ශෝකාන්ත නාට්‍යයේ ලක්ෂණ
 

ඇරිස්ටෝටල් සිය කාව්‍ය ශාස්ත්‍රයේ දී සුඛාන්තය හා වීර කාව්‍යය පිළිබඳව ද අදහස් දැක්වුව ද, දැඩි අවධානයක් යොමු කරමින්, පුළුල් අයුරින් විමසිල්ලට භාජනය කරනුයේ ශෝකාන්ත නාට්‍ය පිළිබඳවය. කාව්‍ය අතර උසස්තම කාව්‍ය ලෙස සලකනු ලබන්නේ ද ශෝකාන්තයයි. කොටින්ම කිවහොත් මුළු කාව්‍ය ශාස්ත්‍රය පුරාම දැකිය හැක්කේ ශෝකාන්ත නාට්‍යය පිළිබඳ කරනු ලබන විවරණයයි.


ඇරිස්ටෝටල් ශෝකාන්ත නාට්‍ය පිළිබඳ මෙසේ විහ්‍රහ කරනු ලබයි. "ශෝකාන්ත නාට්‍යය පිළිබඳ කරනු ලබන විවරණයයි.


ඇරිස්ටෝටල් ශෝකාන්තය නාට්‍ය පිළිබඳ මෙසේ විග්‍රහ කරනු ලබයි. "ශෝකාන්තය වූ කලී යම් පරිමාණයකින් යුක්ත වූද, යහපත් ක්‍රියාවක අනුකරණයක් වන අතර වෘත්තාන්ත ස්වරූපයෙන් නොව පාත්‍ර වර්ගයාගේත් ක්‍රියාකාරිත්වය පදනම් කරගනු ලබන්නා වූද, එක් එක් කොටසට උචිත පරිදි සකස් කෙරුණු රමණීය භාෂා ප්‍රයෝග භාවිතයෙන් සාරවත් වූද, කාරුණ්‍ය සහ භය මුල් කරගෙන අපේක්ෂිත භාව විශෝධනය සිද්ධ කරන්නා වූද නිර්මාණයක් වෙයි"


භාව විශෝධනය යන පද්‍ය කාව්‍ය ශාස්ත්‍රයෙහි සඳහන් වනුයේ එක් අවස්ථාවක පමණී. එනම්,


"ශෝකාන්තය වූ කලී....කාරුණ්‍ය හා භය මුල් කරගෙන අපේක්ෂිත භාව විශෝධනය සිද්ධ කරනු ලබන්නා වූද නිර්මාණයක් වෙයි"

යනුවෙන් සඳහන් වෙයි. මෙම වාක්‍ය තුළින් භාව විශෝධන යන්න එතරම් පැහැදිලිව තේරුමෛ ගත නොහැකිය. ඇරිස්ටෝටල්ගේ "දේශපාලන විද්‍යාව" නම් කෘතියෙහි සංගීතය මුල් කරගෙන භාව විශෝධනය පිළිබඳව විස්තර කර තිබේ. ඒ තුළින්ම මෙම සංකල්පය තේරුම් ගැනීමට පහසු වේ.

"ඇතැම් පුද්ගලයන් කෙරෙහි ප්‍රබල ලෙස බලපාන භාවයක් අඩුවැඩි ප්‍රමාණයෙන් සියලුදෙනා කෙරෙහිම දක්නට ලැබේ. උදාහරණයක් වශයෙන් කාරුණ්‍යය සහ භය ද එසේම ප්‍රහර්ෂය ද එවැනි භාවයෝ වෙති. අන්තිමට සඳහන් කළ ප්‍රහර්ෂය නම් භාවය කෙරෙහි ඇතැම් අය තුළ විශේෂ නැඹුරුවක් පවතී. පුද්ගලයා උන්මාද අවස්ථාවකට එළවන ආගමික සංගීතයන්ගේ සහ ගීතයන්ගේ බලපෑම නිසා, ඔහු බෙහෙත් දීමෙන් විමෝචනය කළ කලෙක මෙන් නිශ්චල වන්නේය. කාරුණ්‍යය හා භයට නැඹුරු වූ පුද්ගලයන් මෙන්ම සාමාන්‍යයෙන් භාවාත්මක පුද්ගලයෝ ද වෙනත් අයද එලෙසින්ම නිශ්චල වෙති. මේ හැම දෙනාටම කිසියම් විමෝචනයක් ද, සුඛ වේදනාවක් ද, සහනයක් ද ලැබේ. ඒ ආකාරයෙන්ම භාව විශෝධන ස්වභාව ඇති සංගීතය ද මිනිසාට අහිංසක තෘප්තියක් ගෙනදෙයි. ප්‍රේක්ෂකාගාරයේ සංගීතය භාවිතා කරන අය මෙවැනි තාල හා ගීත ප්‍රගුණ කළ යුත්තාහ"

