යුරිපිඩීස් - ක්‍රි.පූ. 480-406
 


ග්‍රීක නාට්‍ය කලාවේ වැදගත් තුන්වන නාට්‍යකරුවා ලෙස සලකන්නේ යුරිපිඩිස්ය. මොහු වඩාත් හොඳින් හඳුනා ගැනීමට සොපොක්ලිස් සමග සංසන්දනය කළ යුතුය. සොපොක්ලිස්ගේ නාට්‍ය තුළ ජීවත් වූයේ සුවිශේෂ පුද්ගලයින්ය. යුරිපිඩිස් නාට්‍යවල චරිත අපට එදිනෙදා ජීවිතයේ දක්නට ලැබෙන පුද්ගලයන්ය. සොපොක්ලිස්ගේ චරිත පරමාදර්ශි වූ අතර යුරිපිඩිස්ගේ චරිත යථාර්ථවාදි යයි කිවහැක.

යුරිපිඩිස් යථාර්ථවාදයේ ආරම්භකයා වශයෙන් ද වත්මන් නාට්‍යකලාවේ පියා වශයෙන්ද හඳුන්වා ඇත්තේ මේ නිසාය. එසේ වුවත් යුරිපිඩිස්ගේ කෘතීන්, ඊස්කිලස්ගේ සහ සොපොක්ලිස්ගේ කෘතීන් හා සසඳා බැලුවහොත් මතුපිටින් කිසිදු වෙනසක් නොපෙනෙනු ඇත. ශෝකජනකආකෘතුයට අයත් සියලුම බටහිර අංගයන් ඔහුගේ නාට්‍ය ආකෘති තුළ ද අපට දැකගත හැකිය.

පුරාණෝක්තියකින් සිද්ධි මාලාව (කතා විලාසය) ගොඩනැගීම, එහි එන චරිත එම පැරණි නම්වලින් හැඳින්වීම, ගායන වෘන්දයේ ගායනය ද මෙම චරිතවල සංවාද හා මාරුවෙන් මාරුවට යොදා ගැනීම පොදු ලක්ෂණ මේ තිදෙනාගේම කෘතිවල මැනවින් විද්‍යමාන වේ.


ඊස්කිලස් හා සොපොක්ලිස් යන නාට්‍යකරුවෝ දෙදෙනා සමග සසඳන විට යුරිපිඩිස් අසම්මතවාදියෙකු සේ පෙනේ. මොහු ග්‍රීක සම්මුති සහ ගතානුගතිකත්වය නිර්දය ලෙස විවේචනයට ලක් කළේය.


ක්‍රි.පූ. 480 උපත ලැබූ යුරිපිඩිස්, ටික කලකට පෙඑ එනම්, ක්‍රි.පූ. 406 දී මිය ගියේය. අවුරුදු 18 දී නාට්‍ය රචනයට පිවිසි ඔහු අවුරුදු 30 පමණ වන විට නාට්‍යය උත්සවවලට සිය කෘතීන් ඉදිරිපත් කරන්නට විය. එහෙත් ඔහුට ප්‍රථම ජයග්‍රහණය අත්වූයේ අවුරුදු 14 කට පසුවය. ඔහුගේ ජීවිත කාලය තුළ නාට්‍ය 90 ක් පමණ ලියා ඇති බව වාර්තා වී තිබේ. එහෙත් දැනට ඉතිරි වී ඇත්තේ 19 ක් පමණී. එයින් එක් නාට්‍යයක් "සයිලොප්ස්" නමින් සැටරි වර්ගයට අයත් වූවකි.

යුරිපිඩිස්ගේ නාට්‍ය කෘති,


1. සයික්ලොප්ස් (සැටර් නාට්‍යයක්)
2. අල්කෙස්ටිස් (ක්‍රි.පූ. 438)
3. මීඩියා (ක්‍රි.පූ. 431)
4. හිපොලිටස් (ක්‍රි.පූ. 423)
5. සප්ලයන්ටස්
6. ට්‍රෝජන් කාන්තාවෝ (ක්‍රි.පූ. 415)
7. හෙරක්ලිස්ගෙ දරුවෝ (ක්‍රි.පූ 428)
8. ඇන්ඩිරොමැකි (ක්‍රි.පූ. 426 දී පමණ)
9. හෙකියුබා (ක්‍රි.පූ. 425)
10. උමතු හෙරක්ලිස් (ක්‍රි.පූ. 422)
11. ඉයොන් (ක්‍රි.පූ. 417)
12. ඉෆ්ජිනියා ඉන් ටවුරින් (ක්‍රි.පූ. 414)
13. ඉලෙක්ට්‍රා (ක්‍රි.පූ. 413)
14. හෙලන් (ක්‍රි.පූ. 412)
15. ෆිනිසියන් කාන්තාවො (ක්‍රි.පූ. 412)
16. ඔරෙස්ටිස් (ක්‍රි.පූ. 408)
17. ඉෆිපීනියා ඇට් අවුලිස්(ක්‍රි.පූ.405)
18. බැඩ්බායි (ක්‍රි.පූ. 405)

ට්‍රැජඩ්, කෝමඩි, සැටර්


ග්‍රීක නාට්‍යකලාව වර්ධනීය තත්ත්වයට පත් වූ කාලයේ දී නාට්‍ය ප්‍රභේද තුනක් ප්‍රධාන වශයෙන් දක්නට ලැබුණි.


1. ට්‍රැජඩ්  2. කොමඩි   3. සැටර්


ඉතිරි වී ඇති නාට්‍ය රචනා මෙම වර්ගවලට අයත් පිටපත් සොයා ගත හැකිය.


ට්‍රැජඩ් හෙවත් ශෝකජනක නාට්‍ය සඳහා ශොකාන්ත හා ඛේදාන්ත යන නම් ද භාවිතා කරයි. ශෝකජනක නාට්‍යයක් අවසාන වන්නේ දුකකින්ය. එසේ වුවද මෙම නාට්‍ය විකාශනයේ දී විටින් විට හෝ ප්‍රීතිමත් අවස්ථා ඇති විය හැකිය.


එසේම කොමඩි නාට්‍ය අවසන් වන්නේ සතුටකිනි. එහෙත් එය විකාශනයේ දී නාට්‍ය අන්තර්ගතය තුළ දුක්මුසු අවස්ථා ඇතිවිය හැකිය. ශෝකාන්ත ආකෘතිය ඉවහල් කොටගෙන ඊස්කිලස්, සොපොක්ලිස් හා යුරිපිඩිස් නාට්‍ය නිර්මාණය කරන ලදී. ඇරිස්ටොෆනිස්, සුඛාන්ත ආකෘතියෙන් නාට්‍ය රචනා කළ ප්‍රමුඛයා වශයෙන් ගැනේ.


සැටර් නාට්‍ය යනු ග්‍රීක නාට්‍යයේ ඉහත දැක්වූ ප්‍රභවයට සම්බන්ධ වැඩී අවුත් පසු කලෙක සුවිශේෂ ලක්ෂණ දරණ ආකෘතියකින් හා අන්තර්ගතයකින් යුත් ග්‍රීසියේ සම්භාව්‍ය යුගයටම සීමා වූ නාට්‍ය විශේෂයකි.


මෙම සැටර් නාට්‍ය ශෝකාන්ත නාට්‍ය තරගාවලියේ දී අතරමැදට යෙදූ නාට්‍ය වර්ගයක් ලෙස සැලකේ. සුඛ, දුක්ඛ වශයෙන් ජීවිතයේ භාවමය දෙපක්ෂයම මෙම නාට්‍ය තුළ නිරූපණය වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017