එලිසබතියාන් නාට්‍ය
 

එලිසබැතන් රැජිනගේ පාලන කාලයෙහි එනම් ක්‍රි.ව. 1558-1603 අතර කාලය (17 වැනි සියවස) එංගලන්ත කලා ශිල්ප අතින් දියුණු වූ යුගයෙකි. මුළු එංගලන්තයම එක් සේසත් කළ ඕතොමෝ සියරට යුරෝපීය ජාතින්ගේ උසස්ම රටවලින් එකක් බවට ගොඩ නැංවූවාය. භාෂා ශාස්ත්‍රය හා කලා ශිල්ප පිළිබඳ එකල ඇති වූ දියුණුව නිසාම එය "එලිසබැතන් යුගය" නමින් හඳුන්වනු ලැබීය. එම කාලයට අයත් නාට්‍ය හැඳින්වූයේ "එලිසබැතන් නාට්‍ය" යනුවෙනි.


එලිසබැතන් නාට්‍ය යුගය හැටියට සැලකෙන්නේ ක්‍රි.ව. 1580-1640 දක්වා වූ කාලසීමාවයි. එලිසබැතන් රැජිනගේ කාලයෙහි රඟ දැක්වුණු නාට්‍ය පොදු ජනතාවගේ නාට්‍ය යයි කිව හැකිය. රදළ හා කම්කරු වශයෙන් ගැනෙන හැම මට්ටමකටම අයත් ගැහැනු මිනිස්සු නාට්‍ය බැලීමට රැස් වූහ. ඔවුන්ගේ අභිලාෂයන්ට අනුව ඔවුන් සතුටු කිරීම, නාට්‍ය රචකයන්ගේත්, නළු නිළියන්ගේත් යුතුකම විය. එහෙයින් මෙම නාට්‍යවල පොදු වශයෙන් ජනතාවගේ සිත් ඇදගන්නා ලක්ෂණ කිහිපයකි.

1. පුළුල් අර්ථයකින් ජීවිතය දෙස බැලීම.
2. කතා වස්තුව සිත් ඇදගන්නා සුලු එකක් වීම.
3. ගද්‍ය හෝ පද්‍ය වශයෙන් යොදන හැම භාෂණයක්ම රිද්මයකට අනුව උච්චාරණය කිරීම


එහෙත් ඇතැම් නාට්‍යවල දරඳඬු බවක් හා ඉඳහිට නිරූපිත අග්ලිලභාවයක් ද දක්නට ලැබුණි. මේ හේතුවෙන් නාට්‍යගත විෂයාර්ථයෙහි සමතාව පළුදු වූ තැන්ද නැත්තේ නොවේ. 16 වන සියවසේ අගභාගයේ දී ලියවුණු "ඇස් යු ලයික් ඉට්" වැනි නාට්‍යවලින් පිළිබිඹු වන දරඳඬු ප්‍රහසන ස්වභාවය ද, ටැම්බර්ලේන් වැනි නාට්‍යවල දැක්වුණු සුලභ විනෝදජනක සිදුවීම් ද, 17 වැනි සියවස වන විට බොහෝ දුරට අඩු වී නාට්‍ය ක්ෂේත්‍රයේ ක්ෂණික විපර්යාසයක් ඇති විය. ඒ අතර රඟමඬල ශිල්පීය ක්‍රම හා නළු නිළියන් පිළිබඳව සිදු වූ වෙනස්කම් ද දක්නට ලැබේ.

නාට්‍ය පිළිබඳ පොදුජන රුචිය වැඩෙත්ම ස්ථිර නාට්‍ය ශාලාවල අවශ්‍යතාව දැනෙන්නට විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 1576 දී ජේමිස් බර්බේග් නමැත්තා විසින් පළමුවරට හුදෙක් නළු නිළියන්ගේ ප්‍රයෝජනය තකා ලන්ඩනයෙහි "නාට්‍ය ශාලාව" නම් ගොඩනැගිල්ලක් ඉඳි කෙරිණ. 1577 දී "ජනවිකාව" යන නමින් ද හැඳින්වුණු දැවැනි වෘත්තීය රංග මණ්ඩපය ඉදි කෙරුණි. මෙම නාට්‍ය රඟදැක්වීම සඳහා ගොඩනැගිලි තනා ගැනීමට පෙර ඒවා වේදිකාගත කරනු ලැබුවේ "ඉන්" නමින් හැඳින්වෙන තානායම් පොළවල මිදුලෙහිය.

ක්‍රි.ව. 1599 දී "ද ග්ලොබ්" නමින් අංග සම්පූර්ණ රඟමඬලක් ඉදි කෙරිණි. මෙය අතිශය ප්‍රසිද්ධියට පත් වූ අතර ෂෙක්ස්පියර්ගේ නාට්‍යාගාරය වූයේ ද මෙයමය. මෙහි රඟ දක්වනු සඳහා නාට්‍ය රචනා කළ ෂේක්ස්පියර් ග්ලෝබ් රඟහලේ කොටස්කරුවකු හා නළුවකු ද විය.


