ගම්මඬු, දෙවොල් මඬු හා පහන් මඬු
 

දෙවොල් මඬු, ගම් මඬු, මුළු ගමක් එක් වී දෙවියන්ට කැප වී කරන පූජා කර්මයකි. විශේෂයෙන් පත්තිනි දෙවියන් ප්‍රමුඛ දෙවොල් දෙවි, වාහල දෙවි, කතරගම දෙවි, මංගර දොළහ දෙවි ආදී දෙවිවරුන්ට ආරාධනා කොට පොදුවේ වස් දොස් දුරු කිරීමට කරනු ලබන පූජෝත්සවයකි. මෙහිදී වස්දොස් දුරු කිරීම, ලෙඩ දුක් නිවාරණය, සෙත්පැතීම, බෝවන රෝගවලින් ගම් බිම් ආරක්ෂා කර ගැනීම, අස්වැන්න, ඵලදාව හා සශ්‍රිකත්වය පැතීමද පරමාර්ථ වශයෙන් සැලකේ.



සබරගමු පළතේ පත්තිනි දෙවියන් උදෙසා පහන් මඬු යාගය සහ කිරි මඬු යාගය පවත්වයි. ගම් ප්‍රදේශවල බෝවන රෝග එනම්, පැපොල, වසූරිය, සරම්ප ආදිය සුව කිරීමට පහන් මඬු යාගය සහ කිරි මඬු යාගය යොදා ගැනේ.


ගම් මඬුව හා දෙවොල් මඬුව අතර ඇත්තේ සුළු වනස්කමකි. ගම් මඬුව යනු ගමක් එක් වී දෙවියන් උදෙසා කරනු ලබන පොදු පූජාවකි. දෙවොල් මඬුව, දෙවොල් දෙවියන් ප්‍රධාන කොට ගත්තකි. දෙවොල් මඬුව පොදුවේ ගම් වශයෙන් පමණක් නොව තනි තනිව පුද්ගලයන්ට හා පවුල්වලට සෙත්පතාද පවත්වනු ලබන්නකි.

ඉහත සඳහන් ගම් මඬු සහ දෙවොල් මඬු සබරගමු හා පහතරට යන පළාත් දෙකෙහිම පැවති අතර පහන් මඬු, කිරි මඬු සබරගමු පළාතට පමණක් විශේෂ වූවකි. මෙම යාතු කර්ම තුළ නාට්‍යමය ලක්ෂණ අඩංගු පෙළපාළි දක්නට ලැබේ.


01. අඹ විදමන.
02. මරා ඉපැද්දවීම.
03. රාමා මැරීම.
04. දෙවොල් ගොඩ බැසීම.
05. ඇත් බන්ධනය, මී බන්ධනය.


පළමුවෙන් දෙවොල් මඬුව හා ගම් මඬුව තුළ අන්තර්ගත නාට්‍යමය අවස්ථා වන අඹ විදමන, මරා ඉපැද්දවීම, රාමා මැරීම සහ දෙවොල් ගොඩබැසීම පිළිබඳ විමසා බලමු.

* අඹ විදමන


මෙහිදී නිරූපණය වන්නේ පත්තිනි දේවියගේ අඹෙන් උපන් කතා පුවතයි. එපුවත මෙසේය. පඬි රජුගේ උයනෙහි හටගත් අරුම පුදුම අඹගෙඩියක් රැස් විහිදුවමින් බැබළේ. මෙය කැඩීමට කිසිවෙකු සමත් නොවූ හෙයින් රජු තම සේනාව සමග අඹය කඩන්නට පැමිණේ. එහෙත් කිසිවෙකුත් කැඩීමට සමත් නොවේ. අවසානයේ ශක්‍ර දේවේන්ද්‍ර මහලු වෙසක් මවාගෙන පැමිණ මෙතැන පෙනී සිටී.

