නාට්‍ය කලාව හා වෙනත් කලාවන් - 2 කොටස
 

නවකතාවකින් අපට කියවීමට සලස්වනනේ බොහෝදුරට නාට්‍ය කතාවකින් හෙළිදරව් වන සිද්ධියට සමාන තත්ත්වයක් නොවේදැයි කෙනෙකුට තර්ක කළ හැකිය. අත්දැකීමක් හෝ කල්පිතයක් මත ගොඩනඟා ගත් තේමාව මනා ආකෘතියකට යොදා ඉදිරිපත් කිරීමෙන් එය කියවෙන්නා තුළ චමත්කාරය ඇති කිරීමේ හාස්කමක් සාහිත්‍ය කලාවේද නැත්තේ නොවේ. එහෙත් මෙම සෑම මාධ්‍යයක්ම නාට්‍යකලාවෙන් වෙනස්ය.

 
නාට්‍ය කියවා රස විඳීමට ඇති කලාවක් නොවේ. නැරඹීමෙන් රස විඳිය යුතු මාධ්‍යයකි. නවකතාකරුවා කතාවක් කීමත්, නාට්‍යකරුවා කතාව නිරූපණය කර පෙන්වීමත් සිදුවෙයි. සිදුවූ ආකාරය දෙනෙතින් පසක් කර ගැනීමෙනි. සත්‍ය හෝ කල්පිත සිද්ධියක් ප්‍රේක්ෂකයා ඉදිරියේ දිස්වන්නේ එය මේ දැන් සිදුවන්නාක් මෙනි. නළු නිළියෝ වෙස්වළාගෙන අවුත් අවස්ථාවට උචිත අභිනය පාමින් කතා පුවත හෝ සිද්ධිය සජීවිකරණය කරති. නාට්‍යකරුවාගේ අනුභූතිය සැබෑවක් විය නොහැකි වුවද ප්‍රේක්ෂකයා සැබෑ අනුභූතියකට මුහුණ දෙන්නේ පාත්‍ර වර්ගයාගේ "සමාරෝපය" ද ඊට අනුකූල වන බැවිණි.

 

සිංහබාහු නාට්‍යයේ සිංහයෙකු කතා කරයි. සිංහයෙකු වචන කතා නොකරන අපි බව දනිමු. එහෙත් නාට්‍ය රංගන කරන විට එම මොහොතේ මවන සිංහබාහුගේ චරිතය සමඟ ප්‍රේක්ෂකයා සබැඳියාවක් ඇති කර ගනී. සිද්ධිය සිදු වූ ආකාරය පෙන්වීම, අනුවේදනීය අත්දැකීමක් බවට පත්වීම ඊට මූලික හේතුවයි.


නවකතාවක් රස විඳින්නා, රචකයාට පෙනෙන ලෙස දෘෂ්‍යමානව නොසිටී. ඔහු අදෘශ්‍යමාන වේ. ඔවුන්ගේ ප්‍රතිචාර කෙසේ ද යන්න දැනගැනීම දුෂ්කර කාර්යයකි. නමුත් නාට්‍යයක් ඉදිරිපිට ප්‍රේක්ෂකයින් සමූහයක් ඇත. ඔවුන් ග්‍රහණයට ගැනීම, නළු නිළියන්ට ඇති අභියෝගයකි. එහි සාර්ථකත්වය තුළින් ප්‍රේක්ෂක ප්‍රතිචාර සමඟ නාට්‍යය ජීවය ලබයි. ඔවුහුද නාට්‍යයෙහි කොටසක් වෙති. ඔවුන්ගේ වින්දනය සජීවිය. නාට්‍යය ඔවුන් සමග ඉපදී රැදී පවතී. ගීතයක්, ශ්‍රව්‍ය පටයක් තුළත්, චිත්‍රය කැන්වසයක් තුළත් සැඟවිය හැකිය. එහෙත් නාට්‍යයක් රංග භූමිය තුළ ප්‍රේක්ෂකයා ඉදිරියේ ජීවය ලබන තුරු සැඟවී සිටින තැනක් නැත. නාට්‍ය පිටපතෙහි එහි ඡායාවක් සැේවී තිබේ. 

