කබුකි රංග භූමිය
 

කබුකි වේදිකාව ජපානයේ සාම්ප්‍රදායික වේදිකාවලින් එකකි. මෙම වේදිකාව බටහිර නාට්‍ය වේදිකාවට වඩා බෙහෙවින් විශාලය. ආකෘතියෙන් ද වෙනස්ය. මෙම වේදිකාව අඩි 90 ක් පළල්ය. අඩි 20 ක් උසය. සාමාන්‍ය බටහිර අඩි 30 කට හෝ 40 කට හෝ වඩා පළල් නැත. නරඹන්නන් ඉදිරියේ තිබෙන මේ ප්‍රධාන වේදිකාව හැරුණු විට තවත් වේදිකාවක් ප්‍රේක්ෂාගාරයේ පසුපසට විත් කෙළවර වේ. රඟපෑමේ ඇතැම් අවස්ථාවන්හි නළු නිළියෝ මේ අතුරු වේදිකාව දිගේ ප්‍රේක්ෂකයින් මැද්දෙහි ගමන් කරමින් ප්‍රධාන වේදිකාවට පිවිසෙති. නැතහොත් ප්‍රධාන වේදිකාවෙන් අවුත් මේ අතුරු වේදිකාව දිගේ ප්‍රේක්ෂකයින් අතරට ගොස් පසුපසින් නික්ම යති. මෙය "හනමිටිය" (මල්මඟ) නමින් හැඳින්වේ. මේ අතුරු වේදිකාව නිසා නළුනිළියන් හා ප්‍රේක්ෂකයින් අතර සම්බන්ධය බටහිර වේදිකාවෙහි ඇති විය හැකි සම්බන්ධයට වඩා ළං වේ. වීර, අද්භූත යනාදි රසයන් නිෂ්පාදනය කිරීම සඳහා මේ වේදිකාව අතිශයින් උපකාරි වේ.


කබුකි වේදිකාව තුළ තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ කැරකෙන වේදිකාවයි. කැරකෙන වේදිකාව පළමුවරට සාදන ලද්දේ ජපනුන් විසිනි. ශතවර්ෂ තුනකට පමණ උඩ දී ජපානයේ නිපදවන ලද මේ නාට්‍ය උපකරණ බටහිර නාට්‍ය ශිල්පීන් ව්‍යවහාරයට ගත්තේ ඉතා මෑතකදී ය. "මවරිබුතයි" යන නාමයෙන් මෙම කැරකෙන වේදිකාව හඳුන්වන අතර මේ තුළින් ජවනිකා මාරුව ඉතා පහසුවෙන්ද, ඉතා ඉක්මනින් ද කළ හැකිය. නාට්‍යයේ ඇතැම් අවස්ථාවක නළුවකු වේදිකාවේ ඉදිරිපසට විත් හනමිටියේ සිටගෙන සිටින අතර වේදිකාව සෙමින් කැරකී වෙනත් ජවනිකාවක් (පසුතලයක්) මතු වේ. නළුවා දීර්ඝ ගමනක් ගොස් වෙන තැනකට පැමිණි බව මෙයින් ඇඟවෙයි. මුලින් අතින් ක්‍රියා කරන යන්ත්‍රයක මාර්ගයෙන් කැරකූ මේ වේදිකාව දැන් විදුලි බලයෙන් ක්‍රියාකරවයි. හනමිවියේ හා ප්‍රධාන වේදිකාවේ පොළොව දෙසට විවෘතවන දොරවල් තිබීම ද කබුකි වේදිකාවේ එක් විශේෂාංගයකි. මෙම රහස් දොරවල් "සෙරි" නමින් හැඳින්වේ. මේ දොරවලින් නළුවන්ට හදිසියෙන්ම පිවිසිය හැකි අතර හදිසියෙන් අතුරුදන් විය හැකිය.


