බුද්ධාගම සහ ගැමි ආගම
 

බුද්ධාගම තුළින් මූලික වශයෙන් ඉගැනිවූයේ ජීවිත විමුක්තියයි. වෙනත් ආගම්වල ජනතා සහභාගිත්වයෙන් කෙරෙන පොදු පූජාකර්ම බෞද්ධාගමෙහි දක්නට නැත.


එහෙත් එම අඩුව ලංකාවාසීන්ට නොදැනුණේ ප්‍රාග් බෞද්ධ ආගම් පැවතුන නිසාය. බෞද්ධාගම චීනය, තිබ්බතය හා ජපානය වැනි රටවල් තුළ ක්‍රියාත්මක වීමේ දී එම රටවල්වල පැවති ප්‍රාග් බෞද්ධ ජන ඇදහිලි හා මිශ්‍ර වී තිබේ. එනිසා බෞද්ධාගමට මළවුන්ගේ ඇදහිලි වැනි දේවල් මිශ්‍ර වී තිබේ. අපේ රටේ බෞද්ධාගම පිරිසිදු ආගමක් ලෙස ජනතාව ඇදහූ අතර ගැමි ඇදහිලි ක්‍රම එනම්, යක්ෂ, භූත, දෙවිදේවතාවුන් ඇදහිල්ල ලෞකික ජීවිතයේ ඕනෑ එපාකම් සඳහා උපකාර කරගත් බව පැහැදිලි වේ. ගැමියන්ගේ අස්වැන්න සාරවත් කර ගැනීමට, රෝග භය, දුර්භික්ෂ භය නැති කර ගැනීමට ගැමි ඇදහිලි ක්‍රම භාවිතා කරන ලදී. එහෙත් ගිහියාගේ ජීවිතයට ගැමි ආගමෙන් සිදුවූ මෙහෙය ස්වල්ප වශයෙන් හෝ ඉටු කිරීමට බුද්ධාගම විසින් උත්සාහ කරන ලද බව ඇතැම් සාක්ෂිවලින් හෙළි වේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් හින්දු ආගමේ දෙවිවරු බුද්ධාගමට ඇතුළත් කරන ලදී. භාරතීය ගැමි ජනයාගේ බෝධි වෘක්ෂ පූජාව ද බෞද්ධ පූජා සේ සකස් වුණි.


දේශීය නාට්‍ය කලාවේ මූලය සොයා යාමේදී යාතු කර්ම හා බෞද්ධ පූජා කර්ම යන දෙවර්ගයට අයත් අවස්ථා පිළිබඳව විමර්ශනය කළ යුතුය. නාට්‍යමය ලක්ෂණයන්ගෙන් යුත් අවස්ථා මෙම බෞද්ධ වත් පිළිවෙත් සහ යාතු කර්ම තුළ දක්නට ලැබේ.


නාට්‍යමය ලක්ෂණ ඇතුළත් බෞද්ධ පූජා කර්ම වශයෙන්,


* සති පිරිත් පිංකම අවසානයේදී යෙදෙන දොරකඩ අස්න කීම.
* යුගාසන බණ (ආසන දෙකේ බණ)
* ආලවක දමනය.
* මිලින්ද ප්‍රශ්නය
ආදිය හඳුන්වා දිය හැකිය.


නාට්‍යමය ලක්ෂණ ඇතුළත් යාතු කර්ම වශයෙන්,


* ගම් මඩු, දෙවොල් මඩු, පහන් මඩු.
* කොහොඹා කංකාරිය.
* රට යකුම (රිද්දි යාගය)
* සන්නි යකුම.
* දහ අට සන්නිය.
* සූනියම් යාගය
ආදිය හඳුන්වා දිය හැකිය