ශෝකාන්තයක් සම්පූර්ණ වීම සඳහා අංග හයක් සම්පූර්ණ විය යුතුය.


1. කතා වින්‍යාසය
2. චරිත
3. වාග් විලාසය
4. චින්තනය
5. ප්‍රේක්ෂාව
6. සංගීතය

එම අංග හයයි. මෙහි පළමු අංගය, එනම් කතා වින්‍යාසය පිළිබඳ මීට ඉහත දී සාකච්ඡා කළ නිසා දෙවැනි කරුණ වශයෙන් සඳහන් කරනු ලබන චරිත නිරූපණය පිළිබඳව මඳක් විමසා බලමු. චරිත නිරූපණය, කතා වින්‍යාසයට වඩා දෙවැනි තැනලා සලකන්නේ මන්දැයි යන්නට හේතු ඉදිරිපත් කරමින් චරිත නිරූපණය පිළිබඳව ඇරිස්ටෝටල් මෙසේ සඳහන් කරනු ලබයි.


"මේ අනුව චරිත අනුකරණය කිරීමේ අරමුණ ඇතිව නාට්‍යයේ ක්‍රියා සාධනය සකස් කරනු නොලැබේ. එහෙත් චරිත සකස් වනුයේ ක්‍රියාවේ ප්‍රතිඵල වශයෙනි. ශෝකාන්තය, සිද්ධි සහ වින්‍යාසය පරමාර්ථ කරගෙන සම්පාදනය කෙරෙන බව මේ කරුණුවලින් ගම්‍යමාන වේ.

මෙම අරමුණ, අන්හැම කරුණකටම වඩා වැදගත්ය. ක්‍රියාවෙන් තොරව ශෝකාන්තයක් සම්පූර්ණ විය නොහැකිය. අනික් අතින් චරිත නිරූපණයෙන් ශෝකාන්තයක් සම්පූර්ණ විය නොහැකිය"

චරිත නිරූපණයේ දී කරුණු 4ක් කෙරෙහි අවධානය යොමුවිය යුතු බව කාව්‍ය ශාස්ත්‍රයේ සඳහන් වේ.


(1) යහපත් චරිත හෙවත් හොඳ චරිත නිරූපණය කිරීම


ඉහත සඳහන් කරන ලද පරිදි යම් චරිතයක කතා ව්‍යවහාරය හා ක්‍රියාව, යම් ආකාරයකින් කුසල අකුසල සම්බන්ධි නම් හෝ යහපත් දෙයකට යොමු වන්නේ නම් එය යහපත් චරිතයක් වෙයි. සෑම තරාතිරමේ පුද්ගලයන් තුළම යහපත් ගති තිබිය හැකිය. උදාහරණයක් වශයෙන් ස්ත්‍රියක හෝ දාසියක හෝ ගතහොත් ස්ත්‍රිය සාමාන්‍යයෙන් දුබල වන අතර දාසිය හීන තත්ත්වයක් දැරුවද මේ දෙදෙනාම යහපත් ගති ගුණාංගවලින් යුක්ත විය හැකිය.

(2) ඖවිත්‍යයෙන් හෙවත් ඒ ඒ චරිත වර්ගයට යෝග්‍ය ස්වභාවයෙන් යුක්ත වීම.

