නාට්‍ය වස්තුව
 

නාට්‍ය වස්තුව, අධිකාරික සහ ප්‍රාසාංගික වශයෙන් කොටස් දෙකකි.


අධිකාරිය වස්තු යනු ප්‍රධාන චරිතය වන නේනා හෙවත් කතා නායකයා සහ ඔහු හා කෙළින්ම සම්බන්ධ වන අනෙක් පාත්‍ර ජනයන් පිළිබඳ වූ පුවතයි. නායක, නායිකා දෙදෙනා හැර අන්‍යයන් හා සම්බන්ධ වෙමින් අධිකාරිය වස්තුවේ ක්‍රමික වර්ධනයට ඉවහල් වන අප්‍රධාන පුවත, ප්‍රාසංගික වස්තුව නම් වේ. ප්‍රාසංගික වස්තුව පතාකා සහ ප්‍රකරි යනුවෙන් කොටස් දෙකකි. අධිකාරික වස්තුව කෙරෙහි වන ප්‍රේක්ෂකයින්ගේ කුතුහලය තවදුරටත් වර්ධනය කිරීමට ඉවහල් වන සේ එයට ඇතිවන බාධක ඉවත් කරමින් එය ඉදිරියට ගෙන යන එසේ නැතහොත් එයට බාධා පමුණුවමින් එය විවිධාකාරයෙන් පෝෂණය කරන ප්‍රාසංගික වස්තුවේ පතාකා නම් වේ. එය සෑහෙන පමණ දිග කතා පුවතකි. ඇතැම් විට එය නාට්‍යයේ අවසානය දක්වා පවතියි.


ප්‍රකරි වස්තුව ද කතා පුවතක් ඇසුරෙන් සකස් වන්නක් නමුත් එය පතාකා පමණ දීර්ඝ නොවේ. වැදගත්කමින් ද ඊට වඩා අඩුය. ප්‍රධාන චරිත සමග සම්බන්ධකමක් නොදැක්වීම එහි විශේෂ ලක්ෂණයකි.


ඉහත සඳහන් පතාකා සහ ප්‍රකරි යන දෙකට අමතරව බීජ, බින්දු සහ කාර්ය යනුවෙන් වස්තු විකාශනය සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය අංග තුනක් ද වෙයි. බීජ යනු වස්තු බීජයයි. අපේක්ෂිත අවසාන ඵලය ලබා ගන්නා තුරු විවිධාකාරයෙන් වර්ධනය වීමේ ශක්තිය එය සතු විය යුතුය. ප්‍රස්තාවනාව අවසානයේ දී සූත්‍රධාර විසින් බීජය ඉදිරිපත් කරනු ලබයි. රත්නාවලී නාට්‍යයෙහි "සමුදුර පත්ලෙහි හෝ අන්තැනක හෝ සිටියත් ඉරණම රිසි දෑම සිදුවෙයි" කීමෙන් සූත්‍රධාර කරන්නේ බීජය ඉදිරිපත් කිරීමයි.


සකුන්තලාවේ "මුවෙකු ලුහුබැඳ යන මේ දුෂ්‍යන්ත රජු මෙන් මගේ සිත ඔබේ ගීතය පසුපස ඇදෙයි" කිමෙක් කරන්නේ ද එයයි, බීජය ඉදිරිපත් වන විට ප්‍රේක්ෂකයන් තුළ ඇති වන්නේ මේ ඉරණම අනුවම සිදුවන්නක් පිළිබඳ පුවතකි. මේ සිත කිසිවෙකු කෙරෙහි ඇදී යෑමක් පිළිබඳ පුවතකි යනාදි වශයෙන් එන කුතුහලයකි. බින්දු යනු ඒ බීජය කාර්යය හෙවත් කවියා (නාට්‍යකරුවා) අපේක්ෂිත රසය ඉස්මතු වන තුරු නොයෙක් බාධක ජය ගනිමින් ද, වස්තුවේ ඒකාබද්ධතාව තහවුරු කරමින් ද විවිධාකාරයෙන් වර්ධනය වීමේ අවස්ථාවයි.


කතාව අවසානය තෙක් ප්‍රේක්ෂකයාගේ අවධානයට යොමු කරමින් අඛණ්ඩව ඉදිරියට යන්නේ බින්දු මගිනි. මෙය නාට්‍යය පුරා පැතිර පවත්නා ක්‍රියාකාරි බලවේගයක් ලෙස දැක්විය හැකිය. සකුන්තලා නාට්‍යයේ දුෂ්‍යන්ත සහ සකුන්තලා ගාන්ධර්ව විවාහයෙන් සම්බන්ධ වේ. නමුත් දුර්වාසස් සෘෂිවරයා විසින් කරන ලද ශාපය නිසා රජුට සිය නුවරට ගිය පසු සකුන්තලා අමතක වේ. නැවත කරුණු මතක් කර ගැනීමට උපයෝගි කරගත හැකි පේරැස් මුදුව මගදී නැතිවේ. පසුව මාළුවෙකු විසින් ගිලින ලද මුදුව ලැබීමෙන් අතීතය සිහිවේ. රත්නාවලී නාට්‍යයෙන් මේ ගැන තවත් උදාහරණයක් විමසා බලමු. අනංග පූජෝත්සවයේ අනංගයා ලෙස සිතා සිටි තැනැත්තා තමන් විවෘත වීමට බලාපොරොත්තු වූ වත්ස රජු බව වටහා ගැනීමෙන් නාට්‍යයේ ක්‍රියාව යළි විකාශය වේ. මෙය නාට්‍යයේ බින්දු නම් අර්ථ ප්‍රකෘතියයි. නේ බින්දු නම් අර්ථ ප්‍රකෘතිය, නාට්‍යයක වැදගත්ම අවස්ථාවක් ලෙස සලකනු ලැබේ.


