සමකාලීන ලේඛකයෝ
 

1950 කාලයේ දී ෂේක්ස්පියර්, නාට්‍ය රචනා කරන්නට පටන් ගත් අවස්ථාව වන විට තවත් බොහෝ නාට්‍යකරුවන් නාට්‍ය රචනා කරන ලදී. මොවුන් අතරින් ප්‍රබල ලෙස කැපී පෙනුනේ තෝමස් කිඩි, ක්‍රිස්ටෝපර් මාලෝ, ජෝන් ලයිලි, රොබර්ටි ග්‍රින් සහ බෙන් ජොන්සන් යන නාට්‍ය රචකයෝය.


ක්‍රිස්ටෝෆර් මාලෝ (1544-1593)


ක්‍රිස්ටෝෆර් මාලෝ හා තෝමස් කිඩි යන දෙදෙනා ෂේක්ස්පියර්ට පෙර නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසි ලේඛකයෝ දෙදෙනෙකි. ෂේක්ස්පියර්ගේ සමකාලිනයන් වූ මොවුන්ගෙන් ඔහු එක්තරා ප්‍රමාණයකට ආභාෂයක් ලබා තිබෙන බව නිසැකවම කිව හැකිය. මාලෝ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූවෙකි. මොහුගේ නාටක අතර ඉතාමත් වැදගත් ඒවා නම් "ඩොක්ටර් ෆවුස්ටස්" "දෙවැනි එඩ්වර්ඩ්" "ටැම්බර්ලේන්" හා "මෝල්ටාවේ යුදෙව්වා" යන මේවාය. ෂේක්ස්පියර්ට පෙර කාලයේ ඉතාමත් හොඳ දුඛාන්ත නාට්‍ය රචනා කළ තැනැත්තා වශයෙන් සැලකෙන්නේ මාලෝය.


එලිසබැතන් නාට්‍ය රචනා කලාවට මාලෝගෙන් සිදු වූ වැදගත් සේවාවක් වශයෙන් ගැනෙන්නේ නාට්‍ය මාධ්‍යයක් ලෙසින් නිදහස් පද්‍යය පරිසමාප්තියට ගෙන ඒම, නාට්‍යයක් එක් ප්‍රබල චරිතයක් වටා ගෙතීම හා නාට්‍යයේ මුල සිට අග දක්වා එම චරිතයේ චේතනාවන් අනාවරණය කිරීමයි. ෂේක්ස්පියර් හැරුණු විට ඉතාහාස නාටකය උච්චතම පියවරක් දක්වා විකාශනය කළේ ක්‍රිස්ටෝෆර් මාලෝය.

තෝමස් කිඩි (1558-1594)


තෝමස් කිඩි අධ්‍යාපනය ලැබුවේ මර්චන්ටි විද්‍යාලයෙනි. මෙහිදී කිඩි රෝමානු නාට්‍ය කලාව උගත්තේය. 1587 දී කිඩි ලියූ ස්පැනිස් ට්‍රැජඩි නම් නාටකයෙහි, සෙනකාගේ නාට්‍යවල ආභාෂය දක්නට ලැබේ. මෙහි එන භාවාසිශය වස්තු විෂය, පළිගැනීමේ චේතනාව, අවතාර හා ගායන වෘන්ද පරිහරණය වැනි ලක්ෂණ එම ආභාෂය ලබා ගැනීමේ ප්‍රතිඵලයන්ය.


කිඩි විස්මයජනක ලෙස නාට්‍යයේ කාර්යය වෙනත් පැතිවලට පෙරළිමත්, ප්‍රේක්ෂකයින් කුමකින් කුමක් වේද යන සිතුවිල්ලෙහි වෙළා තබන වස්තූන් ගොතන හැටි පසු කාලීන නාට්‍යකරුවන්ට ඔහුගේ නාට්‍ය තුළින් ඉගැන්විය. ෂේක්ස්පියර් නාට්‍ය හා සසඳන විට ස්පැනිස් ට්‍රැජඩිය දරඳඬු සේ පෙනී යන නමුදු නාට්‍යමය උපක්‍රම අතින් එය ඊට පෙර තිබුණු සියලු ඉංග්‍රීසි නාට්‍යවලට වඩා කැපී පෙනේ.

