ග්‍රීක නාට්‍ය හා වස්තු විෂය
 

ග්‍රීක නාට්‍ය සඳහා එකල නාට්‍යකරුවෝ වස්තු විෂය කර ගන්නා ලද්දේ ග්‍රීක සමාජයේ පැවති දේවකතා හා පුරාණෝක්තීන්ය. විශේෂයෙන්ම හෝමර් විසින් මහා කාව්‍යයන් දෙක වන "ඉලියඩ්" හා "ඔඩෙසි" යන ග්‍රන්ථවල එන පුරාණ කතා, මෙම නාට්‍යකරුවෝ මහත්සේ ප්‍රයෝජනයට ගත්හ.


මෙම පුරාණොක්ති තුළ ග්‍රීක ජනතාවගේ ඓතිහාසික සමාජය හා අධ්‍යාත්මික ස්වභාවයන් අන්තර්ගත වී තිබුණි. මේ තුළින් ආගමික නැඹුරුව පවත්වා ගන්නා අතරම මනුෂ්‍යත්වය පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කිරීමට හැකිවිය.


ග්‍රීක ඛේදාන්ත නාට්‍යය, ගැඹුරු ජීවන අත්දැකීම් විමසන, එමෙන්ම ආකෘතික වශයෙන් පරිපූර්ණ කලාවක් බවට පත් කළේ ඊස්කිලස්, සෝපෝක්ලීස් හා යුරිපිඩීස් යන නාට්‍යකරුවන්ය. ග්‍රීක ඛේදාන්ත නාට්‍යයේ මල්ඵල හටගත් අවධිය වන, මේ නාට්‍යකරුවන් ජීවත් වූ අවධියේ වෙනත් නාට්‍යකරුවන් ද ඛේදාන්ත නාට්‍ය රචනයෙහි හා රඟ දැක්වීමෙහි යෙදුන බව ප්‍රකටය. ඇතැන්ස්හි පැවැත්වුණු නාට්‍ය තරඟවලදී අනිත් නාට්‍යකරුවන් සමහර අවස්ථාවල දී ඉහත කී ප්‍රවීණ නාට්‍යකරුවන් තිදෙන පරාජය කළ අවස්ථාද ඉතිහාසගත වී ඇත. එහෙත් අවාසනාවකට මෙන් ඒ අනෙක් නාට්‍ය රචකයින්ගේ කෘතීන් අද ඉතිරි වී නැත.

ඊස්කිලස් - ක්‍රි.පූ. 525-456


ඊස්කිලස් ලියූ නාට්‍ය හැත්තෑපහක් අතරින් අපට ඉතිරි වී ඇත්තේ නාට්‍ය හතක් පමණී. මොහු "සැටර්" නාට්‍යය ද ලියූ බවට සාක්ෂි ඇතත් ඉතිරි වී ඇති පූර්ණ කෘති සියල්ලක්ම ශෝකජනක (ට්‍රැජඩ්) නාට්‍යයන්ය.


ග්‍රීසියේ ස්වර්ණමය නාට්‍ය කලාව ආරම්භ වූයේ පස්වන සියවසේ ඊස්කිලස්ගෙන්ය. තවද ඔහු දෙවෙනි නළුවෙක් එක් කරමින් ග්‍රීක නාට්‍ය තුළ සජීවි ගැටුම් අවස්ථා නිරූපණය කළ නාට්‍යකරුවා ලෙසද වැදගත් තැනක් ගනී.

ඊස්කිලස්ගේ කෘති :

1. පර්සියන්වරු
2. සෙවන් අගේන්ස්ට් තිබිස් (තිබිස් නගරයට එරෙහි වු සත්දෙනා)
3. සප්ලයන්ටිස් (යදින්නෝ)
4. ප්‍රොමිතියස් බවුන්ඩ් (ප්‍රොමිතියස් බන්ධනය)
5. ඇගමෙම්නොන්
6. බොයිෆොරොයි
7. යුමිතිඩිස්

(ඇගමෙම්නොන්-බොයිෆොරොයි-යුමිතිඩිස් යන මෙම නාට්‍ය තුන එකතු වී "ඔරෙස්ටියා" නමැති තුන් ඈදුත්ත නිර්මාණය වී තිබේ.)

ඊස්කිලස් තමා විසූ ඇතැන්ස් නගරය ආක්‍රමණය කිරීමට පැමිණි පර්සියන්වරුන්ට එරෙහිව ග්‍රීකවරුන් විසින් කරන ලද යුද්ධයට සහභාගි වූ සෙබළෙකි. එහෙයින් "පර්සියන්වරු" නැමති නාට්‍ය ඔහුගේ ආදීම කෘතිය පමණක් නොව ග්‍රීක නාට්‍ය ඉතිහාසයේ රචකයාට සමකාලීන වූ සිද්ධියක් අන්තර්ගතය කරගත් එකම ශෝකජනකයයි. අනෙක් සෑම ශෝකජනකයක් සඳහාම ග්‍රීක රචකයන් සිය කතා වින්‍යාසය ගොඩනැගීම සඳහා උපයෝගි කරගෙන ඇත්තේ දේවකතාවක් හෝ වීර කතාවකි. ප්‍රචලිත පුරාණෝක්තියකි.


