අනින්නාට ඇනීම
 

එදා මහ සභායෙහි සිට උමතුව මෙන් දිවූ අලිරාළ හාමි කීප දිනක්‌ ම ගෙදරින් බැහැර නොගොස්‌ සිටියේ ය. හිවල් හාමි පමණක්‌ සුව දුක්‌ විචාරන්නට වෙයි. සුව දුක්‌ විචාරා කාරණයක්‌ මතක්‌ කෙටෙයි. එ නම් අර ගුරු පඬුරු ය.
" අනේ රාළ හාමි, මට ලැබිය යුතු යමක්‌ නම් මා මෙය මතක්‌ කරන්නේ වත් නෑ. මතක්‌ කිරීම තබා මේ දිසාවට මා එන්නේ වත් නැ.

මගේ ගුරු තුමා ගෙන් මට ගැලවිල්ලෙක්‌ නැ. මා රාළ හාමි දකින්නට එන්නේ හොඳට වැඩි වුණොත් දවසට එක සැර යයි. එහෙත් අපේ ගුරුතුමා මේ නිසාම අපේ ගෙදර ට එන්නේ, ඉතාම අඩු වුණොත් දවසට හත් සැරයයි. ඉතින් බලන්න. රාළ හාමි කෙසේ ඉවසා ගෙන ඉන්නට ද කියා.

ගුරුතුමා අපේ ගෙදරට ඇවිත් නිකම්ම යනවා ද, රාළ හාමි ? ඒ වෙලාවට තිබුණු දෙයක්‌ කනවා. තිබුණු දෙයක්‌ බොනවා. මට හොදටම අවලාද කියනවා. මගේ හාමිනේටත් නඩුව කියනවා. එසේ කියා යන ගමනේ අසුවුණ දෙයක්‌ ඇරගෙන යනවා.

මඳක්‌ තැන් ගොස්‌ හැරී බලා " නොකීවාය කියන්නට එපා. මගේ හොද හොදටයි. නරකට මා වාගේ නරක එකකු සොයා ගන්නටත් බැහැ. ඒ නිසා මේ ගනු දෙනුව ඉක්‌මනට බේරා දමන්නට හොඳයි" යනු කියා රවා ගොරවා යනවා." එ නිකමට නොවෙයි, රාළ හාමි අපේ ගුරුතුමා අලි කොඩි විණ කාරයා.

මගේ මුළු පවුල ම විනාශ වෙන්නට කොඩි විනයක්‌ කරන්නට ඔහුට බැරි නෑ. එසේ කළත් කමෙක්‌ නෑ. මට තිබෙන්නේ එක බයයි. එය මතක්‌ වන විට මා වෙවුලනවා. මගේ පපුව නිකම් ම ගැහෙනවා`."

" එ කවර බයෙක්‌ ද හිවල් හාමි "
" අනේ, මට එය රාළ හාමිට කියන්නටත් බයයි."
" නැ, නැ, හිවල් හාමි කියන්න. මා එය දැන ගන්නට ඕනෑ."
" අනේ කුමකට ද ? රාළ හාමි ?"
" එය දැනගන්නට ම ඕනෑ, හිවල් හාමි."
" මේ ගනුදෙනුව ඉක්‌මනට නො බේරුවහොත් මගේ පවුලත් වනසා, රාළ හාමිටත් අන්තරායක්‌ කරන්නට බැරි නොවේ."
" මට කුමක්‌ කරන්න ද, හිවල් හාමි ?"
" මේ වර රාළ හාමි ගේ නාසයේ කබල්ලෑවකු යවන්නට ගුරුකමක්‌ කළොත් ?"
රාළ හාමිට හීන් ඩා දිය දමන්නට පටන් ගත්තේ ය. දැන් ම කබල්ලෑවා නාසයට වැදුණු ලෙසෙක්‌ දැනුණේය.