රොබර්ටි ග්‍රින් (1558-1592)


"යුනිවර්සිටි විටස්" නමින් හඳුන්වන නාට්‍ය කණ්ඩායම් එක් අයිතිකරුවකු ලෙස රොබර්ටි ග්‍රීන් හැඳින්විය හැකිය. ඛේදාන්ත නාට්‍ය රචකයෙකුට වඩා සුඛාන්ත නාට්‍ය ලේඛකයෙකු ලෙස ජනප්‍රිය වූ මොහු විසින් ලියා තිබෙන නාට්‍යවලින් පහක් දැනට ඉතිරි වී තිබේ. මෙයින් වැදගත් වන්නේ "ප්‍රර් බේකන්" නාට්‍යයට මුල් වූ කතා වස්තුවයි. මෙම වස්තු විකාශනයේ දී කාලීන රුචියට අනුව බලපෑ ප්‍රධාන අංග තුනක් ඉවහල් කොට ගෙන තිබේ.

ගුප්ත විද්‍යාත්මක ක්‍රියා, රදළ ජීවිතය හා පිටිසරබද ජීවිතය යන අංග තුනය. මෙම අංග තුන මැනවින් ඒකාබද්ධ කර සමතාවයකින් යුක්තව කොතරම් සාර්ථක අන්දමින් ඉදිරිපත් කර තිබේදැයි කිවහොත් ෂේක්ස්පියර්ගේ "මිඩ්සමර් නයිට් ඩ්‍රීම්" නමැති නාට්‍යයට ද එහි ආභාෂය ගෙන තිබේ. මෙම නාට්‍යයෙහි මුඛ්‍ය ලක්ෂණය වී තිබෙන්නේ කුමාරවරුන් හා විදුෂකයන් එකට මුණගැසෙන, සුරංගනාවන් හා ශිල්පීන් එකට හමුවන ගම්බද ප්‍රේමය මූර්තිමත් කරන විවිඒ භාවයන් හා පරිසරයෙන් යුත් සම්මිශ්‍රණයකි. මොහුගේ "ජේම්ස් ද ෆෝත්" නමැති නාට්‍යයෙන් ද ඉදිරිපත් කෙරෙන්නේ අද්භූත ප්‍රේමයකි.

යථාර්ථ වාදයත්, සංකල්ප වාදයත් එකට මුණගැසෙන මෙම නාට්‍ය එකිනෙකට ගැටෙන විරෝධතාවන් සමග සමතාවක් බලාපොරොත්තු වෙමින් ඉදිරියට යන කතාවකි. එලිසබැතන් යුගයේ ජනාදරය දිනාගත් රොසලින්ඩිලා හා සිලියස්ලා මොහපගේ නිර්මාණයෝය. විශේෂ අවධානයකින් මෙහි නිරූපණය කර තිබෙන මාගරට් හා ඩොරතියා වරක් ව්‍යවහා ජීවිතයට ද වරක් සංකල්පමය ලෝකයට ද පිවිසෙන කදිම ගැහැනුය.

ජෝන් ලයිලි (1554-1606)


ෂේක්ස්පියර්ගේ සමකාලීන ලේඛකයන්ගේ කෘතිවලින් වැඩි කොටසක් නාට්‍ය ලියා තිබෙන්නේ ජෝන් ලයිලි විසිනි. මොහුගේ නාට්‍යවලින් අටක් දැනට ඉතිරි වී තිබේ. මොහු ගද්‍යමය සුඛාන්ත නාට්‍ය රචනයෙහි යෙදුණේය. ඒවා පුරාණ කතාවලින් උපුටා ගත් වස්තු ගැබ්කොට විදග්ධ සුන්දර රීතියකින් රචනා කොට ඇත.


තවත් කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ හැම නාට්‍යයක්ම පාහේ ළමා නළුවන් උදෙසා ලියා තිබීමය. ලයිලි සංකීර්ණභාවය හැකිතාක් දුරට අඩු කරමින් රජවාසල රඟ දක්වනු පිණිස ලියා තිබේ. අද්භූත චරිත නිරූපණය මගින් භාවය ඇවිස්සීමට කර තිබෙන ප්‍රථම සාර්ථක ප්‍රයත්නය දක්නට ලැබෙන්නේ ලයිලිගේ කෘතිවලය.

