නාට්‍ය ඈත අතීතයේ පටන් පැවත එන කලාවකි. කලින් කල විවිධ හේතුන් නිසා විවිධ මුහුණුවර ගත්ත ද නාට්‍ය ඉතිහාසය මානව වර්ගයාගේ ඉතිහාසය තරම්ම පැරණි යයි කීම අතිශයෝක්තියක් නොවේ. ලෝකයේ බොහෝ රටවල ඈත පුරාණ යුගයන්හි පවා නාට්‍ය කලාව ඉතා සංවර්ධිත අවස්ථාවක පැවති බව නිගමනය කිරීමට තරම් සාක්ෂි ඇත. විශේෂයෙන්ම ග්‍රීසිය හා පුරාණ භාරතය දියුණු නාට්‍ය කලාවක් පැවති රටවල් වශයෙන් හැඳින්විය හැකිය.
ලංකාවේ සිංහල නාට්‍යයේ උපත, ආදී මිනිසා සතුව තිබූ පුද පූජා, ඇදහිලි සහ ඊට සම්බන්ධ විවිධ උත්සවයන් හා සම්බන්ධව පැවති බව පෙනේ. පැරණි සිංහල සාහිත්‍ය ග්‍රන්ථ අතර එකදු නාට්‍ය ග්‍රන්ථයක් හෝ දක්නට නොමැත. එහෙත් විවිධ උත්සව සම්බන්ධිත වූ නැටුම්, ගැයුම් හා නාට්‍ය අංග පැවති බවට වංශකතා, දේශාටන වාර්තා හා නාටක පිළිබඳ කරුණු දක්වන එස්.කේ. ජයවර්ධන මහතා පැරණි ලංකාවේ දෘශ්‍ය කාව්‍ය හා නාටක සැලකිය හැකි නැටුම් වර්ග 04 ක් දක්වා තිබේ.
1. යක්ෂයන සඳහා පැවැත්වූ පුද පූජා පිළිබඳ නැටුම්.
2. දේව පුදපූජා පිළිබඳ නැටුම්
3. බෞද්ධාගම හා සම්බන්ධව තිබූ නැටුම්
4. රාජ ජීවිතය හා සම්බන්ධ නැටුම්
විජය කුමාරයා ලංකාවට ගොඩ බසින දිනයෙහි පැවැත්වූවා යැයි කියවෙන "යක් මඟුලේ නැටුම" අපේ වංශකතාවන්වල සඳහන වන මුල්ම නැටුමයි. පඬුවස්දෙව් රජතුමාට පැමිණි උපද්‍රව වළකනු සඳහා ශාන්තිය ප්‍රාර්ථනා කරමින් නැටූ බලි නැටුමක් ගැන ද ඉතිහාස ග්‍රන්ථයන්හි සඳහන් වේ. මේ නිසා මහින්දාගමනයට පෙර ලක්දිව ප්‍රචලිතව තිබූ යම් යම් නාට්‍ය ක්‍රම බෞද්ධ පූජා විශේෂයන් කෙරෙහි බලපා ඇති බව පෙනේ.
දුටුගැමුණු රජු නළඟනන් පිරිවරාගෙන රුවන්වැලි සෑය බැඳින උත්සවයට සහභාගි වූ බව මහාවංශයේ දක්වා ඇති අතර ථූපවංශයේ දුටුගැමුණු කතාවේ නළඟනන් දාසය දාහක් හැඳ පැළඳ සැරසී සිටි අයුරු විස්තර කර තිබේ. භාතිය රජු මහා සෑයට නළු නිළියන් ලවා නැටුම්, ගැයුම් පැවැත්වූ සැටි දීපවංශයෙන්, සංචාරක නාට්‍ය කණ්ඩායම් ගැන මහාවංශයේ 66, 78, 82, 86, 87, 132, යන ගාථාවලත් සඳහන් වේ. නැටුම් ගැයුම් සමග පැවැත්වූ "ගිරිභණ්ඩ පූජා" නම් උත්සවයක් ගැන මහාවංශය, විශුද්ධි මාර්ගය හා රසවාහිනියේ සඳහන් කර ඇති අතර සීගිරියේ විසූ කාශ්‍යප රජු නාට්‍ය මණ්ඩප කරවූ බව ද, පළමුවැනි පරාක්‍රමබාහු රජු කාව්‍ය ශාස්ත්‍ර, ගී හා නැටුම් හදාළ බව ද වංශකතාවල සඳහන් වී තිබේ.
බොහෝ ජනයා සීගිරි ගලට පැමිණියේ සීගිරි චිත්‍ර නැරඹීමට පමණක් නොව සීගිරියේ පැවති "ගිරග්ග සමප්ජ" වැනි උත්සවවලට සහභාගි වීමට බව මහාචාර්ය පරණවිතාන මහතා දක්වා තිබේ. "ගිරග්ග සමප්ජ" උත්සවය නැටුම්, ගැයුම් හා විකට රසයෙන් යුත් උත්සවයක් බව සද්ධර්ම රත්නාවලියේ "අගසව් වත" විස්තරයේ දක්වා තිබේ.
