ග්‍රීක ශෝකාන්ත නාට්‍යවල සංවාදයේ යෙදෙන නළුවන්ගේ සංඛ්‍යාව තුන් දෙනෙකුට සීමා වේ. අතිරේක නළුවන් ද සිටින්නට ඇත. එහෙත් ප්‍රධාන වශයෙන් ක්‍රියාකාරි නළුවන් දක්නට ලැබුණේ තුන් දෙනෙකි. මෙම නළුවන් සපයන ලද්දේ ආණ්ඩුව විසින්ය. ශෝකාන්ත නාට්‍ය තරගයේ තරග වදින නාට්‍යකරුවන්ට නළුවන් තිදෙනෙකු බැගින් සපයා දෙන අතර, සෑම නාට්‍ය රචකයෙකුටම කුසපත් ඇදීමෙන් එක් ප්‍රධාන නළුවෙක් සපයා දෙන ලදී. නළුවෝ සියලු දෙනා පිරිමින්ය. එකම නාට්‍යය තුළ එක නළුවෙකුට චරිත කිහිපයක් නිරීපණය කරන්න සිදුවිය. ඔවුන් චරිතය මාරු කිරීම සඳහා භාවිතා කරන ලද්දේ වෙස් මුහුණුය.
ග්‍රීක නාට්‍ය රංග ශෛලිය
ග්‍රීක නාට්‍යයේ රංග ශෛලිය නිශ්චය කිරීම ඉතා දුෂ්කර කාර්යයකි. ඒ සඳහා ඉතිරි වී ඇත්තේ ග්‍රීක නාට්‍ය පිටපත් කිහිපයක් හා ග්‍රීක රඟමඬලයි. මෙහිදි පිටපත් අධ්‍යයනය තුළින් අපට අවබෝධ වන්නේ ලෝක ධර්මි රංග ශෛලියට පටහැනි වූ නාට්‍ය ධර්මි රංග ශෛලියට සමීප ක්‍රමයක් ග්‍රීක නාට්‍ය තුළ තිබූ බවයි. නාට්‍ය ධර්මි ශෛලියක් භාවිතා කළ බව සනාථ කිරීම සඳහා පහත සඳහන් දත්ත ඉදිරිපත් කළ හැකිය.
1. පිරිමි පමණක් ග්‍රීක නාට්‍යවල රඟපෑම
2. කාන්තා චරිත පිරිමි නළුවන් විසින් ඉදිරිපත් කිරීම
3. එකම නළුවා චරිත කිහිපයක් නිරූපණය කිරීම
4. බහුලව සංගීතය හා නර්තන රටා යොදා ගෙන තිබීම.
5. අත්වැල් ගායන කණ්ඩායමක් යොදා ගැනීම
6. ස්වභාවික බස් වහරින් වෙනස් කාව්‍යමය බස් වහරක් යොදා ගැනීම
7. අතිශයෝක්තියෙන් යුක්ත වෙස් මුහුණු භාවිතය
8. ග්‍රීක රංග භූමිය, විවෘත රංග භූමියක් නිසා ඒ තුළ "තත්ත්වානුරූපි මායාව" ඇති කිරීමට අපහසු වීම.
ග්‍රීක වෙස් මුහුණු
පස්වැනි ශතවර්ෂය වන විට ග්‍රීක නළුවන්ගේ වෙස් නිර්මාණය සඳහා සැහැල්ලු මට්ටම්වල චරිත ද, ගැහැණු චරිත ද නිරූපණය කළ නිසා වෙස් මුහුණු භාවිතය අත්‍යාවශ්‍ය විය. වෙස් මුහුණ නළුවාගේ උච්චාරණය විසුරුවා හරින මෙගාෆෝනයක් ලෙස භාවිතා කළ බව ද විශ්වාස කළ හැකිය. වෙස් මුහුණේ මුඛ්‍ය කොටස, මෙගාෆෝනයක් ලෙස වඩා විවෘතව නිර්මාණය කොට තිබේ. හිස්වැසුම් එකල භාවිතා කළ ඒවාට සමාන විය. නමුත් එකල ග්‍රීක ජාතිකයින් දෛනික ජීවිතයේ දී පරිහරණය කළ ඇඳුම් වර්ග, නාට්‍ය සඳහා භාවිතා නොකළහ. නළුවන් විවිධ වර්ගයේ ඇඳුම් අඳින ලදී. දෙවියන්, භූතයින්ගේ භූමිකා සඳහා අත්දිග, ඇස්වටය දක්වා වැටුණු ගෙත්තමින් සැරසූ කබායක් පරිහරණය කරන ලදැයි සිතිය හැකිය. ග්‍රීක චරිතයක් වෙස් ගැන්වීම සඳහා ඇස්වටය දක්වා වැටුණු අත්දිග, වැඩ නොදැමූ කබායක් ද දෙදණ තෙක් වැටුණු, අත්නැති වැඩ නොදැමූ කබායක් ද පරිහරණය විය. මෙම ඇඳුම් දෙකම ග්‍රීකයන්ගේ දෛනික ඇඳුම්වලට සමානකම් දැක්විය. නාට්‍ය පිටපතේ දැක්වෙන චරිතයට අදාළ ලෙස ඇඳුම් තෝරාගෙන තිබේ. ග්‍රීක ට්‍රැජඩ් නාට්‍ය නළුවෝ අඩි උස දිග සපත්තු පැළැන්දාහ. එහෙත් මේවා එකල ග්‍රීකයින් පාවිච්චි නොකළ තද නැති, නැමෙන සුලු පාවැසුම්ය. මෙම වෙස් නිර්මාණ සියල්ලක්ම ක්‍ෂණිකව වෙනස් කරගත හැකි ආකාරයට නිර්මාණය වූවා විය හැකිය. එය එසේ වන්නේ නාට්‍ය රඟපාන ලද්දේ නළුවන් තුන්දෙනෙක් වැනි සුළු පිරිසක් නිසාත්, ඔවුන්ට විවිධ චරිතවලට ඉක්මනින් මාරු වීමට වුවමනා නිසාත් යැයි සිතිය හැක.