අනුකරණයෙන් තොර වූ විහිළුව හා සරදම ඔහුගේ කෘතිවල දක්නට ලැබෙන ප්‍රේක්ෂක මනස දිනා ගත් තවත් ලක්ෂණයකි. ඒවායින් ඇතැම් සමාජ ඇබ්බැහිකම් කෙරෙහි උපහාසාත්මක බැල්මක් හෙළා තිබේ. සංස්කෘතිය අතින් ඉහළ මට්ටමේ සිටින ගැහැනු මිනිස්සු උසස් භාෂාවලින් කතා කරති. මෙය අසන දකින නූගත් ගැමියෝ එය අනුකරණය කරති. මෙයින් ඔහු යම් ප්‍රමාණයක සමාජ ගැටුමක් ඉදිරිපත් කරයි. මෙවැනි ලක්ෂණ නිසා ඔහුගේ සුඛාන්තයන් බොහෝ සෙයින් ජනප්‍රිය වූ අතර, ෂේක්ස්පියර් හැකි සෑම අවස්ථාවකම ඒවායින් ප්‍රයෝජන ගෙන තිබෙන බව කිව යුතුය.

බෙන් ජොන්සන් (1573-1637)


බෙන් ජොන්සන් ෂේක්ස්පියර්ට වඩා වයසින් තරමක් බාල වුවද, ජොන්සන් ඔහුගේ ආභාෂය නොලද්දෙකි. එහෙත් ෂේක්ස්පියර් ඇතැම් විට ජොන්සන්ගෙන් තරමක් හෝ ආභාෂය ලබාගෙන තිබෙන බව විචාරකයෝ කියති. හාස්‍ය රසයත්, උපහාසයත්, ෂේක්ස්පියර්ගේ කෘති තුළට පිවිසුණේ ජොන්සන්ගේ ආභාෂයෙන් යැයි මතයක් පවතී. මොහු විසින් ලියා තිබෙන නාට්‍යවලින් 13 ක් දැනට ඉතිරි වී තිබේ. කල්ලිවාදය ක්‍රමයෙන් දියුණු වෙත්ම ෂේක්ස්පියර්ගේ හා ජොන්සන්ගේ අදහස් ක්‍රමයෙන් ගැටෙන්නට විය.

ප්‍රතිභාවේ හා නිර්මාණකරණයේ කැපී පෙනුන යුගයක් ලෙස එලිසබැතන් රැජිනියගේ යුගය හැඳින්විය හැකිය. රැජිනගේ අවසාන කාලය සිට තුන්වැනි විලියම් හා දෙවැනි මේරි බිසවගේ රාජ්‍ය කාලය අතරතුර ෂේක්ස්පියර් හා ඔහුගේ සගයන්ගේ කෘති පමණක් නොව මිල්ටන්ගේ නිදහස් පද්‍යයෙහි විශිෂ්ටත්වය සමග ඩ්‍රයිඩන්ගේ කෘතිවලින් පරිසමාප්තියකට පැමිණි ස්වර්ණ යුගය මෙය හැටියට සැලකේ.

විලියම් ෂේක්ස්පියර් (1564-1616)


එලිසබැතන් යුගයේ නාට්‍යකරුවන් අතර ශ්‍රේෂ්ටතම නාට්‍යකරුවා ලෙස සලකනු ලබන්නේ විලියම් ෂේක්ස්පියර්ය. ස්ට්‍රැටිපර්ඩ් ඔන් ඇව්න් නම් නගරයේ වෙළෙන්ඳෙකුගේ පුතෙක් ලෙස උපන් ෂේක්ස්පියර් තමාගේ දැනුම පුළුල් කරගත් බව පොතපතෙහි සඳහන් වේ. 1595 වන විට ඔහු ලන්ඩනයේ වෙම්බර්ලේන් සාමිවරයාගේ නාට්‍ය සමාගමේ කොටස්කරුවෙක් හා නළුවෙක් වශයෙන් කටයුතු කළේය. පසුව ඔහු ග්ලොබ් රඟහලේ අවශ්‍යතා සපුරා එයින් මුදල් ලබන්නෙකු ද විය. නාට්‍ය සමාගම්වල කොටස්කරුවෙකු, නළුවකු, නාට්‍ය අධ්‍යක්ෂවරයකු හා නාට්‍ය රචකයකු වශයෙන් ඔහු විවිධ කුසලතාවලින් සමන්විත පුද්ගලයෙකු වූ බව පෙනී යයි.


1590 දී පමණ නාට්‍ය රචනයට පිවිසි ෂේක්ස්පියර් නාට්‍ය 36 ක් පමණ රචනා කර තිබේ. තමාගේ සමකාලිනයන් මෙන්ම ෂේක්ස්පියර් ද නාට්‍ය රචනයෙහි දී නවකතාවලින් ද, මීට ඉහත රචනා කළ නාට්‍යවලින් ද, ඉතිහාසයෙන් ද, පුරාණකතාවලින් හා වෙනත් මූලාශ්‍රයන්ගෙන් ද වස්තු විෂයයන් සපයා ගත් බව පැහැදිලි වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017