ලලිත කලා (Fine Arts)
 

ලලිත කලා (Fine Arts)



මටසිලුටු වූද, තමන්ට අයත් මාධ්‍යයන් වඩා නිදහස් ලෙස භාවිතා කරන්නා වූද, මිනිස් මනස හා පරිකල්පනය සමඟ සම්බන්ධ වීම ප්‍රධාන ලක්ෂණය කර ගත්තා වූද, සියලු සංගීත, සාහිත්‍ය, චිත්‍ර, මූර්ති, ගෘහනිර්මාණ ආදි කලා ලලිත කලා ලෙස හැඳින් වේ. මානව ශිෂ්ටාචාරයේ ඉතා ඈත යුගවල සිටම දක්නට ලැබුණු සංකල්පයක් වශයෙන් "ලලිත කලා" යන්න භාවිතයට පැමිණියේ 18 වන සියවසේ දී ප්‍රංශයේය. සෞන්දර්යය (Beauty) හා බැඳුණු කලාවක් වශයෙන් සලකා කාව්‍ය ඇතුළු පූර්ණ සාහිත්‍ය, සංගීතය, චිත්‍ර කලාව, මූර්ති කලාව හා ගෘහ නිර්මාණ කලාව යන කලා අංග පහ පමණක් ලලිත කලාවන් වශයෙන් සලකා ප්‍රංශ ජාතිකයන් විසින් කරන ලද වර්ග කිරීම එතරම් සතුටුදායක එකක් නොවන්නේ රංග කලාවක් වන නැටුම හා නාට්‍ය එයට ඇතුළත් නොවීමත්, 19 වන සියවසේ අග භාගයේ දී හඳුන්වා දෙනු ලැබූ ඡායාරූප කලාව හා චිත්‍රපට කලාව වැනි කලාවන් පිළිබඳ අදහසක් ඉදිරිපත් කිරීමට එය අපොහොසත් වීම නිසාය.

මේ නිසා නාට්‍ය කලාවත්, 19 වන සියවසේ අලුතින් එක් වූ ඡායාරූප හා චිත්‍රපට කලාවත් ලලිත කලාවක් ලෙස පිළිගැනේ. එහෙත් ලලිත කලා බවට පත් වීමට නම් ඊට ආවේණික වූ නිර්ණායකයන් සම්පූර්ණ වී තිබිය යුතුය. සෑම ලලිත කලා කෘතියකම ශාස්ත්‍රිය පදනමක් තිබිය යුතුය. උදාහරණයක් ලෙස උතුරු ඉන්දියානු රාගධාරි සංගීතය ගත හැකිය.



මෙම සංගීතයේ රාග ක්‍රමය නිර්මාණය වී ඇත්තේ කිසියම් නීති රීති පද්ධතියකට අනුවය. "බිලාවල" නමැති රාගයට ශුද්ධ ස්වර හතම යොදා ගනී. එහි රාග ලක්ෂණ එම රාගයට ආවේණික ලෙස වෙනම පවතී. අනෙකුත් රාග අතරින් "බිලාවල්" හඳුනා ගැනීමට අනන්‍ය වූ ලක්ෂණ ඒ තුළ පවතී. ඒ තුළ බිලාවල් රාගය, ලෝකයේ කුමන රටක භාවිතා කළත් එම රාගයට අයත් අංග ලක්ෂණ වෙනස් නොවේ.

ගුණාත්මක වශයෙන් සලකා බලන කල තම මාධ්‍යය සතු ලක්ෂණ ඉතා ගැඹුරු ලෙස ප්‍රයෝජනයට ගනිමින් මිනිස් සිතෙහි භාවමය හා විඥානමය අංශ ගැඹුරු හා සියුම් ලෙස විවරණය කෙරෙන කලාව ලලිත කලාව ලෙසින් හැඳින්විය හැකිය.


තවත් සරලව මෙම කාරණය දෙස අපේ අවධානය යොමුකරන විට ලලිත කලාව මිනිසුන්ගේ රස වින්දනය සඳහා නිර්මාණය වූවක් ය. එය හුදෙක් පාරිභෝගික භාණ්ඩයක් නොවේ.


අප එදිනෙදා ව්‍යවහාරික ජීවිතයේ දී පරිහරණය කරන නොයෙකුත් භාණ්ඩ නම් කිරීම සඳහා කලාව යොදා ගෙන තිබේ. ඒවා ව්‍යවහාරික කලාවන් ලෙස අපි නම් කරන්නෙමු. ආහාර ගැනීමට භාවිතා කරන පිඟානට යොදා ඇති කැටයම, ලී අල්මාරියක යොදා ඇති කැටයම් ව්‍යවහාරික කලාවට අයත් වේ. ලලිත කලා වෙන්කර හඳුනා ගැනීම සඳහා ව්‍යවහාරික කලාවන්ට අයත් වන්නේ මොනවාදැයි සොයා බැලිය යුතුය.


 

(c) Shilpa Sayura Foundation 2006-2017