නයා යක්කම
 

කොහොඹා කංකාරියට අයත් නාට්‍යමය ලක්ෂණ ඇතුළත් යක්කම් පහ අතරින් විශේෂ ලක්ෂණ නයා යක්කමෙහි දක්නට ලැබේ. මෙහි නිරූපණය වන්නේ සම්මාදම් කර වී සපයා ගෙනවිත් කොටා සෝලිය ගුරු හෙවත් සෝලිය රජ්ජුරුවෝ නමැත්තාට දානයක් දෙන්න යන අතරමඟ දී නයෙකු විසින් දෂ්ට කරනු ලැබීම පිළිබඳ සිද්ධියකි. මෙහි පටන් ගැනීමෙහිදී එක් යක්දෙස්සෙක් ගුරුන්නාන්සේ සමග ඔබ මොබ ඇවිද, ඔවුන් අතර පහත දැක්වෙන අයුරේ සංවාදයක් ඇති වේ.


යක්දෙස්සා : මට මහ ලෙඩ, ගුරුන්නාන්සේ බඩ වැලගෙඩියක් වගේ. දණ ඉස්සරහට නැමෙනවා.
ගුරුන්නාන්සේ : දැන් ඕකට කරන්න දෙයක් තියෙනවා. සෝලිය රජ්ජුරුවන්ට දන් දෙන්න ඕනා.
යක්දෙස්සා : අපි නම් දන් දෙන්නේ හාමුදුරුවන්ට.
ගුරුන්නාන්සේ : ඔව් උඹ පන්සලේම නෙව හිටියේ.
යක්දෙස්සා : එහෙම නම් මේ දානේ කොහොමද දෙන්න ඕනා?
ගුරුන්නාන්සේ : සමාගම් කරලා මට වැඩේ වැරදිලයි තියෙන්නේ මට ඒක කරන්න නම් බැහැ. හොඳයි දානෙට මොනවද දෙන්නේ?
ගුරුන්නාන්සේ : වී, එළවළු එහෙම ඕනා.



මෙහිදී තවත් යක්දෙස්සෙක් පැමිණ රෙදි කඩක් දෙපැත්තෙන් අල්ලාගෙන සම්මාදම් යන ආකාරය අනුකරණය කරමින් වටේ යයි. මල් කිනිත්තක් සහ සතයක් රෙද්ද මතට දමයි. අනතුරුව ඔවිහු බිම එලා ඇති පැඳුරේ වාඩි වී, වී වනන ආකාරය අනුකරණය කරයි. එම අනුරූපණයේදී පහත කවි ගායනා කරයි.


ලාසක් විතර වී අව්වේ වනා ලා
දෙලසක් විතර ඇඟ ගෝමර ඉසි ලා
අතක් දිගට නිල් වරලස මිදිලා
කතෙක් සිටිති වී අව්වේ වනා ලා


මේ සියලු අනුරූපණයන් හා කවි කීම කෙරෙන්නේ බෙර තාලයටය. තවද වී කෙටීම, වී පෙළීම, ලිග්ගල් තැබීම, හාල් සේදීම, හාල් ලිප තැබීම, ලිපට පිඹීම ආදි සියලුම ක්‍රියා කවි හා බෙර පද තාලයන්ට අනුව රිද්මයානුකූලව අනුරූපණයෙන් දැක්වේ. අනතුරුව දන් කඳ කරෙහි තබාගෙන වටේට යති. හදිසියේම දන් කඳ බිම වැටෙයි. එම වැටුණු තැන තුඹසෙහි නයෙක් ඇති බව පවසයි. එළියට එන නයා යක්දෙස්සාට දෂ්ට කරයි. එතැන් පටන් නයාගේ විෂ බැස්සවීම සඳහා නොයෙක් විහිළු හා මන්තර කවි ගායනා කෙරේ.


* වැදි යක්කම


මෙහිදී වැද්දන් කැඳවාගෙන අවුත් ඔවුන් නාවා ආහාර පාන ආදියෙන් සංග්‍රහ කොට පිටත් කිරීම සිදුවේ. මෙම සිද්ධිය නාට්‍යානු ස්වරූපයෙන් දක්වයි. මෙහිදී රංග භාණ්ඩ වශයෙන් පැදුරක්, කුඩා දුන්නක්, ඊතලයක්, අඹ අත්තක්, නව කොළ අතු මිටියක්, පුවක් මල් කිනිත්තක් භාවිතා කරයි.


ආරම්භයේදී එක් යක්දෙස්සෙක් වැද්දා පසුපස එළවයි. මෙසේ දෙතුන් වටයක් ගොස් එළා ඇති පැදුරේ තිබෙන ලී කොටය මත වාඩි වෙයි. වැද්දා සහ යක්දෙස්සා මුහුණට මුහුණ ලා පැදුරේ වාඩි ගනී.

යක්දෙස්සා : අනේ බොලන් මේ සැන්දෑ ජාමේ ගෝසානන්ගත ගෝහාලන්ගත දෙවියන් වහන්සේලා පොරොත්තුව ඉන්නවාලු. ඒක හින්දා ආවඩමු. (වැද්දා නැගිට පැදුර වටේ දුවයි. යක්දෙස්සා ඔහු පසු පස එළවයි. ඒ අතර ඔහු "ආයුබෝවේවා" කියමින් ආවඩයි. එක් වටයක් ගොස් ඔවුහු යළි වාඩි වෙති)


අනේ බොලන් මේ මද්දහන වෙලාවේ ගෝසානන්ගත, ගෝහාලන්ගත දේවතාවුන් වහන්සේලා පොරොත්තුව ඉන්නවලු. ඒක නිසා ආවඩමු. (යළි පෙර සේ ආවඩමින් දුව ගොස් වාඩි වේ. බෙරකාරයෙක් පසෙකින් සිටගෙන සිටී)

යක්දෙස්සා : මේකාට මොකද මේ?
බෙරකරු : මම නොකිව්වට මොකද, මේකට කිරිපණු ගාය.
යක්දෙස්සා : අනේ බොලන් මූ කවුද?
බෙරකරු : මූ වැද්දා
යක්දෙස්සා : ඇත්තටම බොලන් මූ වැද්දාද?
බෙරකරු : බණ්ඩාර වැද්දා
යක්දෙස්සා : හරිම වැද්දෙක්, කදිම වැද්දා, කිරි වැද්දෙක්, අනේ බොලන් මූට කන්න බැරිද?
බෙරකරු : මුන් විදලා මරන්න ඕන ජාතියක්.
යක්දෙස්සා : කිරි වැද්දා, කදිම වැද්දා, ඒ වුනාට මොකද ඌ බණ්ඩාර වැද්දා. මූ මොකද මෙතන මෙහෙම බලන් ඉන්නේ?
බෙරකරු : ඔයාට කන්න ඕන වෙලා.

(c) Shilpa Sayura Foundation 2006-2017