පැරණි සුඛාන්ත අභාවයට යමින්, නව සුඛාන්ත නාට්‍ය සංකල්පය මතු වෙන්නට විය. මෙම නව සුඛාන්ත, පැරණි සුඛාන්තවලට වඩා වෙනස් ස්වරූපයක් දරන ලදී. නව සුඛාන්තයේ කතා වින්‍යාසය සකස් කර ගන්නා ලද්දේ සාමාන්‍ය ගෘහස්ථ ජීවිතයේ සිදුවන සිද්ධීන් මුල් කරගෙනයි. එහි එන මනඃකල්පිත චරිත, පුද්ගලයෙකුට වඩා පන්ති හෝ වර්ග නියෝජනය කළ වුන්ය. හිතුවක්කාර පුතෙකු, නපුරු පියෙකු, මසුරෙකු, සෙබළෙකු, අරක්කැමියෙකු, දාසයෙකු, අභිසරුලියක වැනි චරිත නව සුඛාන්ත සුලභව දක්නට ලැබේ. රෝමයේ ජනප්‍රිය වූ නව සුඛාන්ත නාට්‍ය බොහෝමයක් "මිනැන්ඩර්" නම් නාට්‍යකරුවාගේ කෘතින්ගේ පරිවර්ථනයන්ය. සංවාද භාෂාව සරල වුවද ඒ සඳහා විරිත් යොදා ගන්නා ලදී. සුපුරුදු තේමාව වූයේ ප්‍රේමයයි. බොහෝ විට පෙම් යුවළක් බාධකයන් මැඩගෙන අවසානයේ ජය ලබයි. බොහෝ විට නාට්‍යය අවසන් වූයේ මංගල්‍යයකිනි. ප්ලෝටස් (ක්‍රි.පූ. 254-184) හා ටෙරන්ස් (ක්‍රි.පූ. 190-159) රෝමානු නව සුඛාන්ත රචකයින් අතර ප්‍රමුඛයෝ වූහ.
බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය (වීර ආඛ්‍යාන හෙවත් එපික් නාට්‍ය)
මෙය විසිවන සියවසේ ඇති වූ සුවිශේෂ නාට්‍ය කලාවකි. බ්‍රෙෂ්ටි විසින් විසින් ඔහුගේ මෙම නාට්‍ය වර්ගය මුලින්ම හඳුන්වන ලද්දේ වීර අඛ්‍යානය යන අර්ථය ඇති "එපික්" යන නමින්ය. "එපික්" යන නම ග්‍රීක සාහිත්‍යයේ එක් සාහිත්‍යය වර්ගයක් නම් කිරීම සඳහා එකල ග්‍රීසියේ භාවිතා කරන ලදී. "එපික්" යන ග්‍රීක සාහිත්‍ය වර්ගයේ ජීවිතයේ සිද්ධීන් ආඛ්‍යානය වුවත්, කථනය වුවත් ඒවා අනුකරණය කර දැක්වීම පිණිස ලියන ලද සාහිත්‍යයක් නොවීය.
ශෝකාන්තවල මෙන් එක පුද්ගලයෙකු කේන්ද්‍ර කොටගෙන වීරයෙකු කරගෙන ලිවීමට වඩා එපික් සාහිත්‍යය වෑයම් කළේ සිද්ධීන් හා සම්බන්ධ පුදගලයින් රාශියකගේ අන්‍යෝන්‍ය සම්බන්ධතා තුළින් මතුවන මහා පරිමාණයේ මානව ප්‍රවෘත්තියක් කීමටයි. බ්‍රෙෂ්ට්ගේ වචන වලින්ම කිවහොත් පුද්ගලයින් පමණක් නොව ඔවුනට පසුබිම් වූ ඉතිහාසය ද සම්පූර්ණ පරිසරය ද එපික් ග්‍රන්ථයක රාමුවට ඇතුළත් වේ. හෝමර් කවියාගේ ඉලියඩ් සහ ඔඩිඩි වැනි වීර ආඛ්‍යාන මෙයට කදිම නිදසුනක් වේ. වත්මන් නාට්‍ය සඳහා මේ එපික් හෙවත් වීර ආඛ්‍යාන ක්‍රමය වඩා සුදුසු යැයි බ්‍රෙෂ්ට් විශ්වාස කළේය. ඔහු බිහි කළ නාට්‍ය වර්ගය මෙම එපික් නාට්‍ය ක්‍රමය බවට පත් කිරීමට දරන ලද ප්‍රයත්නයක් යැයි ඔහු පැවසීය.