නාට්‍යමය ලක්ෂණ ඇතුළත් බෞද්ධ පූජා කර්ම


මහායාන බෞද්ධාගමේ බලපෑමත් සමගම ලංකාවේ සති පිරිත් පිංකම් පැවැත්විණි. සති පිරිත් පිංකමක් අවසානයේ දක්නට ලැබෙන "දොරකඩ අස්න කීම" නාට්‍යමය ලක්ෂණයන්ගෙන් සමන්විත අවස්ථාවකි. සති පිරිත් අවසානයේ ක්‍රියාත්මක කෙරෙන දොරකඩ අස්න කියනු ලබන්නේ දේව දූතයෙකුගේ ස්වරූපයෙන් වෙස්වළා ගත් කුඩා ළමයෙකි. ඔහු හේවිසි, හොරණෑ සමගින් කැඳවාගෙන එනු ලබන්නේ ද දේවදූත පෙරහැරක් මගිනි. "දොරකඩ අස්න" කීමේ දී පිරිත් මණ්ඩප ද්වාරයෙහි වැඩ සිටි භික්ෂුවක සහ දේවදූතයා අතර සංවාදයක් ඇති වෙයි. එබැවින් මෙම දොරකඩ අස්න චාරිත්‍රයෙහි සමාරෝපය, වෙස්වළා ගැනීම, සංවාද භාවිතය වැනි නාට්‍යමය ලක්ෂණ දක්නට ලැබේ. දොරකඩ අස්නෙහි අවසාන ජවනිකාව මෙසේය.


භික්ෂූන් වහන්සේ පිරිත් මණ්ඩපයෙහි වැඩ හිඳිති. දේවදූතයා දොරටුව ළඟ හිඳී. කඩුගත් දොරටු පාලකයෝ ඔහු දෙපස සිටිති. දේවදූතයා කැටුව ආ භික්ෂුව පිරිත් මණ්ඩපයෙහි තිබෙන යුග පුටුව අසල නැගී සිටී. එම ස්ථානය බඹ එකහමාරක් තරමට කොළත් සමග කපා කැටයම් කරන ලද පුවක් කරටියකින් මනා කොට සරසා ඇත්තේය. අනතුරුව මෙම භික්ෂුව හා දේවදූතයා අතර පහත දැක්වෙන සංවාදය ඇති වෙයි.


භික්ෂුව : විචිත්‍ර වර්ණෝපශෝභිත වූ මෙම මණ්ඩප ද්වාරයෙහි මිනිස්සු ඇත.


දේවදූතයා : සවි ශීලපාදි අමිත ගුණ ගුණාංගයන්ගෙන් උපලක්ෂිත වූ පින්වත් ස්වාමීන් වහන්ස විචිත්‍ර වර්ණෝපශෝභිත වූ මෙම මණ්ඩප ද්වාරයෙහි මිනිස්සු ඇත.


භික්ෂුව : සරද නිශේද්‍රාකාශ කුන්දෙන් දූ වාරණ විෂ ද විමල කීර්ති මාලාලංකෘත ප්‍රවරතර සුරෙන්ද්‍රාරාධනාවට ගියොත් අවුදෝ


දේවදූතයා : නෛක බල පරාක්‍රම ප්‍රතාපාලංකෘත වූ සුරෙන්ද්‍රාරාධනාවට ගියා වූ දේවදූතයා වන මෙහි අවුත් සිටින්නෙමි.


සික්ෂුව : අමිත තේජෝබල වික්‍රම ප්‍රතාපාලංක්‍යත කමලාසනෙන්ද්‍රාදි දෙවියෝත් අවුත්ද?


පසුව දේවදූතයා දොරකඩ අස්නේ පෙළ කියයි. මෙම පෙළෙන් කියවෙන්නේ පිංකම සඳහා දායක වූ සත්පුරුෂයන් සඳහා සෙත් පැතීමත්, ධෘතරාෂ්ට්‍ර, විරුඩ, විරූපාක්ෂ, වෛශ්‍රවණ යන සතර වරම් දෙවිවරුන්ද ඇතුළු දේව මණ්ඩලයම වැඩි බවත්ය.


"ආලවක දමනය" "අංගුලිමාල දමනය" වැනි ධර්ම දේශනා ක්‍රම තුළද නාට්‍යමය ලක්ෂණ දක්නට ලැබේ. "ආලවක දමනය" ධර්ම දේශනා අවස්ථාව මෙසේය.


