සංස්කෘත නාට්‍යයේ රංග ශෛලිය - 2 කොටස
 

එකවර දෙතැනක සිදුවන වෙනස් වීම් නිරූපණය කිරීම සඳහා රංග භූමියේ කොටස් කාල්පනිකව බෙදා ගැනීම ද සිදු කෙරේ. රංග භූමියේ එක් පැත්තක මාලිගාවක් ද අනිත් පැත්තේ මල් උයනක් ද වශයෙන් බෙදා ගත් අවස්ථා දක්නට ලැබේ. නළුවා වටයක් ගොස් (පරිෂ්ක්‍රමණය කොට) අවකාශය මාරු කරයි. රංග භූමිය කාල්පනිකව බෙදා ගැනීම "කක්ෂ්‍යා විභාග" නමින් හැඳින්වේ.


නිඳාගෙන සිටීම, වාඩි වී සිටීම වැනි ඉරියව්වලින් පාත්‍ර ජනයා භූමියට පිවිසෙන  අවස්ථා සහ මල් නෙළීම, දිය ගෙන ඒම වැනි විවිධ ක්‍රියාවන්හි නිරතව සිටින අවස්ථා ද නිරූපණය කර ගන්නා ලද්දේ නැටුම් විලාශයක් සහ අභිනය මගිනි. උද්‍යාන, මාලිඟා, ගංඟා ආදී වූ ස්ථාන හා සම්බන්ධ සිද්ධීන් නිරූපණය කර දැක්වූයේ වර්ණනාත්මක වූ පද්‍යයෙන් (වාචික අභිනයෙන්) අදාළ ස්ථාන පිළිබඳ විසිතුරු චිත්ත රූප ප්‍රේක්ෂකයාගේ මනසෙහි මැවීමෙන් අනතුරුවය.


සංස්කෘත නාට්‍ය තුළ ද රංග භාණ්ඩ වර්ග තුනක් භාවිතා කරන ලදී. ඒවා සන්ධිම, ව්‍යාජිම හා වේෂ්ටිත වශයෙනි. සන්ධිම යනු රෙදිවලින් හෝ සම්වලින් ඔතා උණ ලී කැබලිවලින් සාදා ගත් උපකරණයකි. ව්‍යාජිම නමින් හඳුන්වන ලද්දේ කුඩා යාන්ත්‍රික උපකරණයි. වේෂ්ටිත යනු රෙදිපිළියි. වාද්‍ය භාණ්ඩ වශයෙන් සප්ත තන්ත්‍රි වීණාව, අවනද්ධ භාණ්ඩ, ඝනය සහ ශුෂිරය යොදා ගත් බව පැහැදිලිය.

ජාතික ව්‍යසන, රාජ්‍ය පරිහානිය, නගර වැටලීම් හා යුද්ධ, විවාහ සහ ආගමික උත්සව යනාදිය ද, ස්නානය, ආහාර අනුභවය, විලවුන් ආලේපනය, චුම්භනය, ආලිංගනය, සපාකෑම, පහුරුගෑම ආදී ක්‍රියා ද, අසුභ නිමිති, මරණ ද ප්‍රේක්ෂකයින්ට නොපෙන්විය යුතු දේ වශයෙන් සලකන ලදී. එවැනි දේ ගැන ප්‍රේක්ෂකයා අව්‍ශ්‍යයෙන්ම දැනගත යුතු අවස්ථාවක් එළඹුනහොත් එය ආරංචියක් වශයෙන් දැන ගන්නට සැලැස්වීම "අර්ථෝපක්ෂේපය" මගින් කරන ලදී.

ගායනය හා වාදනය කලා වස්තුවට උචිත පරිදි යොදා ගත් අතර, මුළු කතා වස්තුවම පාහේ නිරූපණය කරන ලද්දේ අභිනය මගිනි. ඒ අභිනය ආංගික, වාචික, සාත්වික සහ ආහාර්ය වශයෙන් සිව් වැදෑරුම් වෙයි. ශෘංගාර රස නිෂ්පත්තියට සුදුසු අවස්ථාවල දී ගායනයට කාන්තාවෝ සහභාගි කර ගන්නා ලදී. කෙසේ වෙතත් හින්දු ආචාර්ය ධර්මවලට පටහැනි වූ කිසිවක් නාට්‍යයෙහි අන්තර්ගත නොකිරීමට ප්‍රවේශම් වූ බව ද සංස්කෘත නාට්‍ය සම්ප්‍රදායේ අත්‍යවශ්‍ය ලක්ෂණවලින් පැහැදිලි වේ.


සංස්කෘත භාෂාව ඇතුළුව භාෂා කිහිපයක් සංස්කෘත නාට්‍යයේ දී යොදාගත් බව පෙනේ. කතා නායක නායිකාවන්, රජුන්, බමුණන් සහ සමාජයේ ඉහළ පන්තියේ පුද්ගලයන් කතා කළ භාෂාව වූයේ සංස්කෘතය. ඊට පහත් තත්ත්වයේ ගැහැණු හා පිරිමි ප්‍රාකෘත භාෂාව කතා කළහ. ශෘංගාරත්වය වර්ණනාවන්හිදි උසස් තත්ත්වයේ ස්ත්‍රීන් මහා රාෂ්ටි භාෂාව කතා කළ අතර ළමයින් සහ උසස් ගණයේ සේවකයින් කතා කළේ ගෞරගේනි භාෂාවයි. රාජ සේවකයන්ගේ භාෂාව මාගධි වූ අතර හොරුන්ගේ සහ සූදුකාරයින්ගේ භාෂාව අවන්ති විය. අහිරි භාෂාව ගොපල්ලවයන් සඳහා ද යොදා ගන්නා ලදී. ඉතාමත් පහත් යැයි සම්මත වූවන්ගේ සහ මිලේච්ඡයින්ගේ භාෂාව වශයෙන් භාවිතා වූයේ අපභ්‍රංශ භාෂාවයි.

සෑම නාට්‍යයක්ම සුඛාන්ත වීමත්, උදාර ගුණ සම්පන්න නායකයා සියලු බාධක මැඬ ගනිමින් ජීවිතයේ සුබදායක පක්ෂය මතුකර ගන්නා බව ප්‍රදර්ශනය වීමත්, සංස්කෘත නාට්‍යයේ විශේෂ ලක්ෂණයයි. සියලුම පාත්‍රජනයා එක්ව ගයන ආශිර්වාදාත්මක භරත වාක්‍යයෙන් සංස්කෘත නාට්‍යය අවසන් වෙයි.

(c) Shilpa Sayura Foundation 2006-2017