ඊස්කිලස් මේ සෑම ශෝකාන්තයක්ම, මිනිසාගේ අතිමානය තුළින් විපතට පත්වන වීර චරිතයක් කේන්ද්‍රකොට ගනී. "පර්සියන්වරු" නාට්‍යයේ මේ සඳහා ඔහු යොදාගෙන ඇත්තේ පර්සියාවේ රජ කළ ඩේරියස් රජුගෙන් පසු සිහසුනට පත් "ක්සර්ක්සිස්" ඇතැන්ස් නගරයට එරෙහිව යුධ ප්‍රකාශ කර ඇත්තේ ඔහුය. "පර්සියන්වරු" නාට්‍යයේ පසුබිම වන්නේ පර්සියාවේ අගනුවර වූ සූසා නගරයයි. ක්සර්ක්සීස්ගේ මව වූ ඇටොස්ටා බිසවත්, නගරයේ වැඩිහිටි පුරවැසියනුත් නාට්‍ය ආරම්භයේ ක්සර්ක්සීස් සමග සමඟ ඔහුගේ හමුදා ආපසු එනතුරු බලා සිටින්නේ ඔවුන් පිළිබඳ මහත් බියෙන් හා සංකාවෙනි. සලාවිස් සටනේ දී පර්සියන්වරු පරාජය වූ බව කියන එම පණිවුඩකරුගෙන් මව් බිසව නොකඩවා අසන හරස් ප්‍රශ්නවලට පර්සියානු පණිවුඩකරු දෙන පිළිතුරු මගින් ඊස්කිලස් ග්‍රීක ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සාඩම්බර වර්ණනා ඉදිරිපත් කරයි. පරාජයට පසු සිදුවිය හැකි අනෙක් විපත්, ඩේරියස් රජුගේ අවතාරය පැමිණ විස්තර කරයි. අලංකාර රාජ වස්ත්‍රාභරණයෙන් සැරසී යුද්ධයට ගිය ක්සර්ක්සීස් පරාජය වී වැරහැලි ඇඳ, සිය පුරවරයට පැමිණීමදැකීමෙන් ග්‍රීක වැසියා ප්‍රීතියක් ලැබුවා විය හැකිය. එහෙත් ඊස්කිලස් සතුරාට අවමන් කිරීමට එය අවස්ථාවක් කර නොගනී. ග්‍රීකවරුන්ගේ ජයග්‍රහණය පිළිබඳ සාඩම්බරව ලියන අතරම, ඊස්කිලස් සතුරාගේ ගෞරවය ද නිරතුරුවම රැක ගනී.

ඊස්කිලස් නාට්‍යකරණයට පැමිණිමත් සමගම ඛේදාන්ත නාට්‍යයේ ආකෘතිය අන්තර්ගත වස්තු විෂයන් ද පෝෂණය කරන ලදී. මෙතෙක් එක් නළුවෙකු හා අත්වැල් ගායක කණ්ඩායම පමණක් තිබූ නාට්‍ය ආකෘතිය පොහොසත් කරමින් දෙවෙනි නළුවෙක් හඳුන්වා දුනි. නළුවෙක් හා අත්වැල් අතර සංවාදයකට සීමා වී තිබූ නාට්‍යය චරිතයකට විවිධ පැති හා කිසියම් සිද්ධියක් නිරූපණය කිරීමට සමත් විය. නළුවන්ගේ රංග කාර්යයට වඩාත් ගැළපෙන ඇඳුම් පැළඳුම් හා වෙස්මුහුණු ඊස්කිලස් විසින් යොදා ගන්නා ලදී.


ආකෘතිය වශයෙන් ඛේදාන්ත නාට්‍ය මෙසේ ඉදිරියට ගෙනගිය ඊස්කිලස් අතින් සිදු වූ වඩාත් උත්තම කාර්යය වන්නේ ලෝක සත්ත්වයා හා මනුෂ්‍යා අතර සිදුවන සදාතනික සම්බන්ධතාවය ද, දුක් කම්කටොළුවලින් පිරි මිනිස් සහසම්බන්ධතාව ද ගැඹුරින් විමසන වාහනයක් බවට ග්‍රීක ඛේදාන්ත නාට්‍ය කලාව පත් කිරීමය.

ඊස්කිලස් නාට්‍ය තරගය සඳහා ප්‍රථම නාට්‍ය ඉදිරිපත් කළේ ක්‍රි.පූ. 499 දීය. එවිට ඔහුට අවුරුදු 25 කි. ඊස්කිලස් විසින් නාට්‍ය 75ක් පමණ නිර්මාණය කළ බව කියවෙන අතර, මෙයින් දැනට ඉතිරි වී ඇත්තේ හතක් පමණී. ඇතැන්ස් මහා නාට්‍ය තරගයේ දී දහතුන් වතාවක් ප්‍රථම ත්‍යාගය හිමිවීම, ඔහුගේ නාට්‍යවල ගුණාත්මක අගය මොනවට පෙන්වන සාධකයකි.

(c) Shilpa Sayura Foundation 2006-2017