ලුෂියස් ඇනියස් සෙනකා (ක්‍රි.පූ. 4 - ක්‍රි.ව. 65)
 

දැනට රෝම ශෝකාන්ත නාට්‍ය පිටපත් වශයෙන් නවයක් ඉතිරි වී ඇත. ඒවා සෙනකා විසින් රචනා කරන ලදී. සෙනකා දාර්ශනිකයකු, ඇනුම්පද රචකයකු වූ අතර, නීරෝගේ ප්‍රධාන උපදේශකයන්ගෙන් කෙනෙකු විය. සෙනකාගේ නාට්‍ය නවයෙන් පහක්ම යුරිපීඩස්ගේ නාටක කෙළින්ම අනුකරණය කරමින් රචනා කොට ඇත. සෙනකා වෘත්තීය නාට්‍යකරුවෙකු නොවූ අතර ඔහුගේ නාට්‍ය රඟ නොදැක්වූවා වන්නට පුළුවන. එනමුත් ඔහුගේ නාට්‍ය පුනරුත්ථාපන යුගයේ ශෝකාන්ත නාට්‍ය කෙරෙහි බලපෑමක් කර ඇත. එහෙයින් ඒවායේ ලක්ෂණ තේරුම් ගැනීම වැදගත් වේ.


1. සෙනකාගේ සියලුම නාටක අංක පහකට බෙදා තිබේ. අංක බෙදන්නේ මැද්දට ගායක වෘන්දයේ ගීත යෙදීමෙනි.

2. මොහුගේ නාට්‍යවල විස්තර සහිත වූ සංවාද අඩංගු වී තිබේ.

3. සංක්ෂිප්ත සදාචාරාත්මක ප්‍රකාශයන් නාට්‍ය තුළට යොදා තිබේ. ඒවා මනුෂ්‍ය චර්යාව සම්බන්ධ ආප්තෝපදෙශයන්ට සමාන වේ.
4. මොහුගේ නාට්‍යවල බොහෝ කරුණු ක්‍රියා ප්‍රේක්ෂකයන් හමුවේ රඟ දක්වයි. සෙනකා නිෂ්පානය කළ ඊඩිපස් නාට්‍යයේ යොකස්ටා බිසව ප්‍රේක්ෂකයන් ඉදිරියේ දී බඩකපා දෙපළු කර ගනිමින් දිවි නසා ගනී.

5. හොල්මන්, භූතයෝ, අවතාර අතිශයින් නාට්‍යවලට යොදා තිබේ.

වර්තමාන සමහර විචාරකයෝ සෙනකාගේ නාට්‍ය දුර්වල ගොඩට ඇද දමති. එහෙත් දැනට ඉතිරි වී ඇති එකම රෝමානු ශෝකාන්ත නාට්‍ය බැවින් ඒවා නොසලකා හැරිය හැකි නොවේ. තවද පුනරුත්ථාපන යුගයේ ලේඛකයන් අතීතය දෙසට හැරුණු විට ඔවුන්ගේ සිත් ගත්තේ සෙනකාගේ නාට්‍ය මිස ග්‍රීක ශෝකාන්ත නොවේ.

 

රෝමයේ සුඛාන්තයන්ට අතිරේක තවත් චූල නාට්‍ය දක්නට ලැබේ. ඒ අතරින් ඇටෙල්ලානා ආඛ්‍යාන නාටකය වැදගත් වේ.

ඇටෙල්ලානා ආඛ්‍යාන නාටක


මෙම නාට්‍ය කෙටි ප්‍රහසන විශේෂයකි. නේපල්ස් අසල ඇටෙල්ලා නමැති ප්‍රදේශයෙන් මෙම නාට්‍ය වර්ගය බිහි වී තිබේ. මෙය රෝමයේ පැරණි රංග සම්ප්‍රදායන්ගෙන් එකකි. මෙම ඇටෙල්ලානා නාට්‍ය වර්ගය අපේ කෝලම්වලට සමානකමක් දක්වන බව සුචරිත ගම්ලත් මහතා පවසා තිබේ. එකම පාත්‍ර වර්ගයා සඳහා යොදා ගන්නා ලදී.

