ක්‍රි.පූ. 600 න් පසු මෙම පූජා විධිය වඩාත් සංවිධානාත්මක ස්වරූපයෙන් රඟ දැක්වීම ආරම්භ කරන ලදී. මෙහි මූලිකයා වූයේ කොරින්ත් ප්‍රදේශයේ විසූ හොඳම ලිරික් කවියා වන ඒරියන් නමැත්තාය. මෙම ඩිතිරැම්බි ගායනා සඳහා පනස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි කර ගන්නා ලදී. එහි නළුවන්ට එළු සමින් කළ ඇඳුම් ඇන්ද වූ අතර, ගායනා වෘන්දය වක්‍රාකාරව ගමන් කරමින් නර්තනයේ යෙදුණු බව ද පළවේ.
ඊට පසුව ගායනා කණ්ඩායම සඳහා නායකයෙක් පත්විය. ඔහු පොතේ ගුරුගේ චරිතයට සමානකම් දක්වයි. මෙම නායකයා අනෙක් සමූහයෙන් වෙන්වී තනිව ගායනා කරන්නට විය. එම කොටසම නැවත කණ්ඩායමම ගායනා කරන්නට විය. පසු කාලයේ දී මෙම කණ්ඩායම් නායකයා හා කණ්ඩායම අතර උත්තර - ප්‍රතිඋත්තර හුවමාරු විය. මෙම දෙබස් හුවමාරුව ක්ෂණිකව නිර්මාණය කර ගන්නා ලද්දක් විය හැකිය. තවත් කලක් යාමේ දී සිය කණ්ඩායම ඇමතීම සඳහා නායකයා මේඝයක් වැනි උස්තලයකට නැගුණු බව සඳහන් වේ.
මුල් කාලයේ දේව පූජාවක් ලෙස, මත් පැන් බී, ඔද වැඩී, වෙස් මුහුණු, ලියවැල්, ඔටුණු පැළඳගෙන, දෑතින් මිදී මාලා සහ ලිංග සංකේත ගෙන නටමින්, ගී ගයමින් තිබූ සැණකෙළි අවස්ථාව පනස් දෙනෙකුගෙන් යුක්ත ගායක කණ්ඩායමක් බවට පත් වී, ඒ තුළින් නායක චරිතයක් ද ගොඩනැගී, නාට්‍යමය ලක්ෂණ මතු කරන්නට විය. ග්‍රීක ඉතිහාසයේ පළමු නළුවා ලෙස නම් කරන්නේ ඉකේරියා නුවර ඉපදුණු, තෙස්පිස් නමැති කවියාය. තෙස්පිස් රංගනයේ යෙදුණු අතරම නාට්‍යය ද රචනා කරන ලදී. තෙස්පිස් තමාගේ ඛේදාන්ත නාට්‍යය ප්‍රථමයෙන්ම ඉදිරිපත් කළේ ක්‍රි.පූ. 534 දී දියොනීසියා නගරයේ බව කියැවේ. එළු සමින් කළ ඇඳුම් ඇඟලාගෙන ආ නිසා ඔවුන් හඳුන්වන ලද්දේ ට්‍රැගොඩායි නැතහොත් එළු ගායකයන් වශයෙනි. ට්‍රැජඩ් යන නාමය බිඳී ආවේ මෙම වදනින් යයි සමහර විද්වත්හු අදහති.
තෙස්පිස්ගෙන් පසුව ප්‍රැටිනාස්, කෝරිලස්, ප්‍රිනිවිනේ වැනි කවීන් නාට්‍ය රචනයෙහි නියැළුණු බව කියැවේ.
බොහෝ කලකට පෙර සිටම ග්‍රීසියේ නාට්‍ය කලාව පැවති නමුත්, ඒ පිළිබඳ නිශ්චිත තොරතුරු ලැබෙන්නේ ක්‍රි.පූ. 534 සිටය. මෙම කාලයේ දී ග්‍රීක ශෝකාන්ත නාට්‍ය තරඟය ආරම්භ කරන ලදී. මේ කාලය තුළ සිටි නාට්‍යකරුවා තෙස්පිස්ය. ප්‍රථම ශෝකාන්ත නාට්‍ය තරඟයෙන් ජය අත්පත් කර ගත්තේ මොහුය. ඔහුගේ නාට්‍යවල රඟපෑවේ ද ඔහුමය. ග්‍රීක නාට්‍ය කලාවේ ප්‍රථම නළුවා වූයේ ද තෙස්පිස්ය. මේ නිසා නළුවන් හැඳින්වීමට "තෙස්පිස්වරු" යන පර්යාය නාමයන් ද ඇති වී තිබේ.
තෙස්පිස්ගේ නාට්‍ය ඉතා සරලය. ඒවායේ වූයේ එක් නළුවෙකු හා ගායන වෘන්දයකි. සියලුම චරිත එකම නළුවා විසින් නිරූපණය කරන ලදී. වරින්වර විවිධ පාත්‍රයන්ගේ වෙස් ගැනීම සඳහා ඔහු වෙස් මුහුණු භාවිතා කළේය. වෙස්වළා ගැනීම සඳහා ඔහු නේපථ්‍යාගාරය කරා ගිය කල්හි ගායක වෘන්දය ගීතයෙන් හා නැටුමෙන් රංගභූමිය හිස්බව වසාලීය. මේ නිසා මෙම නාට්‍ය ඒකාබද්ධ කළ මූලික හුය වූයේ ගායක වෘන්දයයි. පරස්පර ප්‍රතිවිරුද්ධ පාත්‍රයන් මුහුණට මුහුණලා ගැටීම මෙම නාට්‍යයෙහි නොමැති විය. එබඳු නැටුම් අවස්ථා ඉදිරිපත් කිරීමට පුළුවන් වූයේ පස්වැනි ශතවර්ෂාරම්භයේ දී දෙවෙනි නළුවෙක් වේදිකාවට ගෙන ඒමෙන් අනතුරුවය.
ක්‍රි.පූ. 6 වන සියවසේ ජීවත් වූ "පිසිස්ට්‍රෙටස්" වැනි රාජ්‍ය පාලකයින් ග්‍රීක ට්‍රැජඩ් හෙවත් ඛේදාන්ත නාට්‍යයන්හි දියුණුව සඳහා පහසුකම් සලසන ලදී. නාට්‍යකරුවන්ට රාජ්‍ය අනුග්‍රහය යටතේ නාට්‍ය තරග පවත්වා, ඔවුන්ට තෑගි බෝග ප්‍රදානය කරන ලදී. මෙම පාලකයා වසරක් තුළ තෙවරක් ඇතැන්ස් නුවර පැවැත්වූ දියොනීසස් උළෙලට පසු, ඛේදාන්ත නාට්‍ය තරගයක් පැවැත්වීමට කටයුතු යෙදීය. හොඳ නාට්‍ය තුනක් පිටපත් තුනක් තෝරාගෙන, එම නාට්‍ය රචකයන් තිදෙනාට ගායක වෘන්දයක් සපයා දෙන ලද අතර, ඒ සඳහා යන වියදම දැරීමට රජය විසින් ධනවත් භාරකාරයන් තිදෙනෙකුට භාර කරන ලදී. නාට්‍ය තරග පැවැත්වීමට අවශ්‍ය ප්‍රේක්ෂකාගාර තනා ඒවා නඩත්තු කරන ලද්දේ ආණ්ඩුවයි. නාට්‍යයනැරඹීමට ආ ජනයාගෙන් මුල් අවධියේ දී කිසිම ගාස්තුවක් අය නොකිරිණි.