මොහු අඹය කඩන්නට ඉදිරිපත් වේ. මෙය නැරඹීම සඳහා රජුද පැමිණේ. ශක්‍ර දේවේන්ද්‍ර අඹයට විදිත්ම විශාල ශබ්දයක් උපද්දවමින් අඹය කඩාගෙන වැටේ. මේ දෙස බැලූ රජුගේ ඇසට වැටෙන කිරි බිඳක් නිසා දළ නෙත බිඳී යයි. අඹ ගෙඩිය රන් ඔරුවක දමා කාවේරි නදියේ පාකර හරී. මෙහි ස්නානය කරමින් සිටි මනායර නම් වෙළඳ කුමාරයාට මෙය හමුවී ඔවුන් මෙම අඹය රන් බඳුනක තබා තිබේ. ශක්‍ර දේවේන්ද්‍ර සිඟන වෙසක් මවාගෙන නැවත වතාවක් මනායර කුමරු ඉදිරියේ ද පෙනී සිට අඹය පිළිබඳ අසයි. තමන්ට එවැන්නක් හමු වූ බව කියා එතැනට ගොස් බලන වෙළඳ කුමාරයා සහ ඔහුගේ බිරිඳට ඉතා රූප සම්පන්න වූ කුමාරිකාවක් දකින්නට ලැබේ. එතුමිය පත්තිනි දේවිය ලෙස සැලකේ.

මේ කතා පුවත නාට්‍යානුසාරයෙන් රඟ දැක්වීම "අඹ විදමන" නම් පෙළපාලියේදී සිදුවේ. බොහෝ විස්තර කවියෙන් ගායනා කෙරේ. බොහෝ විට ශක්‍රයා පැමිණෙන තැන තෙක් කවියෙන් විස්තර කරයි. ඉන්පසු මහලු වෙස්ගත් යක්දෙස්සකු පැමිණ තොරණෙහි එල්ලා තිබෙන අඹයට විදි, ඉතා වේගයෙන් වැයෙන බෙර මෙම අවස්ථාව තිව්‍ර කිරීමට සමත් වේ. හීය අල්ලා දුන්නෙන් විදින ආකාරය නිරූපණය කිරීම සිත් ගන්නා සුලුය. නාට්‍යමය ලක්ෂණ අතින් ඉතා විශිෂ්ට ගණයේ ලා සැලකිය හැකි පෙළපාළියක් ලෙස මෙය හැඳින්විය හැකිය.

මරා ඉපැද්දවීම


මෙය පත්තිනි දේවියගේ තවත් සිද්ධියක් නිරූපණය කරන්නකි. අඹෙන් උපන් මේ පත්තිනි දේවිය කන්නගි වශයෙන් හඳුන්වනු ලැබීය. පාලඟ නම් කුමරු සමග සරණ යන ඕ සතුටින් කල් යැව්වාය. පසු කලෙක පාලඟ මාධවී නම් නිළියක් සමඟ සිත්බැඳ ගනී. ඇය නිසා මුදල් නාස්ති කරන පාලඟට අවසානයේ කන්නගි දෙවියන්ගේ සලඹ විකිණීමට සිදුවිය. මදුරා පුරයේ පඬි රජුගේ දේවියගේ සලඹ නැති වී තිබූ හෙයින් ඒ වරදට පාලඟ හසු වේ. ඔහු මක්‍ෂණයට පත්වේ. මේ පුවත ඇසූ කන්නගි තම සැමියා සොයා ගොස් නැවත පණ උපද්දවයි. මේ සිද්ධිය නිරූපණය කරන මරා ඉපැද්දවීම නම් අංගයේ මරුවාගේ පැමිණීම නරඹන්නන්ගේ සිත් ගන්නා අවස්ථාවකි. මෙහිදී ද බොහෝ අවස්ථා කවියෙන් විස්තර කෙරේ. තම සැමියා සොයන්නට යන පත්තිනි දේවියට කාවේරි නදියෙන් එගොඩ වීමට සිදුවේ. යක්දෙස්සෝ මේ සඳහා වතුර බේසමක් භාවිතා කරයි. කෙසෙල් පතුරුවලින් තැනූ ඔරුවක් පා කර යවා කාවේරි නදියෙන් එගොඩ වූ බව කවියෙන් ගායනා කරති. මේ අවස්ථාවේදී මහලු වෙස්ගත් ශක්‍ර දේවේන්ද්‍රයාගේ පැමිණීම දක්නට ලැබේ. පත්තිනි දේවියගේ විරහා ගී ගායනයෙන් පසු පැමිණෙන ශක්‍ර දේවේන්ද්‍ර පාලඟ කුමරුට නැවත පණ උපද්දවයි.

(c) Shilpa Sayura Foundation 2006-2017