ගබඩා කොල්ලය
 

කංකාරිය සඳහා ගම්වාසීන්ගෙන් ලැබෙන ආහාර ද්‍රව්‍ය, භාණ්ඩ සහ කංකාරිය සඳහා කලින්ම වෙන් කරන ලද හාල්, කෙසෙල් කැන්, බුලත් ආදි ද්‍රව්‍ය තබා ඇති ස්ථානය ගබඩාව යනුවෙන් හැඳින්වේ.


ගබඩා කොල්ලය හෙවත් ගේ කොල්ලකෑම යනුවෙන් හඳුන්වන මෙම අංගය තුළ නාට්‍යමය ලක්ෂණ දක්නට ලැබේ. මෙහිදී ප්‍රධාන යක්දෙස්සා ඇතෙකු වෙස් ගැන් වූ නළුවකු සමග දෙවියන්ගේ ආයුධ හා ආභරණ අතරින් ගත් කුඩා සෙන්ඩුවක් ගෙන ගබඩාව වෙත යයි. ඇතා වීරමුණ්ඩ දෙවියන්ගේ ඇතාය. අඩක් විවෘත කළ ගබඩා කාමරය තුළ සහායක යක්දෙස්සා සහ බෙරකරුවෙක් වෙති. ඇතා ලවා දොර බිඳුවා ගෙන ඇතුළු වන බව පෙන්වන මහ යක්දෙස්සා ගබඩාව පරික්ෂා කරන බවක් පෙන්වයි. ගබඩාවේ තිබූ බඩු කංකාරියක් සඳහා වැය වූ බව ගබඩා භාරකරු ලෙස කටයුතු කරන නළුවා පවසයි. ඒ බව කලින් නොදැන් වූ බැවින් ඊට දඩයක් අය කළ යුතු බව ප්‍රධාන යක්දෙස්සා පවසයි. නියම කරන ලද දඩය කේවල් කිරීමෙන් පසු පඬුරක් හා බුලත් අතක් පමණක් දක්වා අඩු කර ගැනීමට ගබඩා භාරකරු සමත් වෙයි.


* ගුරුගේ මාලාව


ගුරුගේ මාලාව, නාට්‍යමය පෙළපාලිය සහ නැටුම් පද යන කොටස් දෙකකින් සමන්විත වූ දීර්ඝ නර්තන අංගයකි. මෙහිදී භාෂාව කතා කිරීමට නොහැකිව අපහසුතාවයන්ට මුහුණ දෙන විදේශකයෙකු හාස්‍යයට ලක්කෙරේ. මෙම ගුරුගේ මාලාව ගුරුගේ බත් මාලාව යනුවෙන් ද හැඳින්වේ.

මෙහිදී ප්‍රධාන නළුවා නල්ලසාමි නමැත්තාගේ චරිතය නිරූපණය කරයි. ඔහු හිසේ සිට පහළට පිරුවටයක් පොරවාගෙන දෑතින් කළු කුමාර දෙවියන් උදෙසා වෙන් කරන ලද බත් මාලාව ගෙන දෙමළ වචන නොවැටහෙන පරිදි උසුරුවමින් රඟමඬලේ එහා මෙහා යමින් සහාය නළුවා සමඟ සංවාදයේ යෙදේ.

මේ පිරිස කතාකරන්නේ තෙළිඟු භාෂාවෙනි. ආතුරයාගේ දෝෂය මුදාහළ හැකිදැයි සහාය නළුවා ඔහුගෙන් විමසයි. එහිදී තමාට ලැබුණු බත් මාලාවේ වූ අඩුපාඩු සපුරාලුව හොත් සුව කරවන බව ඔහු පවසයි. සහාය නළුවා එහිදී අඩුපාඩු සම්පූර්ණ කර දීමට පොරොන්දු වූ පසු ඔහු,


"ගීත කෙරේ - නාද කෙරේ
ගීත නාද කෙරේ - මේ ආතුර දෝසේ කෙරේ - දෝසේ දුරුකෙරේ"

යනාදි ගීතය නල්ලසාමි ගුරු ලවා කියවයි. ඉන්පසු ගුරු බත් මාලාව ආතුරයාගේ හිස මත තබා ඔහුට සෙත් වැඩීමෙන් පෙළපාලිය අවසන් කෙරේ.

මීට අමතරව කොහොඹා කංකාරියේ මහා යක්කම, වංගෙඩි සමයම, කප ඉදිරීම ආදි අවස්ථාවලද නාට්‍යමය ලක්ෂණ දක්නට ලැබේ. කොහොඹා කංකාරියේ ඉහතින් සාකච්ඡා කළ අංගයන් තුළ පහත සඳහන් නාට්‍යමය ලක්ෂණ අඩංගු වී තිබේ.

01. රංග භූමියක් භාවිතා කිරීම.
02. ප්‍රේක්ෂකයන් සිටීම.
03. නළුවන් ප්‍රේක්ෂකයන් නොදන්නා පුවතක් නාට්‍යමය ආකාරයෙන් ඉදිරිපත් කිරීම.
04. වෙස්වළා ගැනීම.
05. අනුකරණය, අනුරූපණය.
06. සංවාද භාවිතය.
07. නැටුම්, ගීත, බෙරවාදන යොදා ගැනීම.
08. පසුතල සැරසිලි යොදා ගැනීම.
09. රංග භාණ්ඩ භාවිතය.

(c) Shilpa Sayura Foundation 2006-2017