කොහොඹා කංකාරිය
 


 

උඩරට නැටුම් සම්ප්‍රදායේ ආරම්භය ලෙස සැලකෙන කොහොඹා කංකාරිය උඩරට පළාත්වල අතීතයේ සිට පැවත එන්නකි. මෙය සිංහල දේශීය ලක්ෂණවලින් පෝෂිත වූ නර්තන අංගයන්ගෙන් යුත් රංගනයක් ලෙස සැලකිය හැක. කොහොඹා කංකාරිය උඩුනුවර, යටිනුවර, සත්කෝරලය, හාරිස්පත්තුව හා එම ප්‍රදේශවලට යාබඳව පිහිටි දුම්බර, තුම්පනේ, උඩපළාත ආදියෙහි දක්නට ලැබුණි. මෙම ප්‍රදේශවල අස්වනු කපා පාගා අවසානයේ මාර්තු මාසයේ පමණ සිට සිංහල අවුරුදු කාලය දක්වා සාමාන්‍යයෙන් කොහොඹා කංකාරිය රඟ දක්වනු ලැබේ. ගමේ සියලුම ජනතාවට සෙත් පතා කොහොඹා කංකාරිය පවත්වන ලදී.

"කංකාරිය" යන කෙටි නාමයෙන් උඩරට ගැමියන් අතර ව්‍යවහාර වන කොහොඹා කංකාරියේ උපත පිළිබඳ කතාව බොහෝ සෙයින් මිථ්‍යා වෘත්තාන්තයක් ලෙස පෙනී ගිය ද උඩරට ජන වහරෙන්, ඇතැම් සාහිත්‍ය මූලාශ්‍රවලත් මේ පුවත දැකිය හැකිය. කෝට්ටේ යුගය හා ඉන් පසුව ලියන ලද කුවේණි අස්න, සිහබා අස්න හා රාජාවලිය යන කෘතීන්වල කොහොඹා කංකාරිය පිළිබඳ සවිස්තර කතාව ඇතුළත් වේ. එම කතාව සැකෙවින් මෙසේය.


විජය රජු කුවේණියට දුන් පොරොන්දුව කඩ කොට දරු දෙදෙනාත් සමඟ ඔවුන් පලවා හැරීම නිසා කුවේණිය විසින් විජය රජුට ශාප කළ බැව් කියවේ. විජයට කළ මෙම ශාපය පඬුවස්දෙව් රජුට බලපා ඇති බවත්, ඉන් පඬුවස්දෙව් රජු රෝගාතුර වූ බවත් කියවේ. මේ බව දැනගත් ශක්‍ර දේවේන්ද්‍ර මෙය සුව කළ හැක්කේ මලය රජුට පමණක් බැව් දැන ගත්තේය. මලය රජු ගෙන්වා මේ කාර්යය කරවීමේ කාර්යය ඊශ්වරට බාර දෙන ලදී. ශක්‍ර දේවේන්ද්‍රයාගේ නියෝගය පිළිගත් ඊශ්වර මලය රජු ගෙන්වීමට උපක්‍රමයක් යොදන ලෙසද රාහු අසුරේන්ද්‍රට පවරණ ලදී.


ඌරු වෙස්ගත් රාහු අසුරේන්ද්‍ර මලය රජුගේ මඟ‍ල් උයන පරික්ෂා කරන්නට විය. උයන්පල්ලා මලය රජුට මේ ගැන සැලකර සිටි හෙයින් රජුගේ සොහොයුරන් වන කිත්සිරි, සඳසිරි හා දස දහසක් පිරිසද සමඟ මලය රජු ඌරා ලුහු බැන්දේය. ඌරා පසුපස එළවා ආ පිරිස මහනුවර හන්තාන කන්ද දක්වා ගෙන ආවේය. මලය රජු ඌරා අල්ලා ගත් අවසානයේ ඌරාට කඩුවෙන් අනින විටම ඌරා ගල් විය. මේ අවස්ථාවේ ශක්‍ර දේවේන්ද්‍ර පෙනී සිට මලය රජුව මෙරටට ගෙන්වීමට හේතු භූත වූ කරුණු සැලකර සිටින ලදී. පසුව මලය රජු පඬුවස්දෙව් රජු හමුවී කරුණු විමසා එතුමාගේ උයනේ විසිතුරු රඟමඬලක් සාදවා හැටපස් මංගල්‍යයක් කොට රජුගේ සිත් සතුටු කොට රෝග නිවාරණය කළ බැව් කියවේ. එදා සිට අද දක්වා පැවති මේ හැටපස් මංගල්‍යය කොහොඹා කංකාරිය නමි වේ.

 කොහොඹා කංකාරියේ යක්කම් පහ


කොහොඹා කංකාරියේ යක්කම් සංඛ්‍යාව සහ එහි නාම පිළිබඳව විවිධ භේද පවතී. එහෙත් මෙම යක්කම් අතරින් ඌරා යක්කම, නයා යක්කම, වැදි යක්කම, දර්ශන යක්කම හා සීතා යක්කම යන යක්කම් පහ තුළ නාට්‍යමය ලක්ෂණ වැඩි වශයෙන් දක්නට ලැබේ.


* ඌරා යක්කම


මෙම යක්කමෙහි සංවාද සිදුවන්නේ නළුවා සහ ඔහුගේ සහායකයා අතරය. ඔවුන් දෙදෙනා රඟමඬලේ අයිලය සහ යක් ගෙය අතර ගමන් කරමින් සිටිති. ප්‍රධාන නළුවා බොහෝ ගම්දනව් පීරා ඇව්ද්ද කාරණාව මෙහිදී හෙළිකරයි. එනම්, මලය රජතුමාගේ උයන පාළු කළ ඌරා සොයමින් යන වග පවසයි. නැකතට අනුව ඌරා සොයා යන ගමනේ දී ඔහු බළලා, ගෙම්බා, කබරගොයා, ලේනා, කටුස්සා, ඇතා, වඳුරා, නයා, පොළගා යන සතුන්ටත්, හේවිසි කණ්ඩායමටත් ඌරා යැයි රැවටෙයි. අවසානයේ සෑබෑ ඌරා හඳුනාගනී.

ඌරා යක්කම හෙවත් ඌරු නිදමන වූ කලී සංවාදයෙන් හා ගැමි සාහිත්‍යයෙහි දක්නට ලැබෙන නියම ග්‍රාමීය උපහාසය ගැබ් වූ කියමන් වලින්ද යුක්ත වූ ජවනිකාවකි. මෙහි ප්‍රධාන වශයෙන් අනුකරණය දක්නට ලැබේ. පහතින් සඳහන් වන්නේ ඌරා යක්කමට අයත් සංවාදයකි.

යක්දෙස්සා : අනේ බොලන්, මම උදැල්ලෙම මාස ගණනක් ඇවිදිනවා.
බෙරකරු : උදැල්ලේ නෙවේ බං නිදැල්ලේ.
යක්දෙස්සා : නිදැල්ලේ
බෙරකරු : අනේ බොලන්, මොකට ද ඔච්චර කල් ඇවිද්දේ?
යක්දෙස්සා : මලේ රජ්ජුරුවන් වහන්සේගේ කුඹුරු පාළු කරපු හූරා හොයන්න.
බෙරකරු : හූරා නෙවේ බොලන්, ඌරා
යක්දෙස්සා : ඌරා

(c) Shilpa Sayura Foundation 2006-2017