ආලවක යක්ෂයාගේ විමානයෙහි මුරකාවල සිටින ගද්‍රභ නම් යක්ෂයා වශයෙන් වෙස්වළා ගත් කෙනෙක් මෙහිදී පැමිණේ. කඩුවක් අතින් ගත් ඔහු භයානක පෙනුමක් මැවෙන පරිද්දෙන් මුහුණේ දැලි තවරා, හිසෙහි කෙස් වැටියක් බැඳගෙනවිත් ධර්මාසනය ඉදිරියෙහි ඔබ මොබ හැසිරෙයි. ධර්ම දේශනා කරන භික්ෂූන් වහන්සේ බුදුන් වහන්සේ වෙනුවට පෙනී සිට ඒ ඒ තැන්වලදී බුදුන් වදාළ වචන කතා කරති. ඔවුන් දෙදෙනා අතර මතු දැක්වෙන ආකාරයේ සංවාදයක් ඇති වේ.


ගද්‍රභයා : මේ අවේලාවේ ඔබ වහන්සේ මේ විමානයට වැඩියේ ඇයි?


භික්ෂුව : මේ එන්නම උවමනාවක් නිසා තමයි ආවේ. ඔබ ඉඩ දෙනවානම් මම කැමතියි මෙහෙ නවාතැන් ගන්න අද රාත්‍රියට.


ගද්‍රභයා : අනේ බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ මේ ස්ථානය ගැන දන්නේ නැද්ද? මේ ආලවක යකාගේ විමානය. මගේ තැනක් නම් ඔබ වහන්සේට නවාතැන් දෙන එක අරුමයක්ද? මේ පේනවනේ බිම හැටි. හැම තැනම ලේ. මිනී කාලා හැම තැනම ලේයි ඇටකටුයි. මෙහෙම තැනක හිටියොත් ඔබ වහන්සේට මොනවා වෙයිද කියලා හිතාගන්න පුළුවනි.


භික්ෂුව : මට ඕනේ නෑ යකාගේ නපුරුකම් ගැන දැනගන්න. මම ඒවා නොදැන නොවේ ආවේ. මම අද මෙතන නවතින්නමයි අධිෂ්ඨාන කර ගත්තේ.


මේ ආදි වශයෙන් කෙරෙන සංවාදයකින් පසුව බුදුරජාණන් වහන්සේ යක්ෂ විමානයෙහි නතර වන්නට තීරණය කරන බැවින් ඒ බව ආලවක යකාට දැනුම් දීම පිණිස ගද්‍රභයා පිරිස මැදින් ගොස් බණ ශාලාවෙන් පිට වේ. යළිත් භික්ෂූන් වහන්සේ බණ කතාව කීමට පටන් ගනී.


නාට්‍ය ස්වරූපය දරණ බෞද්ධ පූජා කර්ම අතර මිලින්ද ප්‍රශ්නය සහ ආසන දෙකේ බණ වැදගත් තැනක් උසුලයි.


"මිලින්ද ප්‍රශ්නය" නමැති බණකීමේ චාරිත්‍රය තුළ ධර්ම දේශක ස්ථවිරයන් වහන්සේ නාගසේන හිමියන් වශයෙන් ද, මෙහි ගිහියන් මිලිඳු රජු වශයෙන් ද පෙනී සිට ධර්ම ශාලාවේ විවාදයක යෙදිනි. මිලිඳු රජු වශයෙන් රඟපාන ගිහියා රජෙකු සේ නිසි ලෙස රාජාභරණ කිරුළු ආදිය පැළඳ වෙස්වළාගෙන පැමිණේ. විවාදය සඳහා ඇසුරු කොට ගන්නේ "මිලින්ද ප්‍රශ්නය" නම් පෝතෙහි එන ප්‍රශ්නෝත්තරය. පහත දැක්වෙන අයුරේ සංවාදයක් ඇතිවේ.


මිලිඳු රජ : ස්වාමිනි, නුඹ වහන්සේ කවර නම් වීද?


