ඇරිස්ටොෆනිස් - ක්‍රි.පූ. 444-386
 

ග්‍රීක නාට්‍ය කලාවේ කොමඩි (සුඛාන්ත) පක්ෂය පිළිබඳ ප්‍රමුඛයා වන්නේ ඇරිස්ටොෆනිස්ය. ග්‍රීක නාට්‍ය කලාවේ ප්‍රභවය අධ්‍යයනය කිරීමේ දී ඒ තුළ දක්නට ලැබෙන්නේ සුඛාන්ත ලක්ෂණය. ලිංග සංකේත පෙරහැරක ගෙනයෑම, ග්‍රාම්‍ය සරුප බස් කියමින් අනුරූපණ රංගනයක් ඉදිරිපත් කිරීම ආදිය මුල්කාලීන ලක්ෂණයන්ය. එම උත්සව අවස්ථාවල දී ගායනා කරන ලද ගීත සහ නැටුම් සඳහා "කෝමස්" යන නම භාවිතා වූ බැවින් එයින් විකාශනය වූ නාට්‍ය විශේෂය "කොමඩි" නම යොදන්නට ඇතැයි කියනු ලැබේ. කෝමස් උත්සවයේ එක් ලක්ෂණයක් වූයේ කණ්ඩායමක් විසින් බටනළා වාදනයකින් නැෙගන සංගීතයක් අනුව ගයමින් නටමින් ගෙයින් ගෙට යෑමයි.


ක්‍රි.පූ. 486 දී පමණ "සිටි දියොනිසියා" නමැති උත්සවය සඳහා කොමඩි නාට්‍ය ප්‍රදර්ශනය කරන්නට විය. මේ වන කොමඩි නාට්‍යයන්හි පැහැදිලි ලක්ෂණ මතු වී තිබුණි. ගායන වෘන්දවල සංවාදරූපි ගායනාවලට අමතරව අතරින් පතර රැඟුම්ද දක්නට ලැබුණි. ශොකජනක නාට්‍යවලට බොහෝ විට වෙනස් වූ වෙස් මුහුණු නළුවෝ සිටියහ. එම වෙස් මුහුණුවලින් බොහෝ විට නිරූපණය වූයේ ගොවියන් ගෙවිලියන් වැනි ගම්බද චරිතයන්ය. ශෝකජනක නාට්‍ය මෙන් ගැඹුරු බවක් නැති වුවද හාස්‍යජනක නාට්‍ය වඩාත් නිර්මාණාත්මක නාට්‍ය රචකයාගේ සිරිත නොවීය. ඔහුට අවශ්‍ය පරිදි අලුත් චරිත ඇතුළත් කොට අලුත්ම කතාවක් නිපදවා ගැනීමටත් ඕනෑම තේමාවක් ගොඩනගා ගැනීමටත් ඉඩකඩ ඔහුට තිබුණි. හාස්‍යජනක නාට්‍යකරුවා පුරාණෝක්ති ඔහුගේ නිර්මාණ සඳහා පදනමක් නොවූ නිසා වඩා ස්වාධීනව නිර්මාණය කිරීමට අවස්ථාව ලැබුණි.

ඇරිස්ටොෆනීස් ලියූ නාට්‍ය හතලිහකින් අද ඉතිරි වී ඇත්තේ නාට්‍ය 11 ක් පමණී. ව්‍යූහය හා ස්වරූපය අතින් පැරණි ග්‍රීක හාස්‍යජනක නාට්‍ය පසුකාලීනව බිහි වූ නව හාස්‍යජනක නාට්‍යවලට වඩා බෙහෙවින් වෙනස් වූ අන්‍ය ලක්ෂණවලින් යුක්ත කලාවක් විය. නාට්‍ය රචකයාගේ අභිමතය පරිදි ගායන වෘන්දයට ඇඳුම් නිර්මාණය කළේ කුරුල්ලන්, මැඬියන්, මහල්ලන්, දෙබරුන් ආදීන්ගේ වෙස් ගන්වමිනි. මෙම ගායන වෘන්ද සෑම විටම යම් පිරිසක් හෝ කණ්ඩායමක් නියෝජනය කළහ. ඇරිස්ටොෆනිස්ගේ නාට්‍ය බොහෝ විට නම් කරන ලද්දේ ගායන වෘන්දය මගින් නිරූපණය වන චරිතවල නම්වලිනි. උදාහරණ වශයෙන් "කුරුල්ලෝ" නාට්‍යයේ ගායන වෘන්දය කුරුල්ලන්ය. "මැඬියෝ" නාට්‍යයේ ගායන වෘන්දය මැඬියන්ය. වලාකුළ අජීවි වස්තුවක් වුවද "වලාකුළු" නාට්‍යයේ ගායන වෘන්දය ජීවි චරිත ලෙස පෙනී සිටිති.

හාස්‍යජනක නාට්‍යකරුවා ගායන වෘන්දය මගින් සදාචාරය, ආගම, දේශපාලනය හා කවිය පිළිබඳ අදහස් ඉදිරිපත් කරයි. නාට්‍ය රචකයාගේ අදහස් බොහෝ විට වැඩිපුරම කියවුණේ ගායන වෘන්දය මගිනි. සුප්‍රකට පුද්ගලයන් උපහාසයට ලක් කිරීම ග්‍රීක පැරණි හාස්‍යජනක නාට්‍යවල දක්නට ලැබුණු විශේෂ ලක්ෂණයකි.


මෙම ලක්ෂණවලින් අනූන වූ ඇරිස්ටොෆනීස්ගේ නාට්‍ය කලාව තුළ ප්‍රහසන නාට්‍ය කලාවේ දියුණු ලක්ෂණ දක්නට ලැබුණි. මොහුගේ නාට්‍ය තුළින් විස්මයජනක අභව්‍ය ක්‍රියාදාමයන් මවයි. එහි මැද හරියෙන් ගායන වෘන්දය හෝ නාට්‍යයේ ප්‍රතිවාදීන් දෙපිලකට බෙදී යම්කිසි විවාදයක යෙදේ. ග්‍රීකවරු "ඇගොන්" නමින් හැඳින්වූ මෙය, අප රටේ ඇති අං ඇදීම වැනි ආදි කල්පිත දේශීය අභිචාරවිධි අපට සිහිපත් වෙයි. "ඇගොන්" විවාදය අවසන් වූ විට පරාජිතයන් පලායන අතර ජයගත්තෝ බොහෝ විට කාන්තාවන් සමග අත්වැල් බැඳගෙන ප්‍රීතිඝෝෂා කරමින් ජයග්‍රහණය භුක්ති විඳීමට නික්ම යති. හාස්‍යජනක නාට්‍යයක් සාමාන්‍යයෙන් අවසන් වන්නේ ජයග්‍රාහි ප්‍රීතිමත් අවස්ථාවකිනි.

ඇරිස්ටොෆනිස්ගේ නාට්‍යකෘති, ලෝකයේ ප්‍රථම අග්‍රගන්‍ය හා හාස්‍යජනක කෘති ලෙස හැඳින්විය හැකිය.


1. ඇකානියන්වරු (ක්‍රි.පූ. 425)
2. නයිට්වරු (ක්‍රි.පූ. 424)
3. වලාකුළු (ක්‍රි.පූ. 423)
4. මැඬියෝ (ක්‍රි.පූ. 405)
5. පාර්ලිමේන්තුවේ කාන්තාවන් (ක්‍රි.පූ. 392 - 388)
6. ප්ලූටස් හෙවත් ධනය (ක්‍රි.පූ. 392 - 388)

ඇරිස්ටොෆනිස්ගේ වලාකුළු


ක්‍රි.පූ. 423 දී ඇරිස්ටොෆනිස් ලියූ "ක්ලවුඩ්ස්" හෙවත් 'වලාකුළු' නාට්‍යයේ සොක්‍රටීස් සහ ඔහුගේ ගුරුකුලය එනම් විතණ්ඩවාදි ගුරුකුලය දැඩිලෙස විවේචනය ලක් කළේය. සොක්‍රටීස් චින්තන කම්හලක් විවෘත කර තරුණ පරපුර නොමග යවන්නෙකු හැටියට ඇරිස්ටොෆනිස්, සොක්‍රටීස්ගේ චරිතය ඉදිරිපත් කරයි.