 

කතා කලාව වැඩෙන්නේ භාෂාව නමැති මාධ්‍යය ඔස්සේය. ගීතය නාද මාලාව පදනම් කර ගනී. චිත්‍රය වර්ණ සංකේත කර ගනී. මූර්තිය හැඩතල හා රිද්මයන් මාධ්‍ය කර ගනී. මේ බොහෝ ලක්ෂණ නාට්‍යයක් තුළ ඇතත් නාට්‍යය නළුවාගේ මානසික ක්‍රියාකාරි බව නොහොත් අභිනයන්, ප්‍රේක්ෂකයාගේ මානසික ප්‍රතිචාරයත් මාධ්‍යය කරගෙන බිහිවන කලාවකි. කවියා භාෂාවේ රසවත් පදවැල් තුළින් ගුත්තිල මූසිල වීණා වාදනය වර්ණනා කරයි. ගද්‍ය භාෂාව යොදා ගන්නා ගත්කරුවා සංවාද හා කතා ශෛලිය මගින් එම සිද්ධි විවිධ උපමා උපමේයන්ගෙන් අප මනසේ මැවීමට සමත් වේ. නාට්‍ය කරුවා කතා පුවත නාට්‍යයකට උචිත ලෙස ගළපා ගුත්තිල-මූසිල අප ඉදිරියට ගෙන එයි. සජීවිව මැවෙනා වීණා වාදනය මගින් අපට ලැබිය හැකි වින්දනය කෙතරම් ගැඹුරුද? නවකතාවක් කතාවක් වුවද නාට්‍ය පිටපත නාට්‍යයක් වන්නේ නැත. නාට්‍ය පෙළහි අන්තර්ගතය තුළ ඇති ගැටුම් අවස්ථා මනාව පෙළ ගැස්සීම තුළින් නාට්‍ය ගුණය මතු වේ. රංගනය තුළින් නැටුම සඟඩනැගී නිරාකරණය කරා යොමු වීම එහිදී සිදුවේ.

 

"ගැටුමක් නැති තැන නාට්‍යයක් නැත" යනුවෙන් ප්‍රකාශ වීමට තරම් කතා පුවතේ ඇති එවැනි සන්ධිය අවස්ථා නාට්‍යයට ප්‍රාණය ලබාදෙයි. අභිනය හා රංගනය පමණක් නොව රංග භූමි ශිල්පයෙහි මීට පෙර ඔබ ඉගෙන ගත් ආලෝකකරණය, රංග භාණ්ඩ, රංග භූමි අලංකාරය, රංග වස්ත්‍රාභරණ, අංග රචනය, සංගීතය ආදී අංශවලින් ද සිදුවන්නේ සිදුවීම් සිදු වූ ආකාරය ගැඹුරින් නිරූපණය කිරීමයි.

නාට්‍ය, ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කිරීමට මෙපමණ රංග උපක්‍රම යොදා ගන්නේ එය සජීවි ලෙස කර පෙන්විය  යුත්තක් නිසාය. එහෙයින් නවකතා හෝ වෙනත් කතා කලාවන්ගේත්, නාට්‍යයෙහිත් ඇති මූලික වෙනස්කම් නාට්‍ය හා රසිකයා අතර සප්‍රාණි, සෘජු සම්බන්ධතාවයක් ඇති වීම බව මෙයින් පැහැදිලි වේ.

 

ගම්පෙරළියේ කයිසාරුවත්තේ මුහන්දිරම්ගේ චරිතය වචනවලින් මවන මාර්ටින් වික්‍රමසිංහ මහතා එම චරිතය ක්‍රියා කරන හැටි, කතාබහ, හැසිරීම, චරිත ලක්ෂණ, චරිත හා බාහිර සම්බන්ධතා සියල්ල විස්තර කළත් ප්‍රේක්ෂක මනසට ඒ චරිතයේ ජීවය සම්පූර්ණයෙන් ඇතුළත් නොවේ. නාට්‍යකරුවා එවැනි චරිතයක් මවා පෙන්විය යුත්තේ සීමිත නිරූපණ කිහිපයක් මගිනි. එය වඩා ප්‍රේක්ෂක ග්‍රහණයට ආසන්න විය යුත්තකි. සීමිත රංග භූමි රාමුවක් තුළ කිරීමට ඇති එම කාර්යය නාට්‍යකරුවාට ඇති ඉමහත් අභියෝගයයි. 