"ඇරිස්ටෝටල්වාදී නොවූ" යනුවෙන් බ්‍රෙෂ්ට් සිය නාට්‍ය හැඳින්වූයේ ශෝකාන්ත හා සුඛාන්ත වැනි සම්ප්‍රදායික නාට්‍යවල මෙන් අනුකරණය මගින්ම සිද්ධීන් නිරූපණය කිරීමක්ම සිය නාට්‍ය මගින් සිදු නොවන බැවිණි. යුරෝපීය සාම්ප්‍රදායික නාට්‍යවල පුද්ගලයෙකු කේන්ද්‍රිය වීමෙන් ප්‍රධාන චරිතයක් වටා නාට්‍යයේ සිද්ධීන් ගෙතී තිබීමෙන් ප්‍රේක්ෂකයාගේ ප්‍රතිචාරය එම චරිතයට පමණක් සීමා වේයැයි ඔහු ඇදහුවේය. සැබෑ ජීවිතය පුද්ගල කේන්ද්‍රීය නොවේ. එවන් පුද්ගල චරිතයක් හා බැඳීම මෝහනය වීමකි. මෙය ප්‍රේක්ෂකයා මුලා කිරීමක් යැයි බ්‍රෙෂ්ට් සඳහන් කළේය. ඇරිස්ටෝටල් විසින් නාට්‍ය පිළිබඳ කරන ලද නිර්වචනයෙන් යුරෝපීය නාට්‍ය සම්ප්‍රදායට පදනම් වූ බවත්, 19 වැනි සියවසේ මුදුන්පත් වූ ස්වභාව වාදයත්, ඇරිස්ටෝටලියානු වාදයේ ප්‍රතිඵලයක් ලෙසත් බ්‍රෙෂ්ට් දුටුවේය. සාම්ප්‍රදායික නාට්‍යකරුවා කළේ රංගපිඨයේ මායාවක් මැවීමයි. රංගපීඨයේ සිදුවන සියලු සිද්ධීන් සැබෑ චරිත වශයෙන් ද, එහි එන චරිතවලට මුහුණපාන්න සිදුවන සියලු අවස්ථා තමන්ට සිදුවන දෑ යැයි සිතීමටද ප්‍රේක්ෂකයා පුරුදු කර තිබිණ. ප්‍රේක්ෂකයා මේ මාදිලියේ නාට්‍ය නැරඹීමේ දී ඇතිවන ප්‍රතිචාර බ්‍රෙෂ්ට් හැඳින්වූයේ "ස්වාත්මිකාරය" යන නමිනි.
බ්‍රෙෂ්ට් අනුව සිදුවිය යුත්තේ මෙය නොවේ. ඊට ඉඳුරාම වෙනස් දෙයකි. ප්‍රේක්ෂකයා රංගපීඨයේ සිදුවන සිද්ධීන්ගෙන් ද, දකින චරිතවලින් ද දුරස් වී ඉවත් වී ඒවා පිළිබඳ මෙනෙහි කිරීමට, සිතීමට පුරුදු කළ යුතුය. වත්මන් නාට්‍යකරුවාගේ කාර්යය විය යුත්තේ මෙයයි. බ්‍රෙෂ්ට් මේ ප්‍රේක්ෂක ප්‍රතිචාරය "පරාත්මිකාරය" දුරස්ථකරණය, තදාත්ම විඝටනය යන නම්වලින් හඳුන්වයි.