උදාහරණයක් ලෙස යම් පුද්ගලයෙකුට ශූරවීර ගති තිබිය හැකිය. එහෙත් ස්ත්‍රියකට මේ ගති ආරෝපණය කිරීම යෝග්‍ය නොවේ.


(3) චරිත ජීවමාන ආකාරයෙන් හෙවත් සැබෑ ජීවිතයට අනුකූල විය යුතුය.

මෙය යහපත් චරිතයක් වීම සහ චරිත වර්ගයට උචිත ස්වභාවයෙන් යුක්ත වීම යන ලක්ෂණ දෙකට වඩා වෙනස් කරුණකි. මේ පිළිබඳව ඊ.එම්. පෝස්ටර් දක්වා ඇති මතය මෙම අවස්ථාවට ගළපා ගත හැකිය.

 

"චරිතය සැබෑ පුද්ගලයෙක් ලෙස පෙනෙනුයේ ඔවුන් අපට සමානකම් දක්වන නිසා නොව ඇදහිය හැකි ආකාරයෙන් පෙනී සිටින නිසාය"

(4) සංගතභාවය


සංගතභාවය යනුවෙන් හැඳින්වෙන්නේ සමස්ත වශයෙන් තිබිය යුතු අංග සාම්‍යයයි. අනවශ්‍ය පරිදි අයහපත් ගති ඇති චරිත ලක්ෂණයක් ඉදිරිපත් නොකළ යුතුය.

ශෝකාන්තයේ තුන්වැනි අංගය චින්තනයයි. යමෙකු මුහුණ දෙන ඕනෑම අවස්ථාවක දී ඊට අදාළ වූද, යෝග්‍ය වූද දේ පැවසීමේ ශක්තිය නම් චින්තනයයි. චරිත නිරූපණයේ දී අතිශයින් උපකාරි වන අංගයක් ලෙස චින්තනයේ වැදගත්කම පැහැදිලි කරන ඇරිස්ටෝටල්, අනපේක්ෂිත හැඟීම් දැනීමේලා චින්තනය අනල්ප මෙහෙයක් ඉටු කරන බව පවසයි. යමක් සනාථ හෝ අනාථ කෙරෙන අවස්ථාවක දී හෝ යමක් පිළිබඳව සාමාන්‍ය අදහස් ප්‍රකාශ කෙරෙන අවස්ථාවක දී හෝ චින්තනය අවශ්‍ය බවද පවසයි.

භාෂණය මගින් ඉටු කළ මනා සියලු කාර්යයන් චින්තනය විසින් පාලනය කෙරේ. සමර්ථනය, නිෂ්ප්‍රභාකරණය, කාරුණ්‍යය, භය, කෝප ආදි භාව ජනනය මෙන්ම යම් යම් දේ අගයෙන් උසස් කොට හෝ හීනකොට පෙන්වීම ද යන කාර්යයන් මීට අයත් වෙති. නාට්‍යයේ දී සිද්ධි සංග්‍රහ කරමින්, ඊට දුක්මුසු හෝ වැදගත් හෝ සම්භාව්‍ය තත්ත්වයක් ආරෝපණය කිරීම අපේක්ෂිත කල්හි චින්තනය උපයෝගි කර ගැනීම අවශ්‍ය වේ.

ශෝකාන්තයේ සවැදෑරුම් අංග අතරින් සතර වැන්න වාග් විලාසයයි. වාග් විලාසය යන්නෙන් අදහස් වනුයේ අර්ථ ප්‍රකාශනය සඳහා වචන භාවිතා කිරීමයි. මෙහි කාර්යය, ගද්‍ය පද්‍ය දෙකෙහිදීම එක සමාන වන්නේය.


