සොපොක්ලීස් - ක්‍රි.පූ. 497-406
 

ඊස්කිලස්, ග්‍රීක ශෝකජනක නාට්‍ය ප්‍රභේදයේ ආරම්භකයා වශයෙන් ද, සොපොක්ලීස් එය ඉහළම තලයට නැංවූ රචකයා වශයෙන් ද, ග්‍රීක ශෝකජනකයේ පරිහානිය යුරිපිඩිස් අතින් සිදු වී යයි ද ග්‍රීක නාට්‍ය පිළිබඳව ගවේශණයක් කළ ඇරිස්ටෝටල් දාර්ශනිකයා පැවසුවේය. සොපොක්ලීස් විසින් නාට්‍ය සියයකට අධික ගණනක් එනම් 125 ක් පමණ ලියා තිබේ. නාට්‍ය උත්සව වලදී පළමුවන ස්ථානය 24 වතාවක් ලබාගෙන තිබේ. ඔහු විසින් නිර්මාණය කරන ලද නාට්‍ය අතරින් ඉතිරි වී ඇත්තේ


1. ඇන්ටිගනි            5. ෆිලොක්ටටිස්
2. අජැක්ස්              6. ඊඩිපස්
3. විමන් ඔෆ් ට්‍රකිස්       7. කොලෙනෝනස්
4. ඉලෙක්ට්‍රා             8. ඉක්නෙවුටාඉ (මං සොයන්නෝ - සැටර් නාට්‍යයකි)

සොපොක්ලිස්ගේ කෘති අතරින් පැරණිම කෘතිය වන "අජැක්ස්" සම්පූර්ණ කෘතියක් වශයෙන් ඉතිරි වී තිබේ.


අජැක්ස් - ක්‍රි.පූ. 447


සොපොක්ලිස්ගේ පරිණත ලේඛ, ශෛලියක් අජැක්ස් නාට්‍යයේ දක්නට ලැබේ. හෝමර්ගේ "ඉලියඩ්" මහා කාව්‍යයේ වන අජැක්ස් නම් වීර චරිතය වටා මෙම නාට්‍ය සොපොක්ලිස් විසින් ගොඩනගා තිබේ. අජැක්ස් ගැන කියවෙන පුරාණෝක්තිය තුළින් සොපොක්ලිස් කවියා, මිනිසාත්, ඔහුගේ ඉරණමත් අතර අරගලය පිළිබිඹු කරයි. අජැක්ස්, ට්‍රෝජ යුද්ධයට ගිය ග්‍රීක වීරවරයින් අතර ඉතාමත් ශක්තිමත් පුද්ගලයා විය. ග්‍රීක නැවෛ විනාශ කිරීමට පැමිණි ට්‍රෝජ් හමුදා සමග තනිව සටන් කර ග්‍රීකවරුන්ගේ පරාජය වලකාලුයේ ඔහුය. ග්‍රීක යුද සිරිත අනුව ජයග්‍රහණය ලබාදීම වෙනුවෙන් ඔහුට ලැබිය යුතු ත්‍යාගයක් අහිමි කිරීම නිසා කෝපයට පත්වන ඔහු ග්‍රීක සෙන්පතිවරුන් මැරීමට උපායක් යොදයි. සෙන්පතිවරුන්ට පක්ෂපාති දෙවඟනක් වූ ඇතීනා, අජැක්ස්ගේ සිහිය විකල් කරයි. සිය ප්‍රතිවාදීන් වූ සෙන්පතිවරුන් මරා දැමීමට අර අදිමින් සිටින අජැක්ස්, විකල් සිහියෙන් ඔවුන්ගේ ගවයන් සමූල ඝාතනය කරයි. ප්‍රකෘති තත්ත්වයට එන විට තමන්ගේ ක්‍රියාවන් අවමානයට පත්වන ඔහු සිය දිවි හානි කර ගනියි. මෙය සරල කතාන්දරයක් ලෙස පෙනුණ ද, සොපොක්ලීස් මෙය මොහොතින් මොහොත ප්‍රේක්ෂකයා තුළ ආතතිය ඇති කරවන, කතාන්තර තුළම සඳහන් වී තිබෙන මානව සබඳතා මතු කරගෙන හැඟීම්බර කතා වින්‍යාසයක් ගොඩ නගයි. අජැක්ස් ගොරහැඬි චරිතයක් ලෙස නිරීපණය කරමින් පවුලේ ඇවටිලිවලට සංවේදි නොවන මොහු භූමිදානයට නුසුදුස්සෙක්ය යන විවාදයක් හටගනී. අජැක්ස් තමන්ගේ පරම හතුරා යයි තැකු සෙන්පති ඔඩියස් පැමිණ අජැක්ස්ට සානුකම්පා තීරණයක් දීමෙන් අවසන් වෙයි.

ඊඩිපස් - ක්‍රි.පූ. 430-429


සොපොක්ලිස්ගේ "ඊඩිපස් රජ" නාට්‍යය, ශෝකජනක ආකෘතිය හැඳින්වීමට ඇති හොඳම නිදර්ශනයයි. එය ඇරිස්ටෝටල් විසින් ග්‍රීක ශෝකජනක නාට්‍යයේ මුදුන්මල්කඩ වශයෙන් දැක් වූ බව අපි කලින් සඳහන් කළෙමු.

