නෝ රංග ශෛලිය
 

නෝ නාට්‍යයේ රඟපෑම බොහෝ දුරට ශෛලිගතයි. මෙය නැටුම් පදනම් කරගත් රංග ශෛලියකි. රඟපෑමේ දී ආංගික අභිනය නිතර ප්‍රයෝජනයට ගැනේ. මෙහිදී වැලපීම නිරූපණය වනුයේ නළුවා තමාගේ මුහුණ මඳක් පහත් කොට එක් අතක් හෙමින් සීරුවේ තම මුහුණ දෙසට ඔසවාගෙන, එම ඉරියව්වෙන් මඳ වේලාවක් සිටීමෙනුයි. "ෂිඔරි" නමින් හැඳින්වෙන මෙම අභිනයෙන් සාමාන්‍ය වැලපීමක් දැක්වේ. නළුවා තදින් වැලපෙන අයුරු දැක්වීමට තම දෑතම මේ ආකාරයෙන් මුහුණ දෙසට ඔසවා ගෙන සිටියි. මෙම අභිනය "මොරො" - ෂිඔරි" නමින් හැඳින්වේ.


නෝ නළුවා තමා නිරූපණය කරන චරිතය ප්‍රේක්ෂකයන්ට හඳුන්වා දිය යුතුයි. ඔහු තමා පිළිබඳ වගතුග, තමා කවුද, තමාගේ කාර්යය කුමක් ද යනු ප්‍රේක්ෂකයින්ට පැහැදිලි කර දිය යුතුය. ප්‍රධාන නළුවා තම චරිතය රඟපාන අතරම, තම ක්‍රියාවලිය විස්තර කර දෙයි. නාට්‍යයට අයත් සෙසු චරිත ප්‍රධාන චරිතයේ සහාය පිණිස සිටියි. ප්‍රධාන නළුවා නියෝජනය කිරීම ගායක පිරිසට අයත් එක් කාර්යයක් ලෙස සැලකේ. ඇතැම් විට ගායක පිරිස ප්‍රධාන නළුවාගේ හැඟීම් ප්‍රකාශ කරයි. ඔහුගේ හැසිරීම විස්තර කරයි. නෝ නාට්‍ය හුදෙක් නාට්‍ය කලාවක් පමණක් නෝවේ. එය වෘත්තාන්ත ස්වරූපයේත්, නාට්‍ය ස්වරූපයේත් සංකලනයකි. එහි කාව්‍යය, නාට්‍යය, ගීත නාට්‍ය, මුද්‍රා නාට්‍ය ආදියේ ලක්ෂණ එක් තැන් වී තිබෙනු දැකිය හැකියි.

නෝ නාට්‍ය ග්‍රීක නාට්‍ය මෙන්ම වෙස් මුහුණු පැළඳගෙන රඟපාන නාට්‍ය ක්‍රමයකි. වෙස් මුහුණු පැළඳීම ප්‍රධාන චරිතයට පමණක් සීමා වේ. අනෙකුත් චරිත වෙස් මුහුණු නොපැළඳ රඟපාති. නෝ නාට්‍යයේ රඟපෑම පිරිමින්ට පමණක් සීමා වන හෙයින් වෙස් මුහුණු පැළඳීම, ස්ත්‍රී චරිත නිරූපණයට ඉමහත් රුකුලකි. නෝ වෙස් මුහුණු මගින් එක් ප්‍රබල හැඟීමක් ප්‍රකාශයට පත්වේ. දක්ෂ ශිල්පීන් අතින් නිර්මාණය වුණු නෝ වෙස් මුහුණු කලාත්මක කෘතීන් හැටියට බෙහෙවින් අගය කොට සැලකේ. නළුවන් තම මුහුණින් දක්වන අභිනයන්ගේ මාර්ගයෙන් හැඟීම් ප්‍රකාශ කිරීම නෝ රංග ශෛලියට අනුකූල නොවේ. එබැවින් මෙහි වෙස් මුහුණු නොපැළඳ රඟපාන නළුවන්ගේ සැබෑ මුහුණ පවා වෙස් මුහුණක ස්වරූපයක් ගන්නා බව කිව යුතුය.


