කලාව හා විද්‍යාව (Arts and Science)
පරමාර්ථ වශයෙන් ගත් කල කලාවේත් විද්‍යාවේත් අරමුණ යථාර්ථ ගවේශණයයි. එහෙත් කලාකරුවාත්, විද්‍යාඥායත් තම කාර්යයන් සඳහා ඉවහල් කර ගන්නා ක්‍රියා පිළිවෙතත්, රීතියත් එකිනෙකට බොහෝ සෙයින් වෙනස්ය.
විද්‍යාඥායාගේ මූලික කර්තව්‍යය වන්නේ තමා හමුවෙහි ඇති කරුණු සහ සිද්ධි විභජනය කොට පරික්ෂා කිරීමයි. එහෙත් කලාකරුවාගේ රීතිය සංයෝජනයයි. විද්‍යාඥයා තමා ඉදිරියේ ඇති ද්‍රව්‍ය එකිනෙකින් වෙන් කොට කපා කොටා එහි මූලිකම අවස්ථාවන්ට පත් කරයි. කලාකරුවා තම අරමුණ සඳහා උචිත ද්‍රව්‍ය තෝරා එක් කොට නිර්මාණය කරයි. විද්‍යාඥයා සහේතුක විෂය මූලික ලොවක් හා සම්බනධ වෙයි. එහෙත් කලාකරුවා චින්තනය හා භාවමූලික කල්පනා ලෝකයක වෙසෙයි. විද්‍යාව පොදු සාධාරණ නීති විකසනය හා සඳහා උත්සාහ දරයි. කලාකරුවා පුද්ගල ප්‍රතික්‍රියා ගවේශණය කරන අතර අත්දැකීම්වල විශිෂ්ට ස්වභාවය කෙරෙහි දැඩි අවධානය යොමු කරයි.
විද්‍යාඥයා මිනිස් ශරීරය එකිනෙක වෙන් කොට එහි කොටස් නිර්මාණය වී ඇති ආකාරය හා ක්‍රියාකාරිත්වය පරික්ෂා කර බලයි. චිත්‍ර ශිල්පියෙකු මිනිස් සිරුරේ තිබෙන සුන්දරත්වය කැන්වසයක් මතු පිට ප්‍රතිනිර්මාණය කරයි. මිනිස් ශරීරය විසින් නිර්මාණය කරන සුන්දර හැඩතල චිත්‍ර ශිල්පියා විසින් ග්‍රහණය කර ගනී. මෙහි දී එළිය අඳුර දැක්වීම, ත්‍රිමාන බව හා පර්යාවලෝකය වැනි ලක්ෂණ මතු කරමින්, වර්ණ සංයෝජනය සියුම් ලෙස දක්වමින් කලා කෘතියක් එළි දැක්වීමට උත්සාහ කරයි. සෑම කලාවකම මාධ්‍ය භාවිතා කරන විට මාධ්‍ය තුළ තාක්ෂණික ක්‍රම සහ විද්‍යාත්මක කරුණු දක්නට ලැබේ. උදාහරණයක් ලෙස සංගීතය ගත් කළ එහි ස්වර ස්ථානයන්හි කම්පන වාර ගණන ඉතා නිවැරදි ලෙස (විද්‍යාත්මකව) බෙදා වෙන්කර තිබේ.