ග්‍රීක නාට්‍යයේ ගායක වෘන්දය
දියෝනීසියස් දේව පූජාව සඳහා යොදාගත් ගායන වෘන්දයේ පනස් දෙනෙක් පමණ සිටියහ. පස්වැනි ශතවර්ශයේ මුල භාගය වන විට මෙම සංඛ්‍යාව දොළහක්, පහළොවක් දක්වා අඩුවිය. සත්දෙනා බැගින් කණ්ඩායම් දෙකකට බෙදී උත්තර, ප්‍රතිඋත්තර වශයෙන් ගායන වෘන්දය යොදාගෙන තිබේ.
ග්‍රීක නාට්‍ය කලාවේ ට්‍රැජඩ්, කොමඩි, සහ සැටර් යන තුන් වර්ගයටම ගායක වෘන්ද අත්‍යවශ්‍ය වී තිබේ. එක් එක් නාට්‍යකරුවෝ ඔවුන්ගේ නිර්මාණශීලි චින්තනය අනුව ගායක වෘන්දයෙන් ප්‍රයෝජන අඩු, වැඩි වශයෙන් ගෙන තිබේ. මේ නිසා ගායක වෘන්දය කාර්යයන් ගණනාවක් ඉටු කරයි.
1. ගායක වෘන්දය, සමස්ත නාට්‍යයේ නළුවන් ලෙස කටයුතු කරයි.2. නාට්‍යයේ කතා නායකයාට වරින්වර උපදෙස් දෙයි. කතා නායකයාගේ ගැඹුරු මානසික ස්වභාවයන් ගායක වෘන්දය විසින් පැහැදිලි කර දෙයි. කතා නායකයාගේ ගැටලුවලට මැදිහත් වී කටයුතු කරයි.
3. නාට්‍ය රචකයාගේ අදහස් ප්‍රකාශ කිරීම ඉදිරිපත් කරයි. පාත්‍ර වර්ගයාගේ හැසිරීම් හා ක්‍රියාකලාපයන්හි උචිත අනපචිත බව විනිශ්චය කරයි.
4. ගායක වෘන්දය බොහෝ විට පරමාදර්ශි ප්‍රේක්ෂකයා ද වෙයි. පරමාදර්ශි ප්‍රේක්ෂකයා යනුවෙන් හඳුන්වන්නේ නිර්මාණකරුවාගේ ඉඟි හඳුනාගෙන, ඒවාට අනුකූල වන අතර, ස්වාධීන විනිශ්චයෙහි යෙදෙමින් නාට්‍ය නරඹන්නාය. ගායක වෘන්දය ඉතා හොඳින් මේ කාර්යය ඉටු කරයි.
6. ගායක වෘන්දය නිසා නාට්‍යයට ශ්‍රව්‍ය - දෘශ්‍ය වශයෙන් අලංකාරයක් ගෙන දේ. ඉදිරිපත් කරන ගායනාවල මිහිරත්, නර්තන හා අංග චලනවල තිබෙන අලංකාරයත් මෙයට බලපානු ලබයි. මේ මගින් නාට්‍යයේ "ප්‍රේක්ෂාව" ප්‍රබල කරයි.
8. කාලය හා අවකාශය නාට්‍ය මාධ්‍යයට උචිත ලෙස භාවිතා කිරීමට උපකාරි වේ. දීර්ඝ කාලයක් තිස්සේ සිදු වූ සිද්ධි මාලාව කෙටිකර පෙන්වීමට ගායක වෘන්දයේ දායකත්වය ලබා ගත හැකිය.