....
යක්ෂණිය : කම්මලේ බාස් එක තාත්තා කෙනෙක්. එයා ඇවිල්ලා පියසේනයි කියනවා. තව ඉතින් හන්දියේ රාලහාමි. පොලිසියේ මහත්තයා. අල්ලපු කඩේ සුරුට්ටු මුදලාලි. ඔයගොල්ලෝ ඇවිත් එක එක නමින් කතා කරනවා. නම ලියාපදිංචි කරන්න ගිහින් රාලහාමිට තරහා ගිහිල්ලා හොඳම නම කලවම් දාස කිව්වා.
යකැදුරා : ඒකත් එහෙමද?
සන්නි යකුන් යාගයේ වඩාත්ම නාට්‍යමය ලක්ෂණ දරන්නේ සන්නි යකුන්ගේ පැමිණීම පැවති මෙම අවස්ථාවේදී ය. එක් එක් යකුන්ගේ භූමිකා නිරූපණය කරන යකැදුරෝ ඒ ඒ යකුන්ගේ උපන් කතා හා ඔවුන්ගේ විලාසිතා විස්තර වර්ණ හා ගායනා කරති. සංවාද අවසානයේ යකැදුරා විසින් ආතුරයා අතට දෙන පිදේනි තටුව "යක්ෂ භූත භයංකර ඇල්ම බැල්ම ආදිය අදින් නිවාරණයි. තීන්දුයි කියලා හිතාගෙන දෙන්න" කියමින් ආතුරයා අතින් යක්ෂයාට පිදේනි දෙනු ලබයි. අවසානයේ දී මහා කෝල යක්ෂයා පිදේනි තට්ටුව එල්ලාගෙන දුම්මල පන්දමක් අතැතිව ආතුරයාට සෙත් පතමින් අවසාන නැටුම නටයි.
සරත්චන්ද්‍ර මහතා පවසන අන්දමට කෝලම් නාටකය ආභාෂය ලබා ඇත්තේ සන්නි යකුමෙන්ය. සන්නි යකුන් යාගයේ යකුන් හඳුන්වා දෙන සමහර කවි කෝලම් නාටකයේ පාත්‍රයන් හඳුන්වා දෙනු ලබන කවිවලට සමාන බවක් දක්වයි.