රාළ හාමි පළමු කොට හොඬ හැකි තරම් දික්‌ කොට තදින් පිම්ඹේ ය. ඉක්‌බිති එය හකුළා ගත්තේ ය. වටබ පිට කීප වරක්‌ ම බැලීය. විනාඩි කිහිපයකට පසු මෙසේ කීයේ ය.
" හිවල් හාමි හෙට එළි වන්නට පළමුව මා ගොස්‌ එළු පැටවුන් දෙන්නා කෙසේ නමුත් ගෙනෙනවා. දවල් නොවැ මට යන්නට බැරි ? මා යනවා රෑ. එළි වන්නට පැයකට දෙකකට පළමු."
" මාත් එන්නට ද, රාළ හාමි. එක එළු පැටවකු දක්‌කා ගෙන එන්නට ?"
" හා, හොදා "
හිවල් හාමි අලි රාළ හාමිට ආචාර කොට ඉතා සතුටු සිතින් ගෙදර යන්නට නික්‌මුණේ ය.

" හෙට නම් ළා එළු මස්‌ කනවා කනවා මයි, එළු පැටවුන් දෙදෙනා ම ගෙදර ගෙන යන්නේ නෑ. ගෙන ගියොත් එක දවසටත් මදි වෙයි. එකෙකු කැලයේ සඟවා, එකකු ගෙන යනවා. ඌ හෙට කා පසු දවසේ අනෙකා කනවා" මේ ගෙදර යන හිවල් හාමිට පහළ වූ සිතිවිලි ය.

ඔහු ගේ කට ද තෙත් විය. තමා ගේ රහස එළි වූ බව කොටි රාළ හාමිට ඉදිබු හාමි ගෙන් දැනගන්නට ලැබුණේ ද එදා මය. පැන් නොබීම කොටි රාළ හාමි ගොවි
ගෙදර දිසාවට ගියේ ය. කැලය අයිනේ සිට එබී බැලු නමුත් කිසිවෙක්‌ පෙනෙන්නට නොසිටියෝ ය. කොටි රාළ හාමි කිහිප වරක්‌ ම ගෙට යන්නය ගොස්‌ හැරී ආයේ ය. එ බදු ගමනක්‌ මින් පෙර හේ නොගියේ ය.

එහෙයින් යන්නට සැක ය. බලු වරින් වර නැගී අවුත් රාළ හාමිට ම සැර පාන්නා සේ බුරා යයි. කොටි රාළ හාමිට බලු හාමි එතරම් කාරණයෙක්‌ නොවේ. බලු හාමිගේ හඩට ගෙදර මිනිසුන් අවදි වුව හොත් කරදර පැමිණිය හැකිය. එයයි සෑකයට කාරණය. ධ හෙයින් කොටි රාළ හාමි රැයින් වැඩි කාලය එ මේ අත යමින් පසු කෙළේ ය.

කොටි රාළ හාමි ගේ පිපාසාව අන්තිම සීමාවට ගියේ ය. බඩ ගින්න ද අන්තිම සීමාවට ගියේ ය. නො ඉවැසිල්ල ඉනුත් ඔබ්බට ගියේ ය. දැන් සැක සිත සිතා ලැගෙන වෙලාවෙක නොවේ. එදා රෑ පළමු වන කුකුළා ගේ තටු කවර හොතේ " සට පට " ගා දැයි කිය නොහැකි ය.

එ හෙයින් කොටි රාළ හාමි පස්‌සට නොතබමි යන ස්‌ථීර අධිෂ්ඨානයෙන් පය පෙරට තිබීය. දැන් කොටි රාළ හාමි ගේ පා හතර ම පෙරට යෙයි. පෙරට ම යෙයි. වැට ඉදිරියට පැමිණියේ ය. කොටි රාළ හාමි ගේ හතර පයට ඒත් කාරියෙක්‌ ද ? දැන් ඒ හතර පය වැට ද පසු කොට බඹ ගනණක්‌ ම එ පිටය.

බලු හාමිගේ වගක්‌ වත් දැන් නැත. තුබුණ ද ගනණකට නොගන්නට සිතා ගත් කොටි රාළ හාමි ගේ සතර පය බලු හාමිවරුන් දහසක්‌ දැකද පස්‌සට නො යෙයි.
කොටි රාළ හාමිගේ සතර පය දැන් ගොවි ගෙදර මිදුලේ ය. දැන් ගෙයි ඉදිරි පිලේ ය. දැන් එහි දකුණු පැත්තට යෙයි.

පිලේ එ කොනෙහි තුබූ ඇඳෙහි දෙන්නෙක්‌ නිඳති. කොටි රාළ හාමි ගේ තියුණු ඇස එක්‌ වරම ඔවුන් ඇදින්නේ ය. කොටි රාළ හාමිගේ කට ඇයුනේ ය. සