විලියම් ෂේක්ස්පියර්ගේ නාට්‍ය
 

මොහුගේ නාට්‍ය ප්‍රධාන වශයෙන් ඛේදාන්ත, සුඛාන්ත හා ඉතිහාස යනුවෙන් කොටස් තුනකට බෙදිය හැකිය. ඔහු නිර්මාණය කළ නාට්‍ය පහත ආකාරයට වෙන්කර දැක්විය හැකිය.


ඛේදාන්ත නාට්‍ය


1. රෝමියෝ හා ජුලියට් (1594)
2. ජුලියස් සීසර් (1601)
3. හැමිලට්, ප්‍රින්ස් ඔෆ් ඩෙන්මාර්ක් (1602)
4. ඔතෙලෝ, ද මුවර් ඔෆ් වෙනිස් (1604)
5. කිං ලියර් (1605)
6. මැක්බත් (1606)
7. ඇන්ටනි හා ක්ලියෝපැට්‍රා (1607)
8. කෝරියොලන්ස් (1608)
9. ටිමන් (1607)
10. ට්‍රොයිලස් හා ක්‍රෙයිඩා (1607)

සුඛාන්ත නාට්‍ය


1. ලව්ස් ලේබර්ස් ලොස්ට් (1590)
2. කොමඩි ඔෆ් එරර්ස් (1591)
3. ටූ ජෙන්ටිල්මන් ඔෆ් වෙරෝනා (1592)
4. මිඩ්සමර් නයිට්ස් ඩ්‍රීම් (1593)
5. මර්චන්ට් ඔෆ් වෙනිස් (1596)
6. ටේෂින් ඔෆ් ද ෂ්‍රෑ (1597)
7. ද මෙරි වයිවිස් ඔෆ් වින්ඩිසර් (1598)
8. මව් ඇඩෝ එබවුට් නතිං (1598)
9. ඈස් යූ ලයික් ඉට් (1599)
10. ටිවෙල්ෂ්ත් නයිට් (1600)



ඉතිහාස නාට්‍ය


1. හෙන්රි ද සික්සිත් (1591)
2. රිචර්ඩ් ද තර්ඩ් (1593)
3. රිචර්ඩ් ද සෙකන්ඩ් (1594)
4. කිං ජෝන් (1595)
5. හෙන්රි ද ෆෝත් (1597)
6. හෙන්රි ද ෆිෆ්ත් (1599)


අද්භූත කතා


1. පෙරිකල්ස්
2. සිම්බලින් (1609)
3. ටෙම්පස්ට් (1610)
4. වින්ටර්ස් ටේල් (1610)


ආවේගාත්මක නාට්‍ය


1. ඕල්ස් වෙල් දැට් එන්ඩ්ස්වෙල් (1602)
2. මෙෂර් ෆෝ මෙෂර් (1603)


 

විලියම් ෂේක්ස්පියර්ගේ සදාකාලික වූ විශ්ව ව්‍යාප්ත කීර්තිය පිළිබඳ ඔහු හා සමකාලීන නාට්‍ය කර්තෘවරයකු වූ බෙන් ජොන්සන් මෙසේ පවසයි.


"ෂේක්ස්පියර් කිසියම් විශේෂ යුගයකට පමණක් සීමා වූවකු නොව සියලුම කාලයට අයත් වූවකි"


තවද ෂේක්ස්පියර්ගෙන් පසු කාලයේ විසූ ශ්‍රේෂ්ටතම කවියා, නාට්‍යකරුවා වූ ජෝන් ඩ්‍රයිඩන්, "ෂේක්ස්පියර් මහා කවියාට විශ්ව ව්‍යාප්ත සිතක් තිබුණේය." යි පවසයි. එපමණක් නොව ෂේක්ස්පියර්ගේ ජුලියස් සීසර්, රෝමියෝ හා ජුලියට්, මැක්බත්, හැමිලට්, ඔතෙලෝ, වැනීසියේ වෙළෙන්ඳා වැනි නාට්‍ය කෘති රුසියන්, ජර්මන්, ජපන්, ඉන්දීය භාෂා ආදී නොයෙකුත් විදේශීය භාෂාවලට පෙරළා තිබීමෙන් ද මේ ලේඛකයාගේ විශ්ව සම්භාවනීයත්වය සනාථ වේ. රෝමියෝ හා ජුලියට්, මැක්බත්, හැමිලට්, ඔතෙලෝ ආදී නාටක ඇමරිකාව, රුසියාව, ඉන්දියාව, ජපානය ආදි විදේශයන්හි පවා චිත්‍රපටවලට නගා තිබීමෙන් හා වරින්වර වේදිකාගත කරනු ලැබීමෙන් ද ඔහුගේ අසහායත්වය තවදුරටත් සනාථ වේ.