මැක්ස් - මොහු මෝඩයෙක් නොහොත් අඥාන කවටයෙකි.
බුකෝ - කෑදරයෙන් නොහොත් පුරසාරම් දොඩවන්නෙකි.
පැපස් - නිතට රැවටෙන මෝඩ මහල්ලෙකි.
ඩොසිනස් - කුදු ගැසුණු කෑදර කපටි වංචනිකයෙකි.


මෙම නාට්‍ය තුළ ක්ෂණික සංවාද යොදා ගනී. වස්තු විෂය වූයේ ගැමි පරිසරය පසුබිම් කොටගත් උගුල් ඇටවීම්, රැවටීම්, විහිළු හා කවටකම්ය. සංගීතය හා නර්තනය මෙහි බහුලව යොදා ගනී.

රෝම රංග භූමිය

රෝම රඟහල නිර්මාණය කිරීමේ දී ග්‍රීක රඟහලේ බොහෝ ලක්ෂණ එලෙසම ආභාෂයට ගෙන තිබේ. රෝම නාට්‍යය ද ආගමික උත්සව පදනම් කරගෙන වේදිකා ගත වූවද, ඒවා ග්‍රීක නාට්‍යවලට වඩා විශාල වූද, සංදර්ශනාත්මක ලක්ෂණවලින් බහුල වූද, නිර්මාණ විය. මෙම තත්ත්වයට ඔරොත්තු දෙන ලෙස රෝම රඟහල දැවැන්ත වාස්තු විද්‍යාත්මක ලක්ෂණවලින් නිර්මාණය වී තිබේ. රෝම රඟහලේ විශේෂ ලක්ෂණය ලෙස පෙනී යන්නේ රෝම රඟහලේ තිබූ තියෙට්‍රොන් හෙවත් ප්‍රේක්ෂක මණ්ඩපය කේවියා (Cavea) නමින් හඳුන්වන ලද අතර, එය අර්ධ කවාකාර මණ්ඩපයක් බවට පරිවර්තනය වීමය. ස්කීන් හෙවත් වේදිකා ගෘහය අතිශයින් විචිත්‍ර හා විසිතුරු තනි මණ්ඩපයක් ලෙස ගොඩනගන ලදුව එය ස්කැනියා ප්‍රොන්ස් (Scaenae frons) නමින් හඳුන්වන ලදී. බොහෝ විට එහි උස ප්‍රේක්ෂක මණ්ඩපයේ උසට සමාන වේ. මෙම මණ්ඩපය බෑවුමක් වෙනුවට තැනිතලා භූමියක ඉඳිකරන ලදී. මෙයට අමතරව ඇතැම් රඟහවල්වල වහලවල් ද තනා තිබුණි. එම වහල ස්කැනියා ප්‍රොන්ස් හෙවත් වේදිකා ගෘහයේ කෙළවරෙහි සිට විහිදී පැවතිණි. ප්‍රේක්ෂකාගාරයේ අසුන් 10,000 සිට 15,000 දක්වා විය. පිටුපසින් ස්ථිර පසුබිම් ගොඩනැගිල්ලකි. එහි පසු බිත්තියේ දොරවල් තුනක් දක්නට ලැබේ. රංගය කෙළවරෙහි එයට ඇතුළු වීම සඳහා අඩුගණනේ දොර බැගින් විය. මෙම පසුබිම් ගොඩනැගිල්ල මහල් තුනකින් යුතු වූ අතර කණු, බිත්ති, කුහර, ප්‍රතිමා, පෝටිකෝ යන මේවායින් අලංකාර වේ. ග්‍රීක වේදිකාවේ දක්නට නොලැබුණු තවත් ලක්ෂණ දෙකක් මෙහි දක්නට ලැබේ. එනම් ක්‍රි.පූ. 133 දී පමණ පටන් රෝමානු රංගයෙහි තිරයක් පරිහරණය කෙරිණ. රැඟුම ආරම්භයේ දී වේදිකාව ඉදිරිපස බිම වූ විවරයකට බාන ලදී. එය රැඟුම් අවසානයේ දී ඔසවන ලදී.


(c) Shilpa Sayura Foundation 2006-2017