එලිසබැතන් රංග භූමිය
 

මෙම යුගයේ දී ප්‍රධාන වශයෙන් රංග ශාලා වර්ග දෙකකි. එනම්,


1. එළිමහන් රංග ශාලා (ෂේක්ස්පියර් රංග ශාලා යනුවෙන් ද පොදුජන රංග ශාලා යනුවෙන් ද හැඳින්විය)


2. ගෘහාන්තර රංග ශාලා (මේවා පෞද්ගලික රංග ශාලා යනුවෙන්ද හඳුන්වනු ලැබේ.


මෙම නාට්‍ය ශාලා දෙවර්ගය තුළම වේදිකාගත කරන නාට්‍ය සඳහා නරඹන්නන්ගෙන් ගාස්තුවක් අය කරන ලදී.

1615 ට පෙර කාලයේ දී පොදුජන රංග ශාලා ගණනාවක්ම නිර්මාණය විය. මින් පළමුවැන්න 1576 ගොඩනැගුණ අතර පසුව නිර්මාණය වූ රංග ශාලා නම්,


* ද කර්ටන් (1577)   * නිවිංටන් බටිස් (1580)
* ද රෝස් (1587)    * ද ස්වෝන් (1596)
* ද ග්ලෝබ් (1599)   * ද ෆෝර්චූන් (1600)
* ද හෝප් (1641)

මෙම රංග ශාලාවල හැඩය එකිනෙකට වෙනස් වූයේය. එනම් රවුම්, සමචතුරස්‍ර, පස් පට්ටම්, අටපට්ටම් හැඩයන් ගත්තේය. මෙම රංග ශාලාවක ප්‍රේක්ෂකයින් 2000 සිට 3000 දක්වා අසුන් ගත හැකි විය. මෙම සියලුම රංග ශාලා තුළ පොදු වූ ලක්ෂණ ද දක්නට ලැබුණි. එනම් රංග ශාලා මධ්‍යයෙහි විශාල අවකාශයක් විය. එය සෙවිලි කොට නොතිබුණි. මෙය පිට් (Pit) හෙවත් රංගාවාටය යනුවෙන් හැඳින්වේ. පැරණි ගෙවල්වල ඇති මැද මිදුල කොටස මීට සමානකමක් දක්වයි. මෙම රංගාවාටය වට කොට තට්ටු තුනකින් යුත් ගොගනැගිල්ලකි. මෙම තට්ටු තුනේ ආසන පනවා තිබේ. ෂේක්ස්පියර්ගේ ග්ලෝබි රඟහලේ මෙම ගොඩනැගිල්ල තට්ටු තුනකින් යුක්තව අටපට්ටම් හැඩයට තනා තිබේ. සාමාන්‍ය මුදලක් ගෙවූ ප්‍රේක්ෂකයන් රංගාවාටය නම් අවකාශයේ සිට නාට්‍ය නැරඹූ අතර අතිරේක මුදලක් ගෙවූ ප්‍රේක්ෂකයින් තට්ටු තුනේ ආසන මත වාඩි ගත්තාහුය.

එළිසබැතන් රංග භූමියෙහි පෙර වේදිකාව අඩි 4 සිට 6 දක්වා උස ප්‍රමාණයෙන් යුක්ත විය. මෙම වේදිකාව ආවරණය සඳහා වහලයක් ද, එය රඳවා තැබීමට කණු හතරක් ද දක්නට ලැබේ. මෙම වේදිකාව පසුපස තවත් "අනාවරණ" යනුවෙන් කොටසක් ද තිබූ බව කියවේ. මෙය නළුවන්ට සැඟවී සිටීමට උපකාර වූවකි. පිටුපසින් බිත්තියේ දොරවල් දෙක මැද ඉතිරි වී ඇති කොටස "අනාවරණ" කොටස ලෙස භාවිතා කරන්නට ඇතැයි සිතිය හැක. මෙම රංග භූමියට ඉහළින් තවත් තට්ටු දෙකක් පිහිටා තිබූ බව පැවසේ. දෙවැනි මණ්ඩපයේ (දෙවැනි තට්ටුවේ) තවත් නළුවන් රඟපෑ බව පැහැදිලි වේ. මීට අමතරව දෙවෙනි මණ්ඩපය තුළ ජනෙල් එකක් හෝ දෙකක් විය. නළුවන්ට ඒවායින් එබෙන්නටත්, ඒවාට නගින්නටත් පුළුවන් විය. මේවා ඉදිරි වේදිකාවේ පසුපස දොරවල්වලට උඩින් පිහිටියේ යැයි සිතිය හැකිය. ඉතා උස්තැන්වල සිදුවන  ක්‍රියාවක් නිරූපණය කිරීම සඳහා නළුවන් ඇතැම් විට තුන්වෙනි තට්ටුව ද පරිහරණය කළ බව පෙනේ. එහෙත් එම තුන්වෙනි තට්ටුව සාමාන්‍යයෙන් වෙන්කොට තිබුණේ සංගීතඥයින් සඳහාය.


ඉහත විස්තරයට අනුව එළිසබැතන් රංග ශාලාව ප්‍රධාන කොටස් 07 කට බෙදිය හැකිය. එනම්,


1. රංග ශාලා ගොඩනැගිල්ලේ මැදට නෙරා ආ විශාල වේදිකාව.
2. වේදිකාවේ පිටුපසින් දෙපැත්තේ පිහිටි දොරවල් දෙක.
3. මේ දොරටු අතර මැද අනාවරණ ස්ථානය
4. අනාවරණ ස්ථානය මත ඉහළ රංගන පෙදෙස (දෙවෙනි තට්ටුව)
5. ඉහළ මාලයේ වේදිකාවේ දෙපස ජනෙල්.
6. සංගීතඥයින් සඳහා වෙන් වූ තුන්වෙනි මහල. (ඇතැම් විට මෙය නළුවන් විසින් ද පරිහරණය කරනු ලැබේ)
7. ප්‍රේක්ෂාගාරය.

රංගය සඳහා අවශ්‍ය වූ යාන්ත්‍රික රංගෝපකරණ වේදිකාවේ උඩ හා යට තැන්පත් කොට තිබුණි. දොරවල් ගණනාවක්ම වේදිකා බිමෙහි සවිකොට වසා තිබුණි. සුසාන භූමිගත දර්ශන, අවතාර හා යකුන්ගේ පිවිසීම, දුම් හෝ ගිනි යනාදි විශේෂ සිදුවීම් නිරූපණය කිරීම සඳහා මේවා ඉවහල් වේ. දොඹකර යනාදියත්, යම් යම් වස්තු එසවීමට, පාත් කිරීමට අවශ්‍ය වූ බොලොක්කත් එහි රඳවා තබන ලදී. හෙණ පිපිරීම්, අනතුරු අඟවන සීනු නාදය, වෙඩි හඬ යනාදිය නිපදවන ලද්දේ මෙහි සිටය.

(c) Shilpa Sayura Foundation 2006-2017