යුරෝපීය ඛේදාන්ත නාට්‍ය සංකල්පය පිළිබආ පළමුවරට නිර්වචනයක් දී තිබෙන්නේ ඇරිස්ටෝටල් විසිනි. ඉංග්‍රීසි නාට්‍ය, රෝමන් නාට්‍ය ඔස්සේ සැකසුන බැවින් ඇරිස්ටෝටල්ගේ නිර්වචනය මේ හැම නාට්‍යයක් කෙරෙහිම යම් ප්‍රමාණයකට බලපාන බව කිවහැකිය. ෂේක්ස්පියර්ගේ ඛේදාන්ත නාට්‍ය සමස්ථයක් වශයෙන් විග්‍රහ කර බලන විට ඔහු එහිලා දැක්වූ ආකල්පයෙහි යථා තත්ත්වය පැහැදිලි කරගත හැකිය.

 
ඛේදාන්ත නාට්‍යයක කතා නායකයා හෝ නායිකාව අනිවාර්යයෙන්ම ඛේදාන්තයකට මුහුණපානු ලැබේ. රෝමියෝ ජුලියට් හා ඇන්ටනි ක්ලියෝපැට්‍රා යන නාට්‍ය දෙකෙහිම නායක නායිකාවන් දෙදෙනාම කතාව අවසානයේ මිය යති. නාට්‍ය අවසානයේ නායිකාව හෝ නායකයා ජීවත් වෙයිනම් එය ෂේක්ස්පියර්ගේ අනතුරකින් හෝ ස්වභාවික අන්දමින් මරණය සිදුවීම ඛේදවාචකයේ රීතිය නොවේ. වස්තු විකාශනය සඳහා ගන්නා සිදුවීම් එකිනෙකට තුඩු දීමෙන්ඇති කරන වේදනා විපත්වලින් මිදීමට හෝ පළිගැනීමට වෙහෙසීමෙන් සිදුකෙරෙන මරණය ඛේදවාචකයකි. මරණය සිදුකරන දර්ශනය කරුණා රසය මූර්තිමත් කෙරෙන අනුකම්පාව හා දයාව වැනිභාවයන් අවුස්සන සුලු එකක් විය යුතුය. කිං ලියර් හා හැමිලට් මෙහිලා ගතහැකි හොඳ නිදර්ශනයකි. ලියර් රජතුමාගේ මෝඩකම් වලින් අප පළමුව සිනහ ගන්වන නමුදු, පසුව ඔහුට මුහුණපාන්න සිදුවනඉරණම දකින විට අප තුළ අනුකම්පාවක් හට ගනී. එහෙත් මැක්බර්ත්හි මෙය පාඨකයා හෝ ප්‍රේක්ෂකයා කෙරෙහි බලපාන්නේ වෙනත් අන්දමකිනි. ඔහුට මුහුණ දෙන්නට සිදු වු ඝාතනය කෙරෙහි ප්‍රේක්ෂකයාගේ අනුකම්පාව තීව්‍ර නොවන්නේ ඔහුගේ මරණය ඔහු විසින් සිදු කරවන ලද අනෙක් අයගේ මරණවලට ගෙවන වන්දියක් වන හෙයිනි.

තත්කාලීන ප්‍රේක්ෂකයා ඉමහත් වින්දනයක් ලැබුවේ හැමදාම දුගී දුකෙන් පෙළෙන පීඩිතයෙකුගේ මරණයක් දැකීමෙන් නොව සමෘද්ධිමත් භාවයෙන් හා සුරක්ෂිත භාවයෙන් පසුවන ලියර් වැනි රජවරුන්, හැමිලට් වැනි කුමාරවරුන්, නැතහොත් කොරියෝලනස් , බ්‍රෑටස්, ඇන්ටනි වැනි රාජ්‍ය නායකයන් නැතහොත්, රෝමියෝ ජුලියට් වැනි මහජන ආන්දෝලනයට පාත්‍ර වුණු ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ මරණය දැකීමෙනි. ෂේක්ස්පියර් තුළ මෙම සංකල්පය බෙහෙවින් ක්‍රියාත්මක විය.