කබුකි රංග භූමිය ප්‍රධාන වශයෙන් කොටස් හයකට බෙදා දැක්විය හැකිය. එනම්,

01. කකිවාරි (Kakiwari)- කකිවාරි වූ කලී වර්ණවත් කරන ලද රෙදි තිරයකි.
02. මවරි බුතායි (Mawari Butai) - ප්‍රධාන රංග භූමිය මත පිහිටි යන්ත්‍රානුසාරයෙන් කැරකවෙන වේදිකාවකි.
03. සෙරි (Seri) - ප්‍රධාන වේදිකාවේ හා හනමිවියේ පිහිටා ඇති නළුවන්ට අතුරුදන් විය හැකි බොරු වළවල් වැනි ස්ථාන දෙකකි.
04. කමිතේ (Kamite) - කමිතේ යනු වේදිකාවේ වම්පස කොටසයි.
05. ශිමොතේ (Shimote) - ශිමොතේ යනු වේදිකාවේ දකුණු පස කොටසයි.
06. හනමිචිය (Hanamichi) - ප්‍රධාන වේදිකාවේ සිට ප්‍රේක්ෂකාගාරයට විසිරී ඇති උප වේදිකාව. මෙය මල්මඟ යනුවෙන්ද හැඳින්වේ.

                                                බුන්රකු (රූකඩ නාට්‍ය)


ජපානයේ පැවති සාම්ප්‍රදායික නාට්‍ය වර්ග හතරෙන් එකක් ලෙස බුන්රකු නාට්‍ය හඳුන්වා දිය හැකිය. මෙම බුන්රකු හෙවත් රූකඩ නාට්‍යය නූල්වලින් නටවන රූකඩ නොවේ. නූල්වලින් නටවන රූකඩ ද ජපානයේ තිබෙන නමුත් ඒවා බුන්රකු මෙන් ජනප්‍රිය නොවේ. බුන්රකු නාට්‍යයේ රූකඩකරුවෝ නරඹන්නන් ඉදිරියේ සිටගෙන සියතින් රූකඩ නටවති. එක් රූකඩයක් නැටවීමට රූකඩකරුවෝ තුන් දෙනෙක් සිටිති. රූකඩ නැටුම්වල රස විඳීමට මෙය බාධාවක් නොවේ. රූකඩ කොතරම් ස්වභාවික ලෙස නටත්ද, කිවහොත් නොබෝ වේලාවකින් නරඹණ්නන් රූකඩකරුවන් අමතක කොට රූකඩවලින් රස විඳින්නට පටන් ගනී. ජපන් රූකඩ අඩි දෙකකට හෝ දෙකහමාරකට වඩා උස නැත. එහෙත් ඒ රූකඩවල ඇස් හා ඇඟිලි අතුළුව සියලුම අංග චලනය වෙයි. රූකඩවලි දැක්වෙන අභිනය බලා ඒ අනුව නව අභිනය සිහිකරවයි. කබුකි නළුවෝ බුන්රකු රූකඩවල අභිනය බලා ඒ අනුව නව අභිනය සකස් කර ගන්නා බව කියති. අඩි තුනක් පමණ වූ ගැඹුරු වූ වළකට සමාන වූ බුන්රකු වේදිකාවේ සිට රූකඩ නටවන්නා වූ රූකඩකරුවන්ගේ ශරීරයෙන් නරඹන්නාට පෙනෙන්නේ අඩක් පමණකි. වේදිකාවෙන් පිට එක් පසෙක සංගීත කණ්ඩායම හා ගායකයෙක් ද වාඩි වූ සිටිති. රූකඩ නටවන අතර මේ ගායකයා නාට්‍යයට අයත් සියලුම අවස්ථා විස්තර කරමින් සංවාද ද ස්වභාවික ස්වරයකින් අනුකරණය කරයි. මේ ගායකයා තනිවම මුළු නාට්‍යයටම අයත් සංවාද අභිනය සහිතව කියවන ආකාරය අසන්නන් මවිත කරවන්නකි.

(c) Shilpa Sayura Foundation 2006-2017