සරල හා සංකීර්ණ කතා වින්‍යාසය
 

අනුකරණය කරනු ලබන ක්‍රියාවේ ස්වභාවය අනුව කතා වින්‍යාසය කොටස් දෙකකි.


1. සරල කතා වින්‍යාසය.
2. සංකීර්ණ කතා වින්‍යාසය


ඉහත වෙන් කිරීම අනුව කේවල, අඛණ්ඩ ක්‍රියාවකින් යුක්ත වනුයේ සරල කතා වින්‍යාසයයි. මෙහිදී ප්‍රත්‍යාභිඥානයක් (සිද්ධි අනාවරණය වීමක්, නොදැන සිටි යමක් දැන ගැනීම)හෝ  ප්‍රත්‍යාවර්තනයක් (ක්‍රමයෙන් අනාවරණය වෙමින් ආ සිද්ධි මාලාවක් ආපසු පෙරළීම, අනපේක්ෂිත ගැටලුවක් මතුවීම) හෝ නොමැතිව ඉරනම් පෙරළිය සිද්ධ වනු ඇත.


සංකීර්ණ කතා වින්‍යාසයේ දී ප්‍රත්‍යාභිඥානය හෝ ප්‍රත්‍යාවර්තනය හෝ ඒ දෙකම හෝ නිසා ඉරණම් පෙරළිය සිද්ධ වෙයි. මෙම එක් එක් අවස්ථා, කතා වින්‍යාසය තුළින් මතුවිය යුතුවාක් මෙන්ම පූර්ව සිද්ධියකට අනිවාර්ය හෝ ගම්‍යමාන හෝ ප්‍රතිඵලයක් ලෙසින් ඊට සම්බන්ධ විය යුතුය. (මෙය හේතුඵල සම්බන්ධතාවය ලෙස ද හැඳින්විය හැකිය) පූර්ව සිද්ධියක ප්‍රතිඵලයක් වශයෙන් සිදුවනදේත් පූර්ව සිද්ධියකට පසුව අහේතුකව සිදුවන දේත් අතර ලොකු වෙනසක් ඇත්තේය.



ප්‍රත්‍යාවර්තනය (Reversal) සහ ප්‍රත්‍යාභිඥානය (Recognition)

ප්‍රත්‍යාවර්තනය යනු ක්‍රමයෙන් අනාවරණය වෙමින් ආ සිද්ධි මාලාවක් ආපසු පෙරළීම බව, ඉහතින් සඳහන් කෙරිණි. මෙයද සිදුවිය යුත්තේ පූර්ව සිද්ධියකට අනිවාර්ය හෝ ගම්‍යමාන හේතුකාරක වශයෙනි. "ඊඩිපස්" නාට්‍යය මීට උදාහරණයක් වශයෙන් ගත හැකිය.


ඊඩිපස්, යායුන් රජු මැරූ මිනීමරුවා පිළිබඳව සත්‍ය සොයමින් සිටි අවස්ථාවේ දී කොරින්තියේ සිට දූතයන් පැමිණේ. එම දූතයා පැමිණෙන්නේ, ඊඩිපස් තුළ මෙතෙක් තිබූ බය ඉවත් කොට මියගිය රජුගේ රාජ්‍යය භාරගන්නා ලෙස ආරාධනා කිරීමටය. එහෙත් ඒ තුළින් මතුවන්නේ නොසිතූ දෙයකි. තමන්ගේ සැබෑ මව හා පියා ඔවුන් නොවන බවත්, දූතයා විසින් කුඩා කල දී කොරින්තියේ රජුට දරුකමට හදාගන්නට දුන් බවත් කියැවේ. මෙහිදී කතාව නොසිතූ ලෙස වෙනත් අතකට දෝලනය වේ. මෙම ස්වභාවය ප්‍රත්‍යාවර්තනය නමින් හැඳින්වේ.

වචනාර්ථය අනුවම ප්‍රත්‍යාභිඥානය යන්නෙන් අදහස් වනුයේ අඥාතභාවයේ සිට ඥාතභාවයට පැමිණීමය. එසේම මෙහිදී භාග්‍යයට හෝ අභාග්‍යයට හෝ පාත්‍රවීමට නියමිත පුද්ගලයන් අතර සුහදතාව හෝ විරෝධය හෝ පහළ වෙයි. ඊඩිපස් නාට්‍යයේ දී මෙන් ප්‍රත්‍යාභිඥානය හා අත්වැල් බැඳගෙනම ප්‍රත්‍යාවර්තනය ද සිද්ධ වන්නේ නම් එය වඩාත් සාර්ථක වෙයි. කතා වින්‍යාසයට හා ක්‍රියාවට අවශ්‍යයෙන්ම සම්බන්ධ වන ප්‍රත්‍යභිඥානය පුද්ගලයින් ආශ්‍රිතවම සිද්ධ වෙයි. මෙවැනි ප්‍රත්‍යාභිඥානයක් හා ප්‍රත්‍යාවර්තනයක් හේතු කොටගෙන කාරුණ්‍යය හෝ භය හෝ පිළිබඳ හැඟීම් ජනිත කෙරේ. මේ අනුව ශෝකාන්තය නම් මෙවැනි ක්‍රියාවන්ගේ අනුකරණයයි. එසේම මෙම ක්‍රියා හේතුකොට ගෙන භාග්‍ය හෝ අභාග්‍ය සිද්ධ වන්නේය.

ත්‍රිවිධ ඒකත්වය


නාට්‍යයක කතා වින්‍යාසයේ දී ත්‍රිවිධාකාර ඒකත්වයක් අපේක්ෂා කෙරේ. ඇරිස්ටෝටල් පවසන අයුරු එය මෙසේය.