ෂේක්ස්පියර් ක්‍රියාත්මක කරන විපත්ති ආකස්මික අන්දමින් අලෞකික බලවේගයකින් සමූහයකට මුහුණ පාන්න සිදුවේ. මේ විපත් වැල තුළින් එයට මුහුණපාන පුද්ගලයාගේ චරිතය විකාශනය වේ. ඔහු චරිතවලට මුල්තැන නොදෙයි. සිදුවීම්වල විස්වාසනීයත්වය හෝ සාහසිකභාවය හේතු කොට ගෙන චරිත කැපී පෙනෙන්න සලස්වයි. යුක්තිය, ආධිපත්‍ය, බලය, ආත්මාර්ථකාමිත්වය, ප්‍රේමය වැනි මනෝභාවයන්ගෙන් මඬිනු ලබන පුද්ගලයා ඒ මනෝභාවයන් ප්‍රකාශ කිරීමට උචිත මාර්ග සොයා ගනියි. එවැනි මාර්ග බොහෝ සෙයින් කෙළවර වන්නේ විපතකිනි. එය වැළැක්විය නොහැක්කකි. එය වැළැක්වුවහොත් නාට්‍යය විකෘති වන අතර එලාගමය දක්වා නොයනු ඇත. සුලභ ගණයේ වීරයකුට නම් එවැනි විපත්වලින් මිදී කෘත්‍රීම ජයග්‍රහණයක් කරා ළඟා විය හැකිය. එහෙත් එය සත්‍ය මනුෂ්‍ය ජීවිතය නොවේ. දුක සැප හා ජය පරාජය දෙකම පිළිගන්නා, දෙකටම මුහුණ දෙන සැබෑ මිනිසා ප්‍රේක්ෂකගේ විශ්වාසය දිනාගැනීමට සමත් වෙයි.

මොහු නිරූපණය කරන චරිතවලට මුහුණ පෑමට සිදුවන දුක්ඛ වේදනාවන්ට අමතර වශයෙන් වස්තු සන්දර්භය සඳහා උපයෝගි කරගන්නා තවත් අංග කිහිපයක් ඔහුගේ නාට්‍යවල දක්නට ලැබේ. උමතු බව, නින්දෙන් ඇවිදීම, විකාර දෙඩවීම, ආත්ම භාෂණ ආදිය එයින් සමහරකි. මෙම බාහිර අංග වැඩි වශයෙන් ඛේදාන්තයට තුඩු දිය හැකි මානසික විකෘති අවස්ථා හැටියට යෙදී තිබෙන බැව් දක්නට ලැබේ. එහෙත් මේ විකෘති තත්ත්වයන් බොහෝ විට නාට්‍යගත කිසිම අවස්ථාවකට හේතු ප්‍රත්‍ය වන බවක් දක්නට නොමැත. මැක්බත්, ඩන්කන් මැරුවේ අහසෙහි එලලෙන කිරිච්චියක් දුටු නිසා නොවේ. එහෙත් ඔහු ඩන්කන් මැරීමට සූදානම් වන අතරය කිරිච්චිය දුටුවේ. ලියර් රජ මළේ ඔහුගේ උමතු බව නිසා නොවේ. ඔෆිලියා මළේ ඇගේ පිස්සුව නිසා නොවේ. මෙවැනි විකෘති ස්වභාවයන් ද මිනිස් දිවියට අයත් බවත්, ඒවා පාලනය කර ගැනීමට නොහැකි වන මිනිසා ඒවා සමඟ ගැටෙමින් ඉදිරියට තල්ලු වන බවත් පෙන්වීමට ෂේක්ස්පියර්ට අවශ්‍ය විය. නාට්‍යයක් වශයෙන් ගත්කල එවැනි විකෘති අවස්ථා වේදකාව මත නිරූපණය කිරීමෙන් ප්‍රේක්ෂකයා තුළ දැඩි රසෝද්දීපනයක් කළ හැකිව තිබුණු බව ෂේක්ස්පියර් දැන සිටියේය.

