ලෝකයේ බිහි වී ඇති කලා සම්ප්‍රදායන් අතර ඉන්දියාව විශේෂ තැනක් ගනී. විශේෂයෙන් ඉන්දියාවේ සංස්කෘත නාට්‍ය කලාව පිළිබඳව නාට්‍ය විචාරකයින්ගේ හා නාට්‍ය විද්‍යාර්ථයින්ගේ අවධානය යොමු වී තිබේ. එසේ වන්නේ එම පැරණි සම්ප්‍රදාය තුළින් ඉගෙනගත හැකි බොහෝ දේ ඇති නිසාය.
සංස්කෘත නාට්‍යයේ ප්‍රභවය
සංස්කෘත නාට්‍ය කලාවේ ආරම්භය පිළිබඳ ස්ථීර වකවානුවක් වෙන්කර තීරණය කිරීම තවමත් විවාදයට ලක් වී පවතින්නකි. මෙහි ආරම්භය පිළිබඳ මැක්ඩොනල්, ඕල්ඩර්න් බර්ග්, කිත්, රිජ්වේ, ෂේකර් යන විචාරකයෝ විවිධ මත පළ කර තිබේ. සංස්කෘත නාට්‍යයේ ප්‍රභවයට හේතු වූ බීජය මුලින්ම දක්නට ලැබෙන්නේ ක්‍රි.ව. 140 දී පමණ රචිත පතංජලිගේ "මහාභාෂ්‍ය" නමැති ව්‍යාකරණ ග්‍රන්ථයෙහි වියරණ රීතියකට නිදසුන් වශයෙන් දැක්වෙන වැකියක සඳහන් "කංසවධ" (කංස නම් අසුරයා මැරීම) සහ "බලින්ධ" (බලි නම් අසුරයා බැඳීම) යන සිදුවීම් පිළිබඳ පුවත්වල යයි මැක්ඩොනල් පවසයි. ආචාර්ය කිත් පවසන්නේ යාග හෝමාදි පුද පූජා විධිවලට සම්බන්ධ වූ භක්තිය පළ කිරීමේ නැටුම් ක්‍රමය නෘත්‍ත, නෘත්‍ය යන අවස්ථා පසු කොට නාට්‍ය නම් අවස්ථාව දක්වා වර්ධනය වූ බවයි. සෘග්වේදයෙහි එන "සංවාද සුක්ත" පදනම් කරගෙන සංස්කෘතික නාට්‍ය බිහිවිණැයි යන ඕල්ඩන්බර්ගේ මතය අනුමත කරන මහාචාර්ය මරාටේ, නාට්‍යයට අදාළ වන චිත්තවේග, භාව හා චලන "සංවාද සුක්තවල" ගැබ්ව ඇති බව කියයි.
මළගිය ඥාතීන් වෙනුවෙන් පවත්වන ලද ගෞරවාන්විත පුද පූජා විධි ඇසුරෙන් සංස්කෘත නාට්‍යය බිහිවූ බව රිජ්වේ නම් පඬිවරයාගේ අදහසයි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් පුරාවස්තු අතර වූ නටන දෙවියෙකුගේ සහ නළඟනකගේ රූප කෙරෙහි සැලකිලිමත් වන ෂේකර් පවසන්නේ සංස්කෘත නාට්‍යයේ ප්‍රභවය, ඉන්දු නිම්න ශිෂ්ටාචාරය දක්වා ඈත අතීතයට දිවෙන බවයි. පිලේ නම් පඬිවරයාගේ අදහස වන්නේ රූකඩ නැටුම් සංස්කෘත නාට්‍යයේ ප්‍රභවයට හේතු වූ බවයි. මේ අතර බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයෙහි හාස්‍යමය වූ නාට්‍ය සංදර්ශන බිහි වූ බවට බෞද්ධ නිකාය ග්‍රන්ථවලින් සෑහෙන සාධක ඉදිරිපත් වන නිසා භාරතීය නාට්‍යයෙහි ප්‍රභවය යටත් පිරිසෙන් ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසට පෙර සමයක වූ බව පිළිගත යුතු යයිද කියනු ලැබේ.