මූලික කතා වස්තුව අවසානයට පැමිණ වීමට යොදා ගන්නා උත්සාහය "කාර්ය" නමින් හැඳින්විය හැකිය. ආරම්භ, යත්න, ප්‍රාප්ත්‍යාශා, නියතාප්ති, පලාගම යන අවස්ථා මගින් නාට්‍යයේ ක්‍රියා විකාශය වන්නේ ඒ කාර්යය ඔදෙසාය. ප්‍රකරි හා පාතාක උපකාරි වන්නේ මෙම කාර්යය සාධනය සඳහාය.


ඉහතින් හඳුන්වා දුන් පතාකා කොටසට උදාහරණයක් ලෙස රත්නාවලි නාටිකාවේ, හා ස්වප්න වාසවදත්තා නාටකයෙහි යෞගන්ධරායණගේ මෙහෙවර නාට්‍යය අවසානය තෙක්ම පැවතීම දැක්විය හැකිය.


එසේම ප්‍රකරි යන අවස්ථාවට උදාහරණයක් වශයෙන් ප්‍රතියෞගන්ධරායණයේ 4 වැනි අංකයේ මුල එන ගාත්‍ර සේවක හෙවත් වාසවදත්තා කුමරියගේ ඇත්ගොව්වා පිළිවෙළින් ඇතින්නගේ හෙන්ඩුව, දම්වැල, ඝණ්ඨාව හා කසය ද අන්තිමේ දී ඇතින්න ද රා බීම සඳහා උකස් තැබූ බව හෙළි කෙරෙන දර්ශනය දැක්විය හැකිය. එම සංසිද්ධිය කතා නායක යෞගන්ධරායණගේ අභිමතාර්ථය ඉෂ්ට කර ගැනීමට වක්‍රාකාරයෙන් උදවු වන හෙයිනි.


බීජ, බින්දු, පතාකා, ප්‍රකරි, කාර්ය යන පහ නාට්‍ය ශාස්ත්‍රයෙහි දී හඳුන්වන්නේ "පංචිධ අර්ථ ප්‍රකෘති" නමිනි. සංස්කෘත නාට්‍යයක් නිර්මාණය කර ඇති ආකාරය අනුව එනම් කතා වස්තු තෝරාගෙන ඇති ආකාරය අනුව වර්ග තුනකි.


01. ප්‍රඛ්‍යාත වස්තු - චිරාගත ප්‍රසිද්ධ කතාවක් වස්තු කර ගැනීම.


02. උත්පාද්‍ය වස්තු - කර්තෘ විසින් නිර්මාණය කරන ලද කතා වස්තුවක් (ස්වතන්ත්‍ර).


03. මිශ්‍ර වස්තුව - චිරාගත ප්‍රසිද්ධ කතාවක් ඇසුරෙන් කර්තෘ විසින් නිර්මාණය කරන ලද කතා වස්තුවක්.


මෙම කතා වස්තූන් සඳහා අන්තර්ගත වන කරුණු.


01. සුච්‍ය
02. ශ්‍රව්‍ය දෘශ්‍ය
යනුවෙන් කොටස් දෙකකට බෙදේ.


සුච්‍ය කරුණු වශයෙන් වේදිකාව මත නිරූපණය කළ නොහැකි වන සමුද්‍ර ඇඟවිල්ලක් හෝ ආරංචි මාත්‍රයක් වශයෙන් හෝ ප්‍රක්ෂකයා දැනගත යුතු දෑ පිළිබඳ කරුණුයි.


දෘශ්‍ය ශ්‍රව්‍ය යනු වේදිකාව මත නිරූපණයෙන් හා පාත්‍ර ජනයාගේ සංවාද ආදියෙන් හෙළිවන කරුණු හෙවත් ප්‍රේක්ෂකයා දැකිය යුතු සහ ඇසිය යුතු දේවල්ය.


සුච්‍ය කරුණු හෙළි කිරීම සඳහා ක්‍රම 5 ක් තිබේ. එනම්,
01. විෂ්කම්භක
02. චූලිකා
03. අංකාස
04. අංකාවතාථ
05. ප්‍රවේශක (ප්‍රස්තාවනා) වශයෙනි.

(c) Shilpa Sayura Foundation 2006-2017