රූපක
 

රූපක


සතර අභිනයෙන් නිරූපිත නාට්‍යය, රූපක හා උපරූපක කොටස් දෙකකට බෙදා දක්වා තිබේ. රූපක නමින් හැඳින්වෙන නාට්‍ය දශවිධි ක්‍රමයක් නාට්‍ය ශාස්ත්‍රයේ විග්‍රහ කර දන්වා තිබේ. උපරූපක වනාහි ගැටුමෙන් හා ගැයුමෙන් අනූන වූ නෘත්‍ය ගණයෙහිලා සැලකිය හැකි නාට්‍ය වර්ග රාශියක් හඳුන්වන පොදු නමකි. මේවාට ලිඛිත දෙබස් ඇතුළත් වූ බවක් පෙනෙන්නට නැත. බොහෝ විට අදහස් හා භාවයන් ප්‍රකාශ වූයේ ගීතයෙනි. ආංගිකාභිනය ඉදිරිපත් වූයේ රංගනයට වඩා නැටුමෙනි. මේවා අද නෘත්‍ය නාට්‍ය නමින් භාරතයේ හැඳින්වෙන නාට්‍ය ප්‍රභේදයට ඉතා සමීප වූ බව සිතිය හැකිය. මෙවැනි උපරූපක ප්‍රබේද 19 ක් පමණ නාට්‍ය විචාර ග්‍රන්ථවල සඳහන්ව ඇත. සංවාද හා රඟපෑම් මගින් ඉදිරිපත් කරන ලද ලිඛිත පිටපත් සහිත නාට්‍ය ප්‍රබේද "රූපක" යන පොදු නමින් හැඳින්වේ.



01. නාටක
02. ප්‍රකරණ
03. ඩීම
04. සමවකාර
05. ප්‍රහසන
06. භාණ
07. ව්‍යායෝග
08. ඊහාමෘග
09. වීථී
10. අංක


මේ එක් එක් නාට්‍ය ප්‍රභේදයන් තව එකකින් වෙනස් වනුයේ ප්‍රධාන වශයෙන් එය සමන්විත වී ඇති අංක සංඛ්‍යාව, නාට්‍ය වස්තුවේ ස්වභාවය, ප්‍රධාන චරිතයක් අයත්වන පාත්‍ර වර්ගය, ඉදිරිපත් කරනු ලබන ශෛලිය යන සාධක අනුවය.

නාටක


නාට්‍ය ශාස්ත්‍රයෙහි විග්‍රහ කර තිබෙන දශවිධ කාව්‍ය අතරින් "නාටක" නාට්‍යයක තිබිය යුතු සියලුම අංගයන්ගෙන් සමන්විතය. ප්‍රසිද්ධ වූත්, වැදගත් වූත් කතා ප්‍රවෘත්තියක් වස්තු විය යුතුය. නාට්‍යයකට වස්තු විය යුත්තේ රාම සීතා වැනි චිරාගත ඓතිහාසික කතා ප්‍රවෘත්තියක් බව සාහිත්‍ය දර්පණයෙහි සඳහන් වන අතර චිරාගත කතා පුවතක් හෝ කර්තෘ විසින් නිර්මාණය කරන ලද කතාවක් හෝ විය හැකියයි දෘශරූපයෙහි සඳහන් වෙයි.

නාට්‍යයෙහි කතා නායකයා, උදාර ගුණයෙන් යුතු රජකු, රාජ සෘෂිවරයෙකු, දෙවියෙකු හෝ මිනිස් රුවින් සිටින දෙවියෙකු හෝ විය හැකිය. නාට්‍යයේ මුඛ්‍ය රසය ශෘංගාර හෝ වීර රසයක් විය යුතුය. කතා වස්තුව සරල විය යුතු අතර එහි එන සිද්ධි එකිනෙකට සම්බන්ධ විය යුතුය. නාට්‍යයේ බස පහසු හා ප්‍රසාද ගුණයෙන් විය යුතුය. නාට්‍යයේ වස්තු විෂය අංකවලට බෙදා දැක්විය යුතු අතර අංක පහකට නොඅඩු විය යුතුය. සංස්කෘතයෙන් ලියා ඇති නාට්‍ය සියල්ලම මේ රීතිවලට අනුකූල වී නැත.

ප්‍රකරණ

බොහෝ කරුණු වලින් නාටකයට සමානය. මෙහි කතා වස්තුව, කවියාගේ කවි සංකල්පයෙන් සකස් කරගත් ලෞකික වස්තුවකි. කතා නායකයා, බ්‍රාහ්මණයෙකු හෝ ධනවත් වෙළෙන්ඳෙක් හෝ විය යුතු අතර කතා නායිකාව වෙසඟනක් හෝ නාටිකාවක් හෝ විය යුතුය. වීර රසයත් මුඛ්‍ය රසය වශයෙන් අංක 10 කින් යුක්තය.