ෂේක්ස්පියර්ට ග්ලෝබ් රංගපීඨයේ අයිතිකරුවන් 16 දෙනාගෙන් එක් අයෙකු වීමට ඔහුට හැකිවිය. එය සංවිධානය කිරීම, එයට නාට්‍ය ලිවීම, එහි රඟපෑමට අතිරේක වශයෙන් ඔහු අනිත් අයගේ නාට්‍ය පිටපත් ද සකස් කළේය. නළුවන් පිළියෙළ කළේය. මෙහි කටයුතු කරන ගමන් තම ජීවිතයේ අවුරුදු 25 ක් ඇතුළත නාට්‍ය 37 ක් ලිව්වේය. අනෙක් සියලුම රංග පීඨවලට වඩා ග්ලොබ් රඟහල වැඩි කලක් පැවතීමට පෙර බෙහෙවින් ජනප්‍රිය විය. මෙහි ගෞරවය හිමි වූයේ ෂේක්ස්පියර්ටය.

එංගලන්තයේ නාට්‍ය කලාව තුළ සිදු වූ තවත් සුවිශේෂ දෙයක් ලෙස වෘත්තීය නළු කණ්ඩායම් බිහි වීම පෙන්වා දිය හැකිය. 15 වන ශතවර්ෂය වන විට එංගලන්තයේ සංචාරක නළුවන් සිටියේ වී නමුදු තත්කාලීන නීතියට සියලු වෘත්තීය නළුවන් ගණන් ගැනුණේ පාදඩයන් හා හොරුන් ලෙසටය. නළුවන් ලෙස සලකනු ලැබුයේ ප්‍රභූන්ගේ වාසභවයන්ට අයත් වූ නළු කණ්ඩායම් පමණය.


නළුවන් මේ ආකාරයට කොටස් දෙකකට බෙදා වෙන් කිරීම ගැටලුවක් නිසා 1572 දී සම්මත වූ පනතක් මගින් පළමු වරට නළුවෝ නීත්‍යානුකූල ලෙස පිළිගන්නා ලදහ. සියලුම නළුවන් ප්‍රභූවරයෙකු වෙතින් හෝ සමාදාන විනිශ්චයකරුවන් දෙදෙනෙකු වෙතින් හෝ බලපත්‍රයක් ලබා ගත යුතු බව පනතින් ප්‍රකාශ කෙරුණි. එවන් බලපත්‍රයක් නොලත් අන් කිසිම නළුවෙකුට රඟපෑමට අවසර නොදෙන ලදී.

1580 ගණන්වල ශාස්ත්‍ර ශාලාවලින් හා විශ්ව විද්‍යාලවලින් නාට්‍ය කලාව වඩාත් පෝෂණය ලැබුවේය. සම්භාව්‍ය භාෂා ශාස්ත්‍ර හැදෑරීමට ඇති වූ මෙම නළු උනන්දුවේ ප්‍රතිඵලයක් වශයෙන් ශාස්ත්‍ර ශාලාවල හා විශ්ව විද්‍යාලවල නාට්‍ය පෙළවල් හැදෑරීමටත්, නිෂ්පාදනය කිරීමත් පටන් ගැනුනි. මෙසේ විද්‍යාස්ථාන සම්බන්ධ නාට්‍ය වර්ධනය වීම පියවරවල් තුනකින් සිදුවිය. පළමුකොට ප්ලවුටස්ගේ, ටෙරන්ස්ගේ හා සෙනකාගේ නාට්‍ය පෙළවල් කියවීම, අධ්‍යයනය කිරීම හා ලතින් බසින්ම නිෂ්පාදනය කිරීම සිදුවිය. දෙවනුව ඉංග්‍රිසි ජාතිකයෝ රෝමානු නාට්‍යකරුවන් ඉඳුරාම අනුකරණය කරමින් ලතින් බසිනුත් ඉංග්‍රීසියෙනුත් නාට්‍ය රචනා කරන්නට විය. තුන්වෙනුව ඉංග්‍රිසි ජාතික නාට්‍යකරුවෝ මෙම සම්භාව්‍ය නාට්‍යයේ ආනුභාවය ඉංග්‍රීසි වස්තු විෂයන් හා පසුබිම් වූ නාට්‍යයන්ට ඇතුළත් කළාහුය.

එලිසබැතන් නාට්‍ය රචනයේ දියුණුව සඳහා බලපාන ලද්දේ ශාස්ත්‍ර ශාලා හා විශ්ව විද්‍යාල මගින් සිදු කෙරුණු සේවයයි. මෙම සේවය නම් නාට්‍යයේ ආකෘතියත්, වස්තු සන්දර්භයත් සම්බන්ධ ග්‍රීක අදහස් ශිෂ්‍යයන් වෙත පැමිණ වීමයි. තවද ඉංග්‍රීසි නාට්‍ය කලාව නැවුම් වූයේ ජෝන් ලයිලි, තෝමස් කයිඩ් හා ක්‍රිස්ටෝපර් මාලෝ වැනි ශාස්ත්‍රාලයීය පුහුණුවෙන් යුතු නාට්‍යකරුවන් වෘත්තීය රංගනය සඳහා නාට්‍ය රචනා කරන්නට පටන් ගැනීමෙන් අනතුරුවය.

(c) Shilpa Sayura Foundation 2006-2017