එහෙත් එපමණක් නොව එය විශ්ව නාට්‍ය සාහිත්‍යයේ ද ශ්‍රේෂ්ඨතම කෘතියක් වශයෙන් බොහෝ අද්‍යතන විචාරකයෝ පිළිගනිති. ඊඩිපස් රජ නාට්‍යයේ පුරාණෝක්තියකින් නිර්මාණය වූවකි. සොපොක්ලීස් විසින් මෙම ඊඩිපස් නාට්‍යය මෙහෙයවනු ලබන්නේ දෛවය විසින් දුහුබඳින ලදුව ශ්‍රේෂ්ඨ ලෙස මුහුණ දෙන මිනිසෙකුගේ කතාන්තරය වශයෙනි.


 

ඇන්ටිගනී,


සොපොක්ලිස්ගේ ඇන්ටිගනි නාට්‍යය, පරමාදර්ශි ශෝකජනක නාට්‍යයක් බව ජර්මන් දාර්ශනිකයෙකු වූ ජෝර්ජ් හේගල් පවසා තිබේ. ඇන්ටගනි නාට්‍යයට මුල්වන්නේ ඊඩිපස් පුරාණෝක්තියමයි.


"සෙවන් අගේන්ස්ටි තිබිස්" නම් ඊස්කිලස්ගේ නාට්‍යයෙහි ඉදිරිපත් වී ඇති ඊඩිපස් රජුගේ පුතුන් දෙදෙනාම එකිනෙකා අතින් මිය ගිය බව ඔබට මතක ඇත. ඇන්ටගනි නාට්‍යය ආරම්භ කර ඇත්තේ ඔවුන්ගේ අවමංගල අවස්ථාවේ දී ඔවුන්ගේ සොහොයුරියන් වන ඇන්ටිගනි හා ඉස්මෙනි අතර ඇතිවන විවාදයකිනි.


තිබිස් නගරයේ නව රජකමට පත්ව සිටින ක්‍රියෝන් රජ සිය නගරයට පක්ෂව සටන් කළ එටොයොක්ලීස් රාජ්‍ය ගෞරව සහිතව භූමිදාන කිරීමටත්, රජයට ද්‍රෝහිව කටයුතු කිරීම යන චෝදනාව අනුව පොලිනියෙස්ගේ මෘත ශරීරය රාජ ද්‍රෝහීන්ට කරන දඬුවමක් ලෙස සලකා භූමිදානය නොකිරීමටත් නියෝග දී ඇත. ඇන්ටගනි සිය සොහොයුරිය වන ඉස්මිනිට කියා සිටින්නේ පොලිනියෙස්වද චාරිත්‍රානුකූලව භූමිදානය කිරීම ඔවුන් දෙදෙනාගේම යුතුකම බවයි. එහෙත් ඉස්මිති කියා සිටින්නේ ද රාජ නියෝගයට පටහැනිව ක්‍රියා කිරීම තම ජීවිත ආරක්ෂාවට තර්ජනයක් බවයි. ඒ අවස්ථාවේ දී හුවමාරු වන දෙබසින් පෙනී යන්නේ ඇන්ටිගනි ඉතා හිතුවක්කාර ලෙස ගෙන මෙම කටයුත්ත කිරීමට තීරණය කර ඇති බවයි. ඉස්මිති තුළ ද රාජ නීතියට ඇති බිය සමග සහයෝගය දීමට ඇති කැමැත්තක් ඇතත්, උද්වේගකාර ඇන්ටගනි එය ද ප්‍රතික්ෂේප කර තනිවම භූමිදානය කිරීමට ඉදිරිපත් වෙයි.


පුරාණෝක්තියේ ද වන මෙම කතා පුවත නට්‍යානුසාරයෙන් ශෝකජනකයක් ලෙස නිර්මාණය කිරීමට ඉදිරිපත් වන සොපොක්ලිස්, එය මිනිසාගේ අධ්‍යාත්මික ශක්තිය හුවා දැක්වීමට උපයෝගි කර ගනියි. ඇන්ටිගනි ඉතා උසස් ගුණාංගවලින් යුත් චරිතයක් ලෙසද සියලු උසස් මිනිස් වර්ගයාට ආදර්ශයක් ලෙස ද දක්වා ඇත. ඇන්ටිගනි යුක්තිය පිළිබඳ ප්‍රබල විශ්වාසයක් ඇති තැනැත්තියකි. ඇයගේ තීරණය අවසානය තෙක් නොසැලී ගෙන යයි. බාහිර බලවේග එම තීරණවලට පටහැනිව පැන නැගෙන මුද්, ඇය නොපසුබටවම ඇයගේ සොහොයුරා භූමිදානය කිරීමට ගත් තීරණය ඉටු කරයි.


සොපොක්ලිස් ග්‍රීක නාට්‍ය කලාව නැංවීමට කළ මෙහෙවරේ දී විවිධ අංශවල නවීකරණයක් ඇති කළේය.

1. ග්‍රීක රංගපීඨයට තුන්වන නළුවෙකු හඳුන්වා දීම.
2. නාට්‍යවල සංවාද බහුලව යොදා ගැනීම.
3. ගායන වෘන්දයේ ප්‍රධානත්වය අඩු කිරීම.
4. ප්‍රථමවරට පින්තාරු කළ දර්ශන නාට්‍යයට සම්බන්ධ කිරීම.
5. නාට්‍යයට උත්ප්‍රාස රසය ප්‍රබල ලෙස යොදා ගැනීම. (ඊඩිපස් නාට්‍යය)



 

(c) Shilpa Sayura Foundation 2006-2017