සංස්කෘත නාට්‍ය පිටපත් රචනා කිරීමේ දී රසය වර්ධනය වන සිද්ධි පෙළ ගැස්වීම කළ යුතු පියවර 05 ක් සඳහන් කෙරේ. මෙය නාට්‍ය ක්‍රියා විකාශනය ලෙස ද හැඳින්වේ.
අවස්ථාඃ පඤ්ච කාර්යස්‍ය
ප්‍රාරබ්ධස්‍ය ඵලාරිතිහිඃ
ආරම්භ යන්න ප්‍රාප්ත්‍යාශා
නියතාප්ති ඵලාගමඃ
01. ආරම්භ
02. යත්න
03. ප්‍රාප්ත්‍යාශා
04. නියතාප්ති
05. ඵලාගම
යන ක්‍රියා විකාශනයේ අවස්ථා 5 බටහිර නාට්‍ය විචාරකයින් විසින් වර්ග 6 කට විග්‍රහ කර තිබේ.
01. Exposition - නාට්‍යයට උචිත ක්‍ෂේත්‍රය සකස් කිරීම.
02. Precipitaion of Confict - නාට්‍යයේ ගැටුමට මුල පිරීම.
03. Confict - නාට්‍යයේ ගැටුම නියම ලෙස ක්‍රියාත්මක වීම.
04. Climax - නාට්‍යයේ ඝට්ටනයේ උපරිම අවස්ථාව ඇති වේ.
05. Decoument - මෙතෙක් පැවති නාට්‍ය ගැටුම නිරාකරණය කිරීමේ අවස්ථාව.
06. Conclusion - මෙතෙක් පැවති ගැටලු නිරාකරණය වී නාට්‍යය අවසාන වේ.
ආරම්භ
ආරම්භය යනුවෙන් අදහස් කරන්නේ කතා වස්තුවේ විකාශනයේ ආරම්භයයි. මෙහිදී නාට්‍යයේ ක්‍රියා විකාශනයට අවශ්‍ය පසුබිම සකස් වේ. නාට්‍යයේ අවසාන ප්‍රතිඵලය කුමක්දැයි ප්‍රේක්ෂකයා තුළ මුල්වරට කුතුහලයක් ඇති වන්නේ මේ අවස්ථාවේදීය. සකුන්තලා නාට්‍යයේ දුෂ්‍යන්ත රජු මුව දඩයමේ ගොස් සිටින අතර අසපුවේ මුවන් මරන්නට එපා යයි "වෛඛාන්‍ය" ඉල්ලා සිටීමෙන් පසු රජු ඊට අවනත වී මුවා නොමරයි. පසුව වෛන්‍යා, කාන්ච කුලපතිතුමා හමුවීමට අසපුවට යන ලෙසත්, කලපතිතුමා එහි නැති නමුත් සකුන්තලා දුවට ආගන්තුක සත්කාර පවරා ඇති බවත් පවසයි.
ඉදිරියේ සිදුවන්නට යන කතාවේ ප්‍රාරම්භ අවස්ථාව මෙයින් නිරූපණය වේ.
රත්නාවලී නාට්‍යයේ නායක නායිකාවන් දෙදෙන එක් කිරීමට යෞගන්ධරායණ ඇමතියා තුළ ඇතිවන ආශාව ඒ නාට්‍යයේ ප්‍රාථමික අවස්ථාවයි.
යත්න
නාට්‍යයේ ක්‍රියාකාරිත්වය නියම වශයෙන් ආරම්භ වන්නේ දෙවන අවස්ථාවේදී ය. මේ අවස්ථාවේ දී නාට්‍යයේ ගැටුමට මුල පිරීම ඇතිවේ. මුල දී ඇති වූ ආරම්භය ඉදිරියට ගෙන යෑමට ගන්නා ප්‍රයත්නය, යන්න ලෙස හැඳින්වේ.
සකුන්තලා නාට්‍යයේ සකුන්තලා යළි හමුවීමට කිසියම් උපායක් යෙදීමට දූෂ්‍යන්ත රජතුමා දක්වන උනන්දුවත්, රත්නාවලී නාට්‍යයෙහි වත්ස රජුගේ රූපය ඇඳීමට සාගරිකා දක්වන උනන්දුවත් "යත්ත" අවස්ථාවයි.
ප්‍රාප්ත්‍යාශා
නාට්‍යයේ නියම ගැටුම ආරම්භ වන්නේ මේ අවස්ථාවේදී ය. මේ අවස්ථාව ඉතාමත් තියුණු ලෙස ඉදිරිපත් කිරීමට නාට්‍ය රචකයා අසමර්ථ වුවහොත්, එම නාට්‍යය අසාර්ථක වේ. ප්‍රේක්ෂකයා ඉතාමත් අවිනිශ්චිත තත්ත්වයකට පත් වන්නේ මේ අවස්ථාවේදී ය.
