ග්‍රීක නාට්‍ය කලාව
 

පැරණි ශිෂ්ටාචාර වලින් එකක් ලෙස, ග්‍රීක ශිෂ්ටාචාරය නම් කළ හැක. මෙහි ඇති පැරණිකමත් සමග ලෝකයට වැදගත් වූ විෂයයන් ගණනාවක් හඳුන්වා දෙන ලදී. විද්‍යාව, දර්ශනය, ගෘහ නිර්මාණ ශිල්පය, කලා ශිල්ප ආදිය මේ අතරින් වැදගත් තැනක් ගනී. ග්‍රීක ශිෂ්ටාචාරය තුළ බිහි වූ ශාස්ත්‍ර ඥානය වර්තමානය විසින් ද ප්‍රයෝජනයට ගැනීම තුළින් එහි ඇති වැදගත්කම හා ශාස්ත්‍රිය බව අවබෝධ කරගත හැක.


ග්‍රීක නාට්‍ය සම්භවය


බොහෝ පැරණි මිනිස් කොට්ඨාශයක් මෙන්ම ග්‍රීසියේ පැරැන්නෝ ද බහු දේව වාදීහු වූහ. වර්ෂාව, සූර්යයා, ජලය, මුහුද, අව්ව සහ ගස්ගල් ආදියට දේවත්වයෙන් සලකන්නට විය. මේවාට අධිපති දෙවිවරුන් ඇතැයි සලකන්නට විය. දෙවිවරුන්ද ආර්ය සහ කොනික් නමින් වර්ග දෙකකට බෙදන ලදී. මෙසෛ විශාල සංඛ්‍යාවකින් යුත් දේව මණ්ඩලයේ ප්‍රමුඛයා වූයේ "සීයුස්" නම් මහ දෙවියාය. ග්‍රීකයන්ගේ දෙවියන් මුළුමනින්ම උතුම් මනුෂ්‍ය ගුණයන්ගෙන් සමන්විත වූවෝ නොවෙති. ඔවුන් සිත්ගත් මිනිසුන්ට සෙත සලසන අතර, ර?ෂයට බඳුන් වූවන් හට වින කරති. ග්‍රීක නාට්‍ය ආරම්භ වීම සඳහා බලපාන ලද්දේ දියෝනීසස් දෙවියන්ට කරන පුද පූජා විධි හා ස්ත්‍රෝත්‍ර ගායනාවන්ය.

මද්‍යසාරයට, සශ්‍රිකත්වයට අධිපති දෙවියා වශයෙන් දියෝනීසස් දෙවියන් සලකන ලදී. දියෝනීසස් දෙවියා ද්විත්ව වූ චරිතාංග උසුලන්නකි. එක් අතකින් ඔහු සශයිකත්වය හා ඒ තුළින් මතුවන ප්‍රිතිය නියෝජනය කරයි. අනෙක් අතට ඔහු මිනිස් වග අළලා පැතිර යන ශෝකයේ ද සංකේතයයි. වසන්තයේත්, ග්‍රීෂ්මයේත් ඔහු උපදින අතර සිසිර සෘතුවේ දී ශීත හා අඳුර මැද මිය යයි.


මුලින්ම මෙම දියෝනීසස් ඇදහිල්ල ග්‍රීක ජනපදවල, ප්‍රත්‍යාන්ත ප්‍රදේශවලට සීමා වූ අතර පසුකාලයේ එනම් පිසිස්ට්‍රෙටස් පාලකයාගේ සමයේ දී ඇතැන්ස් නගරයේ මහා දෙවොල වන ඩෙල්ෆි දේවාලයට අවතීර්ණ විය. මිද ඵල හටගෙන ධන ධ්‍යානයෙන් සරුවන හේමන්ත සෘතුවේ දී ඇතඹෙන මෙම පුද පූජෝත්සව වලදී මිදි යුෂ පානය කොට, ගීතිකා ගයමින් දවස පුරාම ජනී ජනයා නර්තනය පෑම කළහ. මෙම සිද්ධි තුළ අභිරූපණයෙන් ඉදිරිපත් වූයේ දියෝනීසස් දෙවියන්ගේ උපත හා මරණයයි. එනම් සුඛ දුක්ඛ යන දෙයාකාර ආවේගයන් ප්‍රදර්ශනය කරන නර්තනයක් විය. මෙම නර්තනය ප්‍රධාන අංග හයකින් යුක්තය.

1. තරඟය (එගොන්) - දියෝනීසස් දෙවියන් තම සතුරා සමග කරන සටන. මෙය නව වර්ෂය, ගෙවෙන වර්ෂය සමග කරන සටනක් ලෙස සැලකේ.


2. අභාග්‍ය හෙවත් සටනින් පැරදි දියෝනීසස්ගේ ශරීරය කැබලි කැබලි බවට පත් වී මිහිතලය පුරා විසිරවීමයි.


මෙයින් සංකේතවත් වන්නේ ධාන්‍ය මිහිතලය පුරා ඉසීමයි. ධාන්‍යයට අධිපති දෙවියා වන්නේ ද දියෝනීසස් දෙවියන්ය. මෙම අවස්ථාව "ස්පැරග්මොස්" යනුවෙන් නම් කරයි.


3. නව ලෝකය උදාවන බවට ගෙන එන පණිවිඩය.


4. හඬා වැලපීම - මෙය හැඬීමත්, සතුටත් දෙකම එකවිට ප්‍රකාශ වන අවස්ථාවකි. හඬන්නේ මිය යන වසර වෙනුවෙනි. සතුටු වන්නේ එළඹෙන වසර වෙනුවෙනි.


5. කැබලි කැබලි කොට වනසා දැමූ දෙවියන්ගේ සිරුර නැවත සොයා ගැනීම.


6. දෙවියන්ගේ උත්ථානය හා ඒ නිසා හට ගන්නා ප්‍රමෝදය.


මෙම නර්තන සමග ගයන ලද සමූහ ගීතිකා ඩිතිරැම්බි නමින් හැඳින්වේ.

ඉහතින් සඳහන් කළ අවස්ථා හය තුළින් ආංගික අභිනයත්, ඩිතිරැම්බි ගායනා තුළින් වාචික අභිනයත් ආරම්භ වූවායැයි සිතිය හැකිය.


 

(c) Shilpa Sayura Foundation 2006-2017