ජපානයේ නාට්‍ය කලාව
 

ජපානයේ නාට්‍ය කලාව විවිධත්වයෙන් යුක්තයි. ඇතැම් ජපන් උගතුන්ගේ අදහස්වලට අනුව අවුරුදු 2600 ක් පමණ අතීතයට දිවෙන නාට්‍ය කලාවක් ජපානය සතුව පවතී. මෙහිදී සම්භාව්‍ය නාට්‍ය සම්ප්‍රදායන් 6 ක් දැකිය හැකිය. එනම්,


1. 7 වෙනි සියවසේ සිට පැවත එන විදේශීය හා ස්වදේශීය නෘත්‍ය දර්ශන.
2. 14 වන සියවසේ පමණ ප්‍රභවය ලද සම්භාව්‍ය ගීත නාට්‍ය ලෙස සැලකෙන "නෝ" නාට්‍ය.
3. 14 වන සියවසේ දී ප්‍රභවය ලද "නෝ" නාට්‍යවල අන්තර්ගත විකට ජවනිකා ලෙස සැලකෙන "ක්යෝගෙන්" නාට්‍ය.
4. 16 වන සියවසේ දී පමණ පැන නැඟුණු "අයත්සුරි සිඛයි" හෙවත් රූකඩ නාට්‍ය වශයෙන් සැලකෙන "බුන්රතු" නාට්‍ය.
5. 17 වන සියවසේ දී බිහි වූ ජනප්‍රිය සම්භාව්‍ය මෘත්‍ය ලෙස සැලකෙන "කබුකි" නාට්‍ය.
6. 19 වන සියවසේ දී උද්භවය වූ විදේශීය පරිවර්තන හා ස්වතන්ත්‍ර නිර්මාණ ඇසුරින් සැකසුණු වර්තමාන නාට්‍ය යනුවෙනි.


ජපන් නාට්‍ය කලාවේ ප්‍රභවය

ජපන් නාට්‍ය කලාවේ ප්‍රභවය පිළිබඳව විමසීමේ දී 12 වන හා 13 වන සියවස්වල ප්‍රචලිතව පැවති විවිධාකාර නෘත්‍ය දර්ශන තුළින් ප්‍රබල දායකත්වයක් ලැබී තිබේ. වෙනත් රටවල නාට්‍ය කලාවේ ආරම්භයට බලපෑ සේම ජපානයේ නාට්‍ය කලාවේ ආරම්භය ඇදහිලි වන්දනා තුළින් බිහිවිය.

නෝ නාට්‍යවල කෘෂ්ණ මණ්ඩලයේ භූතයින් හා සකුරා මල්වලට මිනිස් ආවේශය ගත හැකි වූ අතර කතා කළ හැකි විය. මිය ගිය පෙම්වතුන් වෘක්ෂවල හැඩයෙන් පෙනී සිටින්නේ යැයි විශ්වාසයක් ද පැවතුනි. මෙම මිත්‍යා විශ්වාසය තුළ වුවද නාට්‍ය කලාව වර්ධනය වී සම්භාව්‍ය කලාවක් බවට පත්වූයේ කාලයත් සමගය. ඉහතින් සඳහන් කළ ආකාරයට ජපානයේ පැවති නර්තන කලාව කෙරෙහි විශේෂ බලපෑමක් කර තිබේ. නිල වශයෙන් තෝරාගත් පූජනීය නර්තන විශේෂයක් ලෙස "කගුරා" යනුවෙන් හැඳින්වූ නෘත්‍ය දැක්විය හැකිය.

මිනිසුන් හෝ ගැහැනුන් හෝ එක් පුද්ගලයෙකු හෝ පුද්ගලයන් කිහිපදෙනකු විසින් වෙස් මුහුණු ඇතිව හෝ නැතිව අවාන්, කඩු හෝ ගණ්ඨා යන වේදිකා උපකරණ උපයෝගි කර ගනිමින් "කගුරා" රඟ දක්වා තිබේ.

"ගගකු" යන නාට්‍ය විශේෂය ද නැටුම්, ගැයුම් හා වැයුම්වලින් සමන්විතය. නැටුම් ඇතුළත් නොවූ සංගීත රංගන විශේෂයක් "කන්ගෙන්" යනුවෙන් හැඳින්විය. නර්තනය හා බැඳුණු සංගීතය විශේෂයෙන් හඳුන්වනු ලැබුයේ "බුගකු" යනුවෙනි.


"දෙන්ගකු" හා "සන්ගකු" වශයෙන් ද නෘත්‍ය වර්ග දෙකකි. "සන්ගකු" යන්න "බුගකු" "දෙන්ගකු" යන නර්තන සම්ප්‍රදායන් හා ගැමි නාටක වර්ග බලපා තිබේ.


"ගිගකු" යනුවෙන් හඳුන්වන නෘත්‍ය දර්ශන විදේශ රටවලින් ජපානයට සංක්‍රමණය වූ ඒවායින් සැලකේ. මේවා ක්‍රි.ව. 612 දී පමණ කොරියාවේ සිට පැමිණෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. මේවාට බටනලා, බෙර, කෛතාලම් යන සංගීත භාණ්ඩ ද, වෙස් මුහුණු ද භාවිතා කරන ලදී. මේවාට උපහාසාත්මක විකට ජවනිකා ද ඇතුළත් විය. දැනට අභාවයට පත් වී ඇත ද, ගිගකු සෙසු නෘත්‍ය හා සසඳන විට ජනප්‍රිය රංග විශේෂයක් බවට පත් වී තිබුණි.

