ඔතෙලෝ නාට්‍යයෙහි ද අන්‍ය නාට්‍යවල මෙන්ම ඛේදවාචකයක මූලික ලක්ෂණ රැකගෙන තිබේ. මිනිසා නිතරම උත්සාහ ගන්නේ මානසික සමබරතාවක් ඇති කර ගැනීමටය. යම්කිසි ආකාරයකින් සමබරතාවය බිඳුනහොත් එයින් ජීවිතයට අනතුරුවලට මුහුණ පෑමට සිදුවන බව මේ නාට්‍යයෙන් ධ්වනිත වේ. මෙහි ප්‍රධාන චරිතය වූ කලි ලෝකයේ පවත්නා අසාධාරණකම් හේතුකොට ගෙන මනුෂ්‍යත්වයෙන් හෙම්බත් වූවෙකි. මෙහි දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් හැටියට කිව හැක්කේ වස්තු විකාශනයෙහි පවත්නා ක්‍රම බද්ධ භාවයයි. අන්තිමට ඇතිවම ගැටුම අතරමග නොනැවතීම වේගවත්ව විපත කරා ගෙන යයි. ප්‍රේමය හා ඊර්ෂ්‍යාව වැනි මනෝභාවයන් ගැටුම් අවස්ථා ඇති කිරීමට ප්‍රබල සාධකයන්ය. ඔතෙලෝ තුළ ජනිත කර වූ ප්‍රේමය පිළිබඳ සැකයි මුළාවක් පමණක් බව තේරුම් ගිය විට එතරම් දැඩි ප්‍රේමයකින් සිටියකු කරන්නේ කුමක්ද? සිය දිවි නසා ගැනීමය. ඔතෙලෝ කරන්නේ ද එයමය. සැකය. සත්‍ය, කලකිරීම හා ප්‍රේමය අතර මිනිසෙකු හැල හැප්පෙන හැටි නිරූපණය කරන මෙය ආවේග බහුල වූවකි.
ෂේක්ස්පියර් තම අනෙක් බොහෝ නාට්‍යවල මෙන්ම "ඔතෙලෝ" නාට්‍යයට ද මූලාශ්‍රය ගෙන ඇත්තේ බැහැරිනි. ගියෝවන්නි බස්තිනා, ගිරෝල්ඩ් සින්තියෝ නමැති කතාකාරයා විසින් ලියන ලද "හෙකටොමිති" හෙවත් "කතා සියය" නමැති කෘතියෙනි. මෙහි එන "ස්වාමිපුරුෂයන්ගේ" හා භාර්යාවන්ගේ ද්‍රෝහිකම්" යන කතාව මේ සඳහා මූලාශ්‍ර කරගනී.
ඔතෙලෝ චරිතය
ඉයාගෝගේ කුමන්ත්‍රණය සාර්ථක වන්නේ ඔතෙලෝ අනුන් කෙරෙහි විශ්වාසය තබා ජීවත් වන්නෙකු නිසාවෙනි. නාට්‍යයේ ඛේදාත්මක ගැටුම රඳා පවතින්නේ ඩෙස්ඩිමෝනා පිළිබඳව ඔතෙලෝ තුළ ඇති පාලනය කරගත නොහැකි තරම් අතිමහත් ප්‍රේමයත්, ඇය මරා දැමීමට ඔහු මෙහෙයවන යුතුකම ගෞරවය හා සාධාරණත්වය පිළිබඳ දැඩි හැඟීමත් අතර පවත්නා දරුණු අරගලය මතය, ඔතෙලෝගේ සරල හා අසංකීර්ණතාවන් ඒ හා අත්වැල් බැඳගත් ආත්ම ගෞරවයේ ආත්මාභිමානයේ හා යුතුකමේ උදාර හැඟීමත් යන කරුණු දෙක මේ ශෝකාන්තයේ මූලික ලක්ෂණය බවට පත්ව ඇත.