ඇරිස්ටෝටල් පවසන පරිදි ආශ්වාදයෙහිලා මුල්තැනක් ගනු ලබන්නේ පස්වන අංගය ලෙස සලකනු ලබන සංගීතයයි. එමෙන්ම එය ශෝකාන්තයට මෙන්ම වීර කාව්‍යයට ද එකසේ පොදු අංගයක් ලෙස හෙතෙම සඳහන් කරයි. සිය දේශපාලන විද්‍යාව යන කෘතියේ ද සඳහන් කර ඇති පරිදි භාව විශෝධන ස්වභාවයක් ඇති සංගීතය, මිනිසාට අහිංසක තෘප්තියක් ගෙන දෙන බව පවසයි. එමෙන්ම සංගීතය අනෙක් කලා මාධ්‍යවලට නොව නාට්‍යයටම සුවිශේෂ වූවක් ද වේ. "ප්‍රේක්ෂාවේ සැබැවින්ම කිසියම් භාව ප්‍රබෝධන ශක්තියක් පවතී. එහෙත් මෙය සෙසු අංග තරම් කලාව හා සම්බන්ධ නොවූ අතර, කාව්‍ය විෂයෙහි ඉටු කරනුයේ අල්ප මෙහෙයකි. රඟපෑම මෙන්ම නළුවන් ද නොමැතිවත් ශෝකාන්තයේ අපේක්ෂිත කාර්යය සාක්ෂාත් කරගත හැකිය. සැබැවින්ම ප්‍රේක්ෂාව වූ කලී, කවියාගේ කාර්යයට වඩා වේදිකා පාලකගේ, නාට්‍ය නිෂ්පාදකගේ කාර්යය වන්නේය."

ග්‍රීක ඛේදාන්ත නාට්‍ය, වස්තු විෂය අතින් පුළුල් පරාසයක විහිදී ඇතිසේම, ග්‍රීක ඛේදාන්ත නාට්‍යයේ ආකෘතියේ ද පැහැදිලි අංග ලක්ෂණ දක්නට ලැබේ.


1. පූර්ව රංගය (Prologue)- මෙය ආරම්භක දර්ශනය යනුවෙන් අදහස් කෙරේ. මෙහිදී කතා සාරාංශය ප්‍රේක්ෂකයාට පැහැදිලි කෙරේ. මෙය කෙරෙනුයේ බොහෝ විට එක් නළුවෙකු මගින්ය. නැතහොත් නළුවන් දෙදෙනෙකු අතර කෙරෙන සංවාදයක් මගින්ය.


2. පැරඩෝස් (Parados) - මේ අවස්ථාව අත්වැල් ගායක කණ්ඩායම වේදිකාවට අවතීර්ණ වීම, ඔවුන් බොහෝ විට අවතීර්ණ වන්නේ කතාවේ තේමාවට අනුකූල ගීතයක් ගායනා කරමිනි.


3. එපිසෝඩි (Episode) - නම් අවස්ථාව නළුවන්ගේ අන්තර් ක්‍රියාකාරිත්වය තුළින් නාට්‍යයේ කතා ප්‍රවෘත්තිය ඉදිරියට ගෙනයාම මේ අවස්ථාවෙන් අදහස් කෙරේ. මෙවැනි අවස්ථා කිහිපයක් නාට්‍යයක තිබිය හැක. නූතන නාට්‍යවල එන (act) නැතහොත් දර්ශන (scenes) නමින් හැඳින්වෙන අවස්ථාවලට සමානය.


4. ස්ටැසිමෝන් (Stasimom) - නම් අවස්ථාව අත්වැල් ගායක කණ්ඩායම විසින් නාට්‍යයේ සෑම අංකයක්ම අවසානයේ ගායනා කරන ගීතය මෙයින් අදහස් කෙරේ. මෙම ගීතයෙන් එක් අංකයක් අනෙක් අංකය සමඟ සම්බන්ධ කරනු ලබයි.


5. පිටවීම (Exodos)- අවසාන ස්ටැසිමෝන් අවස්ථාවෙන් පසු විචිත්‍රාකාරයෙන් අත්වැල් කණ්ඩායම් ඇතුළු සියලු නළුවන් වේදිකාවෙන් ඉවත් වීම මින් අදහස් කෙරේ.
 

(c) Shilpa Sayura Foundation 2006-2017