නෝ නාට්‍යයේ ප්‍රභවය


නෝ නාට්‍ය කලාවේ ආරම්භය පිළිබඳ විමසීමේ දී මෙහි විකාශනය ප්‍රධාන යුග පහකට බෙදා දැක්විය හැකිය.


1. පූර්ව ඓතිහාසික යුගය. (පැරණි පුරාවෘත්ත හා බැඳුණු කාලය)
2. නරා යුගය (ක්‍රි.ව. 710-794) සහ හෙයිඅන් යුගය (794-1192)
3. කමකුරා යුගය (ක්‍රි.ව. 1192-1333)
4. මුරොමවි යුගය (ක්‍රි.ව. 1333-1573)
5. එදො යුගය (ක්‍රි.ව. 1600-1868)

මෙම කාල පරිච්ඡේදය අතරතුර විවිධ සමකාලීන කලා නිර්මාණ "නෝ" කෙරෙහි බලපා ඇත. සියවස් ගණනාවක් තුළ වර්ධන අවස්ථා රැසක්ම "නෝ" නාට්‍ය පසුකර තිබේ. මේ නිසාම "නෝ" ආරම්භය පිළිබඳව නිශ්චිත කාල වකවානුවක් දිය නොහැකිය.


නෝ නාට්‍ය කලාවේ ආරම්භය ගැන විමසිලිමත් වන ඇතැමෙක් නෝ බුදුන් වහන්සේගේ පුරයට අයත් කලාවක් යයි පවසති. සමහරු එය දෙවියන් ලොව පහළ වූ දා සිට ඇති වූවක් යැයි පවසති.


නෝ නාට්‍යවල ප්‍රභවය සුයිකෝ අධිරාජ්‍යයාගේ සමයේ ජීවත් වූ "හත නො කෝකත්සු" විසින් ඉදිරිපත් කරන ලද පොදු ජන උත්සව 66 ක් ඇසුරෙන් සිදු වූ බැව් පෙනේ. මුළු රටටම සාමය හා සමෘද්ධිය යාඥා කිරීම සඳහා හා ජනතාවට සන්තුෂ්ටිය ලබාදීම යන අරමුණ පෙරදැරි කරගෙන මෙකී ජන උත්සව පවත්වන ලෙස "ෂෝතොකු" කුමරා විසින් "හත නො කෝකත්සු" ට අණ කරණු ලැබ ඇත. ඔහු මෙහි ජන උත්සව "සරුගකු" යනුවෙන් නම් කළේය"

ප්‍රීති උත්සව ස්වරූපයෙන් 7 වන ශතවර්ෂයේ දී පමණ චීනයේ සිට ජපානයට ආ නාට්‍යානුරූපි "සන්ගකු" වල බලපෑම නෝ නාට්‍යවලට තිබූ බව තවත් මතයකි. පොදු ජනතාවගේ විනෝදාත්මක මාධ්‍යයක් වශයෙන් "සන්ගකු" ජපානයේ පැවතුනි. "සරුගකු" හා "සන්ගකු" ප්‍රභවය වූයේ එකම මූල බීජයකින් වුවද, ඒවා විකාශනය වූයේ වෙනස් අයුරිනි. එක් කලෙක "සරුගකු" චාරිත්‍රාංගයක් බවට පත්ව තිබුණි. පසුව එහි විකාශනය ඇණහිටි අතර ශෛලිගත නාට්‍යාංගයක් බවට පත්විය. "හෙයි අන්" අවධියේ අවසානයේ දී එය අභාවයට පත් වූයේය. පසුව එහි කීර්ති රාවය "සන්ගකු" විසින් හිමිකර ගත් අතර එය අතිශයින් නාට්‍යානුරූපි, වඩාත් රාගාධික හා මහත් විනෝදාත්මක මාධ්‍යයක් බවට පරිවර්තනය විය.


මුරොමවි අවධිය තුළ "සරුගකුනෝ" සහ "දෙන්ගකුනෝ" වශයෙන් නෝ නාට්‍ය කලාව දියුණුවට පත්විය. මේ කාල පරිච්ඡේදය තුළ කීර්තිමත් නළුවන් කිහිපදෙනෙකු ගැන අසන්නට ලැබුණි. ඉච්චු (දෙන්ගකු නළවෙක්), කන් අමි (සෙඅමිගේ පියා), දොඅමි (ඕවි ප්‍රදේශයේ සරුගකු නළුවෙක්) සහ කිඅමි (දෙන්ගකු නළුවෙක්) යන අය නෝ නාට්‍යයේ ආරම්භකයක් ලෙස හැඳින්විය හැක. "කන්දමි" ස්වකීය ගුරුවරයෙකු ලෙස ඉච්චු නමැති නළුවාට ගෞරව කළ අතර ඔහු රඟපාන විට ඔහුගේ රංගනය සුපරික්ෂාකාරි ලෙස නිරීක්ෂණය කළ බැව්ද සඳහන් වේ.


නෝ නාට්‍ය පැවතුණේ නාට්‍ය කණ්ඩායම් අතරය. ඔවුන් පාරම්පරිකව මෙම නාට්‍ය කලාව පූජනීයත්වයෙන් යුක්තව රැක ගනිති. මේ නිසාම සක්‍රීය කලාවක් ලෙස නෝ නාට්‍ය, වර්තමානයේ දී ද අපට දැකගත හැකිය. යමතෝ සරුගකු සඳහා නාට්‍ය කණ්ඩායම් 4 ක් විය. එනම් යුකිශ කණ්ඩායම, එන්මයි නෝ තකෙද කණ්ඩායම, තකද කණ්ඩායම හා තොහි කණ්ඩායම වශයෙනි.

(c) Shilpa Sayura Foundation 2006-2017