වරක් කතා නායක සිය අභිමතාර්ථය ඉෂ්ට කර ගැනීමට දරණ වෑයමත්, එයට ලැබෙන බාධකත්, නැවත එම බාධක මැඩගෙන ජය ලැබීමට දරණ දැඩි උත්සහායත් මේ අවස්ථාවේදී ඇතිවේ.
තුන්වන අංකයේ දී ආදරයෙන් පිරුණු රජුත්, සකුන්තලාත් එකට මුණ ගැසී සතුටින් එක්වන හැටිත්, ගාන්ධර්ව සිරිතට විවාහ වූ හැටියත් දක්වයි. නමුත් හතරවන අංකයේ දී දුර්වාසස් සෘෂිවරයාට නොසැලකීම නිසා ශාපයක් කරයි. මේ ශාපය නිසා දුෂ්‍යන්ත රජුට සකුන්තලා අමතක වේ. දරුගැබක් පිහිටීමෙන් පසු සකුන්තලා දුෂ්‍යන්ත රජු හමුවීමට යයි. පස්වන අංකයේ දී මේ ගැටුම දිගටම දිග්වේ. සකුන්තලා රජු හමුවීමට පැමිණ විවාහය ගැනත්, රජුර දාව දරුවෙකු සිටින බවත් මතක් කරයි. සෘෂිවරයාගේ ශාපය නිසා රජුට මේ සියල්ල අමතකය. රජුට අතීතය මතක් කිරීමට මුද්ද පෙන්වීමට සූදානම් වූ නමුත්ශවි තොටේ දිය පුදන විට මුදුව වැටී ඇති නිසා නැවත එම අවස්ථාව ඉතාමත් බැරෑරුම් තත්ත්වයකට වැටේ. රත්නාවලී දෙවන අංකයෙහි වත්ස රජතුමා, රත්නාවලී ස්වල්ප වේලාවකට හමුවන්නේ, වාසවදත්තා බිසවට අසුවෙතියි හටගත් බියෙනි. ඒ අවස්ථාව රත්නාවලී නාට්‍යයේ ප්‍රාප්ත්‍යාශා අවස්ථාවයි.
නියතාප්ති
තමන්ට ඇති වන දුෂ්කරතා වලින් මගහැරී කතාව එක් දිශාවකට ගමන් කරන්නේ මේ අවස්ථාවේදීය. මෙතෙක් ඇති වූ බාධාවන් ක්‍රමයෙන් ඉවත්වේ. නාට්‍යයේ කටයුතු සංසුන් අවස්ථාවට එළඹෙන ලකුණු පහළ වේ. ගැටලු ලෙහෙන අවස්ථාව ලෙස මෙය හැඳින්විය හැකිය. සකුන්තලා නාට්‍යයේ හයවන අංකයෙහි සකුන්තලාගේ නැති වූ මුදුව, මාළුකාරයෙකුට ලැබී එය රජුට හමුවීමෙන් පසු රජුට අතීත සිද්ධි සිහියට නැගෙයි. මුදුව ලැබීමෙන් පසු රජුට හා සකුන්තලාට අතීත සිද්ධි සිහි වී කතාව බේරුම් වන අවස්ථාවට පත්වේ.
ඵලාගම
"ඵලාගම" යන්නෙන් අදහස් කරන්නේ අරමුණ ඉටුවීමයි. සියල්ල සංසුන් තත්ත්වයට පත්වේ. ප්‍රධාන චරිතය සිය අරමුණ කරා ළංවීම නිසා මෙතෙක් පැවති චංචල ස්වභාවය අවසන් වේ.
සකුන්තලා නාට්‍යයේ හත්වන අංකයේ දී මේ අවස්ථාවට එළඹේ. ඉන්ද්‍රගෙන් ලැබුණු පණිවිඩය අනුව අසුරයන් හා යුද්ධයට ගිය රජු ආපසු එන අතරමඟ දී මාරිව සෘෂිවරයා දැකීමට හේමකූට පර්වතයෙහි පිහිටි අසපුවට යයි. එහිදී සිංහ පැටවුන් හා සෙල්ලම් කරන කුඩා දරුවා තමාට සමාන බව හඳුනා ගනියි. සකුන්තලා හා රජු මෙහිදී එක්වේ. සකුන්තලා හඳුනා ගැනීමට බැරි වූයේ රජුගේ වරදින් නොව දුර්වාස සෘෂිවරයාගේ ශාපය නිසා බව මාරිව සෘෂිවරයා දන්වා දෙදෙනාටම ආශිර්වාද කර රජු පිටත් කරයි. නාට්‍යය ආරම්භයේ ඇති වූ අරමුණු මෙහිදී ඉටු වේ.