 

නරඹන්නා ඉදිරිපිට සජීවිව රංගනය කෙරෙන නර්තනය, නාට්‍යයට බොහෝ ආසන්න බව කෙනෙකුට තර්ක කළ හැක. මන්ද නර්තනයද පිරිසක් ඉදිරිපිට ඉදිරිපත් කෙරෙන බැවිණි. එහෙත් නරඹන්නා ඉදිරිපිට කෙරෙන රංගනයේ දී නාට්‍ය තුළ ඇති කතා වස්තුව, අභිනය, සමාරෝපය යන කරුණු ගෙන විමසන කල එකම මූලයකින් පැන නැගෙතත් නර්තනය හා නාට්‍ය අතර වෙනසක් ඇත.

නූතන ප්‍රබල කලා මාධ්‍යයක් වන සිනමාව හා ටෙලි නාට්‍යවලින් ද රංග භූමි නාට්‍ය කොතරම් වෙනස් වෙන්නේ ද යන්න ඔබට පැහැදිලි යයි සිතමි. එම කලා මාධ්‍ය දෙකම වඩා දෘෂ්ටි ගෝචර වූ තාක්ෂණගත කරන ලද රංගනයන්ය. එහිදී කතා පුවත පිළිබඳ ප්‍රාතිහාර්යයන් දක්වන විට විවිධ දෘෂ්ටි ප්‍රයෝග ආදියෙන් කළ නිර්මාණයක් එළි දකියි. නරඹන්නන් පිරිසක් ඉදිරියේ ප්‍රදර්ශනය වෙතත්, නරඹන්නන් නොමැති වුවද එම කෘත්‍රිම දර්ශන පටිය ක්‍රියාත්මක වේ. එහෙයින් සිනමා කලාවට වඩා නාට්‍ය කලාව සජීවි බවින් යුක්ත වන්නක් බව කිව යුතුය.


සිනමාවේ රංගනය, කතාවක් ප්‍රාණයෙන් යුක්තව ගලා යාමෙන් ගොඩ නැඟුණක් නොව කොටස් වශයෙන් දර්ශනය ගෙන එකට ගැට ගැසූවකි. එයින් විහිදෙන නිරූපණ ගුණයන් ඇතිවේද? එහෙත් නාට්‍යයක රඟපාන නළුවන්ගෙන් නාට්‍යය බිහිවන්නේ ඒ රංග අවස්ථාවේදීමය.


එහි අභීත පෑම, සංවාද ආදිය ප්‍රේක්ෂකයා ඉදිරියේම ගොඩ නැගෙන්නකි. සිනමාකරු කැමරාව ගෙන අවට සැරිසරමින් කරන නිර්මාණයක් සිනමාව. ඔහුට ලෝකය අළලා චිත්‍රපටයක් නිර්මාණය කිරීමට කැමරාවත් සමඟ ලෝකය වට යා යුතුවේ. එහෙත් නාට්‍යකරුවාට මුළු ලෝකයම, නිරූපණ මාර්ගයෙන් තම කුඩා රංග භූමියට ගෙන්වා ගැනීමට තරම් නාට්‍යකලාව ප්‍රබල මාර්ග වලින් පෝෂණය වී ඇත. අනිකුත් කලාවන් අතරින් නාට්‍යකලාව ප්‍රබල වීමටත්, වෙන් වීමටත් ප්‍රධාන ලෙස බලපාන හේතු පිළිබඳ මූලික අවබෝධයක් ලැබෙන්නට ඇතැයි සිතමි.

(c) Shilpa Sayura Foundation 2006-2017