භරත නාට්‍ය ශාස්ත්‍රය පොතෙහි සංස්කෘත නාට්‍යයේ ආරම්භය, දේව සංකල්පයක් ලෙස ඉදිරිපත් කොට ඇත. "ස්වර්ණමය වූ ලෝකෝත්තර වෛදික යුගයට අනතුරුව එළඹුණු ලෞකික යුගයේ සිය සිත්සතන් තුළ ඇති වූ ඊර්ෂයාව, ලෝභය, ක්‍රෝධය, භය ආදී විෂම සිතුවිලි නිසා මනුෂ්‍යයෝ දුකෙන්, සෝකයෙන් පෙළෙන්නෝ වූහ. ඔවුන් ගැන අනුකම්පා කළ දේව සමූහයා බ්‍රහ්ම දේවයන් බැහැදැක මනුෂ්‍යයන්ගේ දුක් දොම්නස් ආදිය තුරන් කර ඔවුන්ට ඒ දුකින් මිදීම සඳහා මානසික සුවයක් ලබාදීම පිණිස පස්වැනි වූ "නාට්‍ය වේදය" නිර්මාණය කරන ලෙස අයැද සිටියහ. මනුෂ්‍ය වර්ගයා කෙරෙහි පතළ කරුණාවෙන් දේව සමූහයාගේ ඉල්ලීම පිළිගත් බ්‍රහ්ම දේවයාණෝ "නාට්‍ය වේදය" නිර්මාණය කළහ. එහි අත්‍යවශ්‍ය අංගයක් වන පාඨය සෘග් වේදයෙන් ද, අනුකරණාත්මක නැටුම යජූර් වේදයෙන් ද ගීතය සාම වේදයෙන් ද රසය අථර්ව වේදයෙන් ද උපුටා ගන්නා ලදී. අනතුරුව විශ්ව කර්මයා ලවා, රඟහලක් රඟ දක්වන ලෙස භරත මුනිවරයාගෙන් ඉල්ලා සිටියහ. භරත මුනිවරයා දෙවියන්ගේ හා අප්සරාවන්ගේ සහාය ද ඇතිව එය රඟ දැක්වූයේය. ශිව දෙවියන් තණ්ඩව නැටුමෙන් ද, පාර්වතී දේවිය ලාසා නැටුමෙන් ද, විෂ්ණු දෙවියන් චතුර්විධ නාට්‍ය වෘත්තියෙන් ද එය විසිතුරු කොට පෝෂණය කළහ. මෙපරිද්දෙන් දෙව්ලොව පහළ වූ "නාට්‍ය වේදය" මනුලොව ගෙනවුත් ඉදිරිපත් කිරීමේ භාරදූර කාර්යය භරත මුනිවරයාට පැවරිණි"
බැලූ බැල්මට මෙම කතා පෙනෙන්නේ අත්භූත නිර්මාණයක් ලෙසය. එහෙත් මෙම නිර්මිතය තුළ ද වැදගත් කරුණු රාශියක් ගැබ් වී තිබේ.
දැනට අප අතට පත්ව ඇති පැරණි සංස්කෘත නාට්‍ය ග්‍රන්ථය වශයෙන් සැලකෙන ක්‍රිස්තු වර්ෂයෙන් පළමුවෙනි කාල පරිච්ඡේදය තුළ ජීවත් විණැයි සැලකෙන අශ්වඝෝෂයන්ගේ "ශාරි පුත්‍ර ප්‍රකරණයයි". එයට වස්තු වී ඇත්තේ ශාරිපුත්‍ර හා මෞද්ගල්‍යාන යන මිතුරන් දෙදෙනා බුදුරජාණන් වහන්සේ සරණයාම පිළිබඳ පුවතයි. අශ්වඝෝෂ හිමියන්ට අනතුරුව සංස්කෘත නාට්‍ය ඉතිහාසයේ දී අපට දක්නට ලැබෙන්නේ භාස, ශුද්‍රක, කාලිදාස, හර්ෂදේව, භවභූති, විශාඛදත්ත සහ භට්ටනාරායන යන කවීන්ගේ නිර්මාණයි. ඒවා අතරින් භාසගේ ශ්වප්න වාසවදත්තා, ශුද්‍රකගේ මෘවිජකටිකා, කාලිදාසගේ අභිඥාන ශාකුන්තල, හර්ෂදේවගේ රත්නාවලී සහ නාගානන්ද, භවභූතිගේ උත්තර රාම, රාම චරිත සහ විශාඛදත්තගේ රාක්ෂය. විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ ඒවා සංස්කෘත දෘශ්‍ය කාව්‍ය ඉතිහාසයේ විවිධ අවස්ථා මෙන්ම, දෘශ්‍ය කාව්‍යයේ විවිධ ලක්ෂණ ද පිළිබිඹු කොට දක්වන ජීවමාන සංකේත වශයෙන් විචාරකයන්ගේ විශේෂ ගෞරවාදරයට පාත්‍ර වී ඇති බවය.