නෝ නාට්‍ය ඊටම ආවේණික වූ සන්දර්භයකින් යුක්ත වේ. එය අපරදිග නාට්‍ය සන්දර්භයට වඩා බෙහෙවින් වෙනස් වූවකි. අපරදිග නාට්‍යවලට දෙදෙනෙකු හෝ දෙපක්ෂයක් අතර සිදුවන ගැටුමක් පදනම් වේ. එහෙත් නෝ නාට්‍යයේ එබඳු ගැටුමක් නොමැතිය. ඉන් එක් ප්‍රධාන චරිතයක් නිරූපණය වේ. එය වටා ගෙතුණු ප්‍රධාන පුවතක් විස්තර වේ. මෙහිද කිසියම් ගැටුමක් ඇති නමුදු එය අපරදිග නාට්‍යයේ ගැටුමට අමාන කළ නොහැකිය. නෝ නාට්‍යයක් මගින් තනි පුද්ගලයෙකුගේ මෙලොව හා පරලොව හෝ ඉරණම පිළිබඳ පුවතක් අනාවරණය වේ. ඉන් සාර්ථකව දැක්විය හැක්කේ ආදරය, ප්‍රේමය, වෛරය, ද්වේශය වැනි එක් ප්‍රධාන චරිතයක් පමණී. ඉන් සප්‍රාණිකව නිරූපණය වනුයේ එක් ප්‍රධාන චරිතයක් පමණී. සෙසු චරිතවල එකම කාර්යය ප්‍රධාන චරිතයේ ඉරණම අනාවරණය කිරීමට උපකාර වීමයි. සුමිද නදිය මගින් මවකගේ දාරක ස්නේහයත්, දෝජෝ විහාරය මගින් තරුණියකගේ ප්‍රේම පිපාසයත් නාට්‍යාකාරයෙන් දැක්වේ.

නෝ නාට්‍යයක ඇත්තේ චරිත කිහිපයක් පමණී. මේ අතින් බලන විට නෝ නාට්‍ය, පැරණි ග්‍රීක නාට්‍යයකට බෙහෙවින් සමාන බව පෙනේ. නෝ නාට්‍යයක එන ප්‍රධාන චරුතය "ෂිතෙ" නමින් ද, අප්‍රධාන චරිතය "චකි" නමින් ද හැඳින්වේ. මුළු කතා පුවතම ප්‍රධාන චරිතය වටා ගෙතුනකි. අප්‍රධාන චරිතයේ එකම කාර්යය, ප්‍රධාන චරිතය පිළිබඳ පුවත හෙළිකිරීමට ආධාර කිරීමයි. සමහර නෝ නාට්‍යඅංක දෙකකින් යුක්ත වේ. එවිට ප්‍රධාන චරිතය, පළමු අංකයේ එක් ස්වරූපයකින් ද, දෙවන අංකයේ තවත් ස්වරූපයකින් ද පෙනී සිටියි. මෙහිදී පළමු අංකයේ එන ප්‍රධාන චරිතය පෙර-ෂිතෙ (මයෙ ෂිතෙ) නමින් ද, දෙවන අංකයේ එන ප්‍රධාන චරිතය පසු ෂිතෙ (නොවිෂිතෙ) නමින් ද හැඳින්වේ. අප්‍රධාන චරිත "එකි" නමින් හැඳින්වේ.

ඇතැම් නෝ නාට්‍යවල ෂිතෙ - ත්සුරෙ නම් චරිතයක් ද වේ. ෂිතෙ - ත්සුරෙ යන ප්‍රධාන චරිතයට සහාය පිණිස සිටින සුළු කොටසක් රඟපාන චරිතයකි. එකි - ත්සුරෙ අප්‍රධාන චරිතයට සහාය පිණිස සිටින සුළු කොටසක් රඟපාන චරිතයකි. ඇතැම් නාට්‍යවල "කොකත" නමින් හැඳින්වෙන චරිතයක් ද ඇතුළත් වේ. මෙය ළමා නළුවකුට හිමි සුළු කොටසකි. සුමිද නදියේ මිය ගිය දරුවාගේ අවතාරය මෙම වර්ගයට වැටෙන චරිතයකි. තවද "අයි" යනුවෙන් හැඳින්වෙන සුළු කොටසක් රඟපාන චරිත වර්ගයක් ද හමුවේ. මෙය සුළු තැනක් හිමි හාස්‍යෝත්පාදක චරිත විශේෂයකි.


නෝ නාට්‍ය ඊටම විශේෂ වූ සන්දර්භයකින් යුක්තයි. මෙහි ජෝ, භ, ක්යු යනුවෙන් හැඳින්වෙන අවස්ථා තුනක් වේ. "ජෝ" යනු ආරම්භයයි. "භ" යනු විකාශනයයි. "ක්යු" යනු උපරිම අවස්ථාව හෙවත් අවසානයයි. සෑම නෝ නාට්‍යයක්ම මෙබඳු අවස්ථා තුනකට බෙදා දැක්විය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017