 
වලාකුළු නාට්‍යයේ කතා වින්‍යාසය යල්පැන ගිය අදහස් තිබූ මහලු පියෙකුගේ හා නූතන පරපුරේ පුතෙකුගේ සම්බන්ධය මත ගොගනැගේ. එම නාට්‍යයේ ඉදිරිපත් කරන්නේ පරස්පර විරෝධි අධ්‍යාපන මත දෙකක ගැටුමයි. එකක් නම් සෙෆිස්ටිවරුන් විසින් තර්ක විතර්ක මුල් කරගෙන ගොඩ නංවන ලද සම්මත විරෝධි අධ්‍යාපනික න්‍යායයි. අනික් මතය ඇරිස්ටොෆනිස්ගේ ද මතය වූ පැරණි අධ්‍යාපනික න්‍යායයි. එම ක්‍රමය අනුව සාම්ප්‍රදායික සිරිත් විරිත්වලට ගරු කිරීම, අධ්‍යාපනයේ පරමාර්ථය විය යුතු බවත්, ඒ අනුව තරුණයින්ට ඉගැන්විය යුතු බවත් පිළිගැනේ.

"වලාකුළු" නාට්‍ය ඇරඹෙන්නේ අශ්වයින් මිලට ගෙන එම ණය බේරා ගැනීමට නොහැකිව සිටින ෆෙයිඩිප්පිඩේස් බේරා ගත නොහී ලත වෙමින් ඇඳේ ඒ මේ අත පෙරළි පෙරළී සිය පුතුගේ ණය ගැන නිඳිමරාගෙන දුක්විඳින, ස්ට්‍රෙප්සියඩේස්ගේ දර්ශනයෙනි. ස්ට්‍රෙප්සියඩේස්, ඔහුගේ පුතාට සොක්‍රටීස්ගේ චින්දන කම්හලට ගොස් එම ණයකරුවා රවටා ණයෙන් බේරීමට තර්ක කිරීමට උපක්‍රම ඉගෙන ගන්නට පෙරැත්ත කරයි. පුතා එය ප්‍රතික්ෂේප කරන හෙයින් මහලු වුවද තමාම යෑමට පියා තීරණය කරයි.

සොක්‍රටීස් දේශනා කරන ශාස්ත්‍රීය විෂයයන් ගැමියෙකු වූ ස්ට්‍රෙප්සියඩේස්ට ගෝචර නොවේ. ඇරිස්ටොෆනීස් මේ අවස්ථාවේ දී සොක්‍රටීස් ප්‍රේක්ෂකයා ඉදිරියට ගෙන්වන්නේ ග්‍රීක රංගපීඨයේ භාවිතා වූ දොඹකරයක උපකාරයෙන් කුඩයක නංවමිනි. ඇරිස්ටොෆනිස් මෙයින් අදහස් කරන්නට වෑයම් කරන්නේ සොක්‍රටීස් පඬිවරයා පොළොවේ පය ගසා නොසිටින  වලාකුළු මත ජීවත් වන පුද්ගලයෙකු ලෙස ඉඟි කිරීමට යැයි සිතිය හැකිය. සොක්‍රටීස් ලෙස රඟපෑ නළුවා සැබෑ සොක්‍රටීස්ගේ රූපකායට සමාන ලෙස වෙස් මාරු කරගෙන තිබුණි. මේ නිසා සැබෑ සොක්‍රටීස් යැයි ප්‍රේක්ෂකයෝ මුලා වේයැයි සිතූ සැබෑ සොක්‍රටීස් පඬිතුමා ප්‍රේක්ෂකාගාරයේ නාට්‍යය ඉවර වන තෙක් සිටගෙන සිටියා යැයි වාර්තා වේ. "වලාකුළු" නාට්‍යයේ සොක්‍රටීස්, මේ ආකාරයෙන් ඉදිරියට පැමිණෙන්නේ ස්වකීය අලුත් ගෝලයා වූ ස්ට්‍රෙප්සියඩේස්ට තරවටු කිරීමටය. ඒ නිසා තමන්ගේ සහායට "වලාකුළු" නමින් එන ගායන වෘන්දය ඇරිස්ටොෆනිස් වේදිකාවට කැඳවයි. වලාකුළුවලින් ඇරිස්ටොෆනිස් සංකේතවත් කරන්නේ වස්තුව, ප්‍රඥාව, ශක්තිය, යුක්තිය වැනි සංකල්පයන්ය.