නාගසේන ස්ථවිර : මහ රජාණෙනි, මම නාගසේන යයි දන්වමි. මහ රජාණෙනි, සබ්‍රහ්මචාරීන් වහන්සේලා මට නාගසේන යයි කියති. තවද නම් තබන්නා වූ දෙමාපියෝ නාගසේන යයි කියා හෝ සූරසේන යයි කියා හෝ වීරසේන යයි කියා හෝ සිංහසේන යයි කියා හෝ නම් කෙරෙති. තවද මහ රජාණෙනි, යම් මේ නාගසේන යයි කියා සැලකිය යුතු වූ සංඥාමාත්‍ර වූ ප්‍රඥප්ති ව්‍යවහාරය නාම මාත්‍රයෙක මෙහි නාගසේන යයි කියා පුද්ගලයෙක් නොලබන්නේය.


මිලිඳු රජ : (සභාව අමතා) මේ සභාවෙහි රැස්ව සිටිනා පන්සියයක් පින්වන්තයෝද, අමාත්‍යයෝද, අසූදහසක් පමණ භික්ෂු සංඝයා වහන්සේලාද මාගේ වචන ඇසුව මැනව. මේ නාගසේනයන් වහන්ස, ඉදින් පුද්ගලයෙක් නොලැබේ නම් කවරෙක් දැන් නුඹ වහන්සේට සිවුරු, ආහාර, සෙනසුන්. ගිලන්පස, බෙහෙත්, පිරිකර දේද? යමෙක් නුඹ වහන්සේ මරාද ඕ හට ප්‍රාණඝාත අකුසලය නැත....මහරජ මට සබ්‍රහ්මචාරීන් වහන්සේලා නාගසේන යයි කියා යමක් නුඹ වහන්සේට කී සේක් ද? මෙහි නාගසේන වූයේ කවරෙක්ද? කිමෙක්ද? ස්වාමිණි, හිසකේ නාගසේනගේද?


නාගසේන ස්ථවිර : නැත මහ රජාණෙනි,


නාට්‍යමය ලක්ෂණ ඇතුළත් යාතු කර්ම


ලංකාවේ ශාන්ති කර්ම පවත්වාගෙන යන පළාත් අනුව උඩරට, පහතරට, සබරගමු වශයෙන් කොටස් තුනකට බෙදිය හැක. උඩරට, පහතරට හා සබරගමු යන නර්තන සම්ප්‍රදායන්ට අදාළ සියලු ශාන්ති කර්ම සිංහල ශාන්ති කර්ම නමින් හඳුන්වනු ලැබේ. කොහොඹා කංකාරිය, උඩරට ගම් මඬුව, බලි ශාන්ති කර්මය ආදිය උඩරට සම්ප්‍රදායේ ශාන්ති කර්ම ලෙසත්, මහසොහොන් සමයම, සන්නි යකුම හෙවත් දහඅට සන්නිය, සූනියම් යාගය. රට යකුම හෙවත් රිද්දි යාගය, ගම් මඬුව, දෙවොල් මඬුව ආදිය පහතරට ශාන්ති කර්ම ලෙසත්, පූජා මඩුව, පහන් මඩුව, කිරි මඩුව, කුමාර සමයම ආදිය සබරගමු නර්තන සම්ප්‍රදායේ ශාන්ති කර්ම ලෙසත් සඳහන් කළ හැකියි.


ශාන්ති කර්මවල නාට්‍යමය ගුණය හා නාට්‍යමය ලක්ෂණ මැනවින් හඳුනාගත හැකි වීම ආධුනික නාට්‍යකරුවෙකුට මතු නොව දේශීය නාට්‍ය සම්ප්‍රදාය, එහි උපත හා විකාශනය වටහා ගැනීමට වෙර දරන කවරෙකුට වුව අතිශය ඵලදායකය. එවැනි නාට්‍යමය පෙළපාලිවලින් පරිපෝෂිත උඩරට, පහතරට හා සබරගමුව නමින් හැඳින්වෙන නර්තන සම්ප්‍රදායන්ට අයත් ශාන්ති කර්ම නව නිර්මාණ සඳහා අගනා තෝතැන්නකි.

(c) Shilpa Sayura Foundation 2006-2017