පළමුවැනි පරාක්‍රමබාහු රජු නාට්‍ය ශාලා පහක් කරවූ බවත්, නැටුම් ගී දන්නා අය ගම්වලට යවා රහස් තොරතුරු දැනගත් අන්දමත්, රජු ගී ඇසීමට හා නැටුම් බැලීමට රත්රනින් කළ කණුවලින් යුත් මනහර චිත්‍ර කැටයම් කළ සරස්වතී මණ්ඩපය ඉදිකරවූ බවත් චූලවංශයේ සඳහන් වී තිබේ.
අතීත ලංකාවේ පැවති නැටුම් හා නාට්‍ය පිළිබඳ දකනට ලැබෙන අනෙක් වැදගත් මූලාශ්‍ර නම් සාහිත්‍ය ග්‍රන්ථයන්ය. දණ්ඩීන්ගේ කාව්‍යාදර්ශය "සිබස්ලකර" නමින් සිංහල ගීයට නැගූ සලමෙවන් රජු කාව්‍යාදර්ශයේ නොමැති පද්‍ය කිහිපයක්ම එයට ඇතුළත් කොට තිබේ.
"පෙදෙන් බුදු සිරිත් - අද බසින් සරිත් ඈ
පද යුතු බසින් නළු ඈ - අනතුරු ලකුණු දක්වමි"
මේ පද්‍යයේ "පද යුතු බසින් නළු ඈ" යන පාදයෙන් නාට්‍ය පිළිබඳ සංකල්පයක් තිබූ බව පැහැදිලි වේ. සද්ධර්මාලංකාරයේ හා පූජාවලියේ එන උපමා බොහෝමයක නැටීම හා නාට්‍යාංගනාවන් පිළිබඳ සඳහන් වී තිබේ. ධර්ම ප්‍රදීපිකාව, සසඳාවත සන්නස, බෝධිවංශ, ගැටපතය යන ග්‍රන්ථවල රත්නාවලි, බාල රාමායණය, සකුන්තලා, නාගානන්ද යන සංස්කෘත නාට්‍යවල කොටස් උපුටා දක්වා තිබේ. මේ වන විට සංස්කෘත නාට්‍ය කලාව පිළිබඳ සෑහෙන වැටහීමක් තිබුණ බවට මෙය පැහැදිලි සාධකයකි. එහෙත් මෙම සංස්කෘත නාට්‍ය ලංකාවේ රඟ දැක්වූ බවට කිසි සාධකයක් දක්නට නොලැබේ.
පැරණි සිංහල සාහිත්‍ය අතරින් සන්දේශ සාහිත්‍ය මගින් බොහෝ විට එකල සමාජය නිරූපණය කෙරෙයි. කෝට්ටේ යුගයේ රචිත ගිරා සන්දේශයෙහි විජයබා වැනුමෙහි එන පාඨයකින් ද පිරිවෙන් අධ්‍යාපනයෙහි දී නාටකයට තැනක් ලැබුණු බව පෙනේ.
"පවසන් සකු මගද එළු දෙමළ කවි නළු" හංස සන්දේශයෙහි එන කෑරගල පිරිවෙන් වැනුමෙහි මෙසේ කියවෙයි. "ඇසේ කියන විසිතුරු කවි නළු සතර" මේ කරුණු දෙස බලන විට ඉඳුරා පෙනෙන කරුණු තුනකි.
1. භික්ෂූන් විසින් සංස්කෘත නාට්‍ය හදාරන ලදී.
2. පිරිවෙන් ශිෂ්‍යයන්ට සංස්කෘත නාට්‍ය ග්‍රන්ථ උගන්වන ලදී. දඹදෙණි යුගයේ දී ශිෂ්‍යයන්ට නාට්‍ය ඉගැන්වීය.
3. වාචික වශයෙන් පැවත එන කිසියම් නාට්‍ය කලින් කල වුව ද නට්‍ය සම්ප්‍රදායක් බිහි කිරීමට සමත් නොවීය. එමෙන්ම නාට්‍ය ග්‍රන්ථ සාහිත්‍යයක් ද නොවීය.
මහනුවර යුගයේ අවසාන භාගයේ දකුණු ඉන්දීය නාට්‍ය සම්ප්‍රදායට අදාළ පොත්පත් බෞද්ධ භික්ෂූන් විසින් ලියන ලද "නෘත්‍ය උපත" නම් පොතේ රූකඩ, කෝලම් හා නාඩගම් වැනි නාට්‍ය ක්‍රමවල කෙරෙන පොදු තොරතුරු දක්වා තිබේ.