ස්ට්‍රෙප්සියඩේස් නමැති ගොවියා තමා ණයකරුවාගෙන් බේරීමට හැකි ක්‍රමය ඉගැන්වීමට සොක්‍රටිස් හැකි වෙතැයි විශ්වාස කරයි. තමා ඔහුගේ පාසල් ශිෂ්‍යයෙකු වන බවට ද තීරණය කරයි. නමුත් සොක්‍රටීස්, ස්ට්‍රෙප්සිඩේස් තමන්ගේ පාසලට නුසුදුස්සෙකු යැයි පාසලෙන් පිටුවහල් කර යවයි. ඒ අවස්ථාවේ දී සිය නිවසට යන ස්ට්‍රෙප්සියඩේස් සිය පුත්‍රයා සොක්‍රටීස්ගේ චින්තන කම්හලට නොගියහොත්, තමාගේ නිවසින් පන්නන බවට තර්ජනය කරයි.


අතීතයේ දී සිය පුත්‍රයා සොක්‍රටීස්ගේ පාසල වෙත යැවීමට, ස්ට්‍රෙප්සිඩේස් ගොවියා සමත් වේ. දින කිහිපයකට පසු ස්ට්‍රෙප්සියඩේස් සිය පුත්‍රයාගේ ප්‍රගතිය ගැන සොයා බැලීමට චින්තන කම්හලට පැමිණේ. එවිට ෆෙයිඩිප්පිඩේස් ඉතා දක්ෂ ශිෂ්‍යයෙකු බව සොක්‍රටීස් පවසයි. පියාට තමාගේ දස්කම් කිහිපයක් පුතා විසින් පෙන්වයි. මේ අතර ස්ට්‍රෙප්සියඩේස් ගත් ණය ඉල්ලන්නට ණය හිමියෙකු පැමිණෙයි. ව්‍යාකරණයේ ලිංග භේදයේ දෝෂයක් නිසා ඔහුට ණය ගෙවිය නොහැකි යැයි ස්ට්‍රෙප්සියඩේස් ණය හිමියා පන්නා ගනී. ඒ සමගම තව කාලයකට පසු, පියා සහ පුතු අතර ගැටුමක් ඇති වේ. පුතා තමාට පහර දුන්නේ යැයි චෝදනා කරයි. පසුව පුතා එසේ පියාට පහර දීමට තමාට අයිතියක් ඇති බව පවසයි. තර්ක කරයි. එසේ වන්නේ කුඩා කලදී පියාගෙන් තමාද තැළුම් කෑ නිසා බව පවසයි. මෙම තර්කය ස්ට්‍රෙප්සියඩේස් පිළිගත් විට, මවට තැළීමට ද පුතාට අයිතියක් බව ෆෙයිඩ්ප්පිඩේස් තර්ක කරයි. මෙයින් කෝපයට පත්වන ස්ට්‍රෙප්සියඩේස් චින්තන කම්හලට ගිනි තබා සොක්‍රටීස් හා ඔහුගේ ගෝලයන් පන්නා දමයි. ඇරිස්ටොෆනිස් "වලාකුළු" නාට්‍යයෙන් හුවා දක්වන්නට වෑයම් කරන්නේ සොක්‍රටීස්ගේ තර්කය විනාශ කර අවසන් ඵලයක් ලබන බවයි.

ඇරිස්ටොෆනිස්ගේ නාට්‍ය කෘති තුළ කාලින සමාජ තුළ තිබූ නොයෙකුත් සංසිද්ධීන් උපහාසාත්මක ලෙස විවේචනය කිරීම දක්නට ලැබුණි. සංවාද සඳහා වචන තෝරා බේරාගෙන අති දක්ෂ ලෙස වචන හරඹයේ යෙදුණු නාට්‍යකරුවෙකි ඇරිස්ටොෆනීස්. මොහුගේ ශෛලිය සඳහා භාෂාව උපයෝගි කර ගනිමින් ස්වකීය සමාජයට ප්‍රීති ප්‍රමෝදයන් ලබා දෙන අතර ස්වකීය විවේචනයට ද මග පෑදුවේය. ඇරිස්ටෝටල්ගේ "කාව්‍ය ශාස්ත්‍රය" පොතෙහි ට්‍රැජඩි, කොමඩි පිළිබඳව විස්තර කිරීමේ දී, උසස් ගණයේ නාට්‍ය ලෙස සලකනු ලබන්නේ ට්‍රැජඩි නාට්‍යයන්ය. එහෙත් ඇරිස්ටොෆනීස්ගේ "කොමඩි" නාට්‍ය කලාව පූර්වාදර්ශයට ගත් කළ එහි ඇති වටිනාකම් අපට වටහා ගත හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017