ව්‍යායෝග


චිරාගත කතා ප්‍රවෘත්තියක් වස්තු කොට ගන්නා ව්‍යායෝගය ඒකාංග නාටකයකි. එහි කතා නායකයා දෙවියෙකු හෝ රාජඊෂිවරයෙකු වැනි වීරෝදාර අයෙකු විය යුතුය. කතාවේ නිරූපිත කාර්යය, එක් දිනකට සීමා විය යුතුය. ශෘංගාර, හාස්‍ය, හා ශාන්ත රසය මෙම නාට්‍යවල දී යොදා ගැනේ.

භාණ

භාණ නමින් හැඳින්වෙන නාට්‍ය විශේෂය ද ඒකාංග නාට්‍යයකි. කර්තෘ විසින් නිර්මාණය කරන ලද කතා පුවත් මෙම නාට්‍යයට විෂය වේ. නාට්‍යයෙහි රඟපාන්නේ එකම චරිතයකි. ඔහු තමන්ගේ හෝ අනුන්ගේ සිද්ධියක් සම්බන්ධ කතා පුවතක් නාට්‍යානුසාරයෙන් තනිව ඉදිරිපත් කරයි. ශෘංගාරය හා වීර රසය ප්‍රධාන වශයෙන් ඉදිරිපත් වේ.


සමවකාර


අංක තුනකින් සමන්විත වන සමවකාර නම් නාට්‍ය විශේෂය සුර - අසුරයන් සම්බන්ධ චිරාගත කතා ප්‍රවෘත්තියක් විෂය කර ගනී. මුඛ්‍ය රසය, වීර රසය, නගර වටලෑම, යුද කෝලහාල ආදිය මෙම නාට්‍ය මගින් නිරූපණය කරනු ලැබේ.


ඩිම

චිරාගත කතා පුවත් වස්තු කර ගන්නා මෙම නාට්‍යය, අංක හතරකින් යුක්තය. දෙවියන්, අසුරයන්, රාක්ෂයින්, යක්ෂයින්, පිසාචයින් නිරූපණය කරන මෙම නාට්‍යයේ මුඛ්‍ය රසය අද්භූත හෝ භයානක විය යුතුය. නායකයෝ 16 දෙනෙකි. මායා, ඉන්ද්‍රජාල, සංග්‍රාම, සූර්යග්‍රහණ හා චන්ද්‍රගහණ ඩි නාට්‍ය මහින් ඉදිරිපත් කළ හැකිය.


ප්‍රහසන


හාස්‍ය රසයට මුල්තැන දී රචිත මෙහි කතා වස්තුව ද නිර්මාණය කරන ලද්දක් විය යුතුයි. ඒකාංග නාට්‍යයකි. යතිවරයින්ට, බ්‍රාහ්මණයින්ට, ධනවත් වෙළෙන්ඳන්ට, රාජ කුමාරවරුන්ට හා සමාජයේ උසස් තැන්වල වැජඹෙන අයට මෙම නාට්‍ය මගින් උපහාසය එල්ල කරයි. නාට්‍ය ශාස්ත්‍රය කර්තෘගේ මතය අනුව ප්‍රහසන නාට්‍ය, ශුද්ධ හා සංකීර්ණ වශයෙන් කොටස් දෙකකි. යතිවරයන්, බමුණන් ආදීන් ඇතුළත් නාට්‍ය ශුද්ධ ඒවා ලෙසත්, වෙසඟනන්, දූතයන් හා සොරුන් ඇතුළත් ප්‍රහසන, සංකීර්ණ ප්‍රහසන ලෙසත් දක්වයි.


වීට්

හාණ නමින් හැඳින්වෙන නාට්‍ය විශේෂයට සමානය. මේ නාට්‍යයට ඇතුළත් වන්නේ එක් චරිතයක් පමණී. එක් අංකයකින් යුතු මෙම නාට්‍යයේ මුඛ්‍ය රසය හාස්‍යයි. හාස්‍ය උත්පාදක සංවාදවලින් සමන්විත ප්‍රේම කතාවක් මේ නාට්‍යයට වස්තුවයි.


අංක


මෙයද ඒකාංග නාට්‍යයකි. සාමාන්‍ය කතා පුවත් ආශ්‍රයෙන් කවියාගේ සංකල්පනා අනුව ගොතන ලද වස්තුවකි. කතා නායකයා සාමාන්‍ය කෙනෙකු වන අතර කරුණා රසය ප්‍රධාන වේ.


ඊ හා මෘග

මෙහි කතා වස්තුවේ කොටසක් ජනප්‍රිය කතාවකිනුත්, අනිත් කොටස කවියාගේ නිර්මාණයෙනුත් පිළියෙළ කොට ඉදිරිපත් කළ යුතුයි. කතා නායකයා වීරෝදාර චරිත ඇත්තෙකි. අංක හතරකින් යුතු මෙම නාට්‍යයේ මුඛ්‍ය රසය ශෘංගාරය හෝ හාස්‍ය විය යුතුය.

(c) Shilpa Sayura Foundation 2006-2017