ඔතෙලෝගේ චරිතය නාට්‍යයට යොදාගෙන ඇත්තේ තරුණ අවධිය ගෙවා මැදිවියේ පසුවන තැම්පත් ගැඹුරු තැනැත්තෙකු ලෙසය. එහෙත් තරුණ ජීවිතයක දක්නට ලැබෙන ආත්ම විශ්වාසය, උදාරත්වය, නොසැලෙන ගුණය, ස්ථිර අධිෂ්ඨානය, අනුන් කෙරෙහි ඇති අචල විශ්වාසය හා මනුෂ්‍යත්වයට ඇති ගෞරවය මොහු තුළ නොඅඩුව දක්නට ලැබේ.
ඔතෙලෝගේ ආත්ම සංයමය හා ආත්ම දමනය ඉතා විචිත්‍ර අන්දමින් ෂේක්ස්පියර් මවාපාන අවස්ථාවක් ලෙස බ්‍රබැන්ටියෝ සිය සේවක පිරිස කැටුව රාත්‍රියේ ඔතෙලෝ කලහයට පැමිණි අවස්ථාව දැක්විය හැකිය. එහිදී ඔතෙලෝ මෙසේ පවසයි.
"ඔය දිලිසෙන කඩු කොපුවල දාගනිල්ලා
නැත්නම් පින්නෙන් මළ කන්න පුළුවන්
ආයුධවලින් ලබනවාට වඩා යහපත් සිඤ්ඤෝර්
අවුරුදුවලින් ඔබට ගෞරවය ලබන්න පුළුවන්"
ඩෙස්ඩෙමෝනා කෙරෙහි ඔතෙලෝ ඇති කරගත් ප්‍රේමය බොළඳ එකක් නොවේ. සරාගි හැඟිමක් නිසා හදිසියේ හටගත් කාම ආශාවන් සන්තර්පණය උදෙසා හටගත් ප්‍රේමයක් ද නොවේ. එසේත් නැතිනම් රූපලාවන්‍ය නිසා පහළ වූ ආදරයක් ද නොවේ. ඒ වූ කලී උදාර වූත්, පරිණත බුද්ධියකින් යුතු වූත්, ප්‍රෞඨ වයසෙහි පසුවන්නා වූත් ප්‍රතාපවත් පුරුෂයකු විසින් තමා හා සමාන තත්ත්වයේ යැයි සිතන ස්ත්‍රියකට කරන පූර්ණ පෙම් බැඳීමක් වූයේය. ගත හා සිත මුළුමනින්ම පවරා දීමක් වූයේය.
මේ ශෝකාන්තයේ ඉතාම වේදනාත්මක අංගය වී ඇත්තේ ඛේදවාචකය පුරාම සෑම අවස්ථාවකදීම ඩෙස්ඩෙමෝනා පිළිබඳව ඔතෙලෝ තුළ ඇති ප්‍රේමය කිසිසේත් නොසිදී එකසේ පැවතීමයි. තමා සිතන පරිදි තමාට ද්‍රෝහි වූ ඩෙස්ඩෙමෝනාට ද අවසාන අවස්ථාවේදීත් තමා ඇය කෙරෙහි ඇති බැඳීම පහත සඳහන් ප්‍රකාශයෙන් හෙළි වේ.
"සුවඳවත් මිහිරි හුස්ම!තව එකක්, තව එකක්
තී මළායින් පසුත් ඔය විදිහටම ඉන්න ඕනේ
පළමුව මම තී මරලා, දෙවනුව මම තීට ආලය කරනවා
තව එකක්, මේක තමයි අවසාන එක
මේ තරම් මිහිරක් කිසිම කාලෙක
මේ තරම් මරාත්මක වුණේ නැහැ
මම අඬන්න ඕනේ නමුත් ඒවා ක්‍රෑර කදුළු
මේ දුක දිව්‍යමය දුකක්
එය ප්‍රේම කරන තැනටම පහර දෙනවා
අන්න ඈ අවදි වෙනවා"