ෂේක්ස්පියර් ඇතැම් ඛේදාන්තවලට බොහෝ විට අති මානුෂීය බලවේගයන්ද ඇතුළත් කරයි. භූතාත්මයන්, මෝහිනියන් හා සුරංගනාවන් ඇතුළත් කර තිබෙන නාට්‍ය අපට දක්නට ලැබේ. මේවා හුදෙක් චරිතයක මනස්ගාතයක් හැටියට සැලකිය නොහැකිය. ඒවා වස්තු විකාශනයට එක එල්ලේම වහල් වී තිබේ. ඒවා ඒ ඒ තැන්වලින් ඉවත් කළහොත් වස්තු සන්දර්භය පළුදු වේ. චරිතයක අධ්‍යාත්මික ක්‍රියාකාරිත්වයට ජීවය ලැබී තිබෙන්නේ එවැනි බලවේග වලිනි. හැමිලට්ගේ පියා මැරුවේ තම බාප්පා විසින්ම යයි එකහෙළා පිළිගන්නට සිදු වූයේ භූතාත්මය විසින් සාක්ෂි ඉදිරිපත් කළ පසුවයි. බ්‍රෑටස්, රිචර්ඩ්, මැක්බත් ආදීන්ගේ චරිතවලට සම්බන්ධ වී තිබෙන අති මානුෂීය බලවේගයන්ගේ ක්‍රියාකාරිත්වය ද එවැනිමය. එහෙත් ඇතැමෙකු සලකන පරිදි ෂේක්ස්පියර්ගේ නාට්‍ය තුළ ක්‍රියාත්මක වන අලෞකික බලවේගවල ක්‍රියාකාරිත්වය නොවැදගත් සේ සලකා හැරිය නොහැකිය.

මොහුගේ ඛේදාන්තවල දක්නට ලැබෙන තවත් සැලකිය යුතු ලක්ෂණයක් නම් අහම්බෙන් සිදුවන සිද්ධීන් දක්නට ලැබීමයි. මෙම සිදුවීම් ආකස්මිකව නොව ලෝක ස්වභාවය අනුව හේතුඵල සම්බන්ධතාවයක් අනුව සිදුවන සිදුවීම්ය. හැමිලට් එංගලන්තයට යන අතර මුහුද මැද දී මුහුද කොල්ලකාරයන්ගේ පහර දීමට හසුවී පෙරළා ඩෙන්මාර්කයට එන්න සිදුවීම මෙවැනි අහම්බෙන් සිදු වූ සිද්ධියකි.

රෝමියෝට පූජකයාගේ බෙහෙත දැන ගන්නට නොලැබුණි. ජුලියට්ට විනාඩියකට ක‍ිලන් එනම් රෝමියෝ විෂ පානය කිරිමට පෙර අවදිවන්නට නොහැකිවිය. එයින් දෙදෙනාගේම මරණය සිදුවිය.


අපේ ජීවිතයේ දී මෙවැනි ලිස්සායාම් කොපමණ සිදු වේ ද? ෂේක්ස්පියර් ඉදිරිපත් කරන ඛේදවාචකයට මෙවැනි අහඹු සිදුවීම් යම්කිසි පිටුවහලක් වෙයි.


ඉහත දැක්වූ කරුණු අනුව ෂේක්ස්පියර්ගේ ඛේදාන්ත නාට්‍යවල මුඛ්‍ය ලක්ෂණය මෙසේ කොටස් කරගත හැකිය.


1. එලිසබැතන් භාවිතයට අනුව ප්‍රධාන චරිතය මරණයට පත් කරන විපත්තියකට මුහුණ පෑ යුතුය.
2. නායකයාගේ චරිතය කෙරෙහි හැඩගස්වා තිබෙන අවශ්‍ය ගතිගුණවල ප්‍රතිඵලයක් වශයෙන් විපතට මුහුණ දිය යුතුය.
3. නායකයාගේ ඉරණම කෙරෙහි ප්‍රේක්ෂකයා ලවා විශේෂ අවධානයක් යෙදීමට හැකිවන අයුරින් දුර්වලකම් අභිබවා සිටින ආත්ම ධෛර්යයක් පෙන්විය යුතුය.

(c) Shilpa Sayura Foundation 2006-2017