 

1. කාර්ය ඒකත්වය (Unity of Action)
2. ස්ථාන ඒකත්වය (Unity of Place)
3. කාල ඒකත්වය (Unity of Time)

නාට්‍යයක් තුළ අනිවාර්ය ලක්ෂණයක් වශයෙන් කාර්ය ඒකත්වය, කාල ඒකත්වය, ස්ථාන ඒකත්වය යන තුන් වැදෑරුම් ඒකත්වයක් තිබීම අද සම්මතයක් බවට පත් වී ඇති කරුණකි.

මෙම ත්‍රිවිධ ඒකත්වය පැහැදිලිව අවබෝධ කර ගැනීම සඳහා ඊඩිපස් නාට්‍යයෙන් උදාහරණ ගත හැකිය. ඊඩිපස් නාට්‍යයේ කතා වස්තුව ගත්විට එහි සිද්ධීන් විවිධ ස්ථානවල සිදුවී තිබේ. එනම් තීබය, කොරින්තිය, ඩෙල්පි දේවාලය, සිතිරීයන් කඳු මුදුන වැනි ස්ථාන කතා වස්තුවට ඇතුළත් වේ. එහෙත් ඊඩිපස් නාට්‍යයේ මෙම සියලු සිද්ධීන් තිබයේ ඊඩිපස්ගේ මාලිගාවට සීමාකර තිබේ. මෙසේ විවිධ ස්ථානවල සිදු වූ කතා වස්තුවක්, එක් ස්ථානයකට නාට්‍යමය ලෙස ගළපා ගැනීම ස්ථාන ඒකත්වයයි.

ඊඩිපස්ගේ උපතේ සිට ඊඩිපස් ඇස් අන්ධ කරගෙන රටෙන් පිටවන අවස්ථාව දක්වා සිද්ධිදාමය සිදුවීමට ආසන්න වශයෙන් සිතුවහොත් අවුරුදු 40-50 ක් අතර කාලයක් ගත වීමට පුළුවන. එවැනි කාලයක් තුළ සිදු වූ සිද්ධි මාලාව පශ්චාත් දෘෂ්ටිකථන ක්‍රමය යොදා ගනිමින් පැය 24 ක් තුළ සිදුවිය හැකි අන්දමේ සිද්ධි මාලාවක් ඊඩිපස් රජු රටෙන් නාට්‍ය තුළ දක්නට ලැබේ. එනම් තිබයේ රටවැසියන් රජ මාලිගාව වැටලීමේ සිට ඊඩිපස් රජු ඇස් අන්ධ කරගෙන රටින් පිටුවහල් වීම දක්වාය. මෙය කාල ඒකත්වය ලෙස හැඳින්විය හැකිය.


තිබයේ රටවැසියන් රජ මාලිගය වැටලීමේ සිට ඊඩිපස් රජු රටෙන් පිටුවහල් කිරීම දක්වා ක්‍රියාදාමයන් රාශියක් සිදුවේ. එම සෑම ක්‍රියාවක්ම එකින් එක ගැළපී, සම්බන්ධ වී තිබීම ක්‍රියා ඒකීයත්වයයි.


ස්ථාන, කාලය සහ ක්‍රියා යන ත්‍රිවිධ ලක්ෂණයන්ගේම ඒකියත්වයක් ඊඩිපස් නාට්‍ය තුළ දක්නට ලැබේ.

ආකූලීකරණය හා අනාවරණය


කතා පුවතක් නාට්‍යයකින් ඉදිරිපත් කරන විට ප්‍රේක්ෂක රස ජනනයට හේතුවන සේ ගැටලු තුළ සංකීර්ණ ස්වභාවයක් ඇති වන සේ ඉදිරිපත් කිරීම ආකුලීකරණයයි. සෑම ශෝකජනක නාට්‍යයක්ම කොටස් දෙකකින් යුක්ත බව ඇරිස්ටෝටල් මතයයි. ඒ ආකූලීකරණය හා අනාවරණය වශයෙනි.


ආකූලීකරණය හෙතෙම මෙසේ හඳුන්වා දෙයි. "ආකූලිකරණ ඇති වනුයේ ප්‍රධාන ක්‍රියාදාමයට පෙරාතුව සිදුවන දේ සහ එම සිදුවීමට අයත් වන්නා වූ බොහෝ දේ ඒකාබද්ධ වීමෙනි. ආකූලීකරණය යන්නෙන් අදහස් කරනුයේ පරිවර්තනය වීම ආරම්භ වන අවස්ථාව තෙක් සිදුවන සියලු සිදුවීම්ය"


නාට්‍යයේ කතා පුවතේ සංකීර්ණත්වය ක්‍රමයෙන් සරල වී ගැටලු හෙළිදරව් වීම, අනාවරණය වශයෙන් හඳුන්වා දිය හැකිය. එමෙන්ම අනාවරණය ද සරල කතා වින්‍යාසයකට මෙන්ම සංකීර්ණ කතා වින්‍යාසයකට ද පොදුවේ. ඊඩිපස් නාට්‍යයේ ආරම්භයේ සිට කොරින්තියේ දූතයා පැමිණීම දක්වා සිද්ධිමාලාව, ආකූලිකරණයට අයත් වේ. දූතයා පැමිණීමෙන් පසු නාට්‍යයේ ප්‍රධාන ගැටලුව ක්‍රමයෙන් හෙළි වන්නට පටන් ගති. දූතයාගේ පැමිණීමේ සිට නාට්‍යයේ අවසානය දක්වා කොටස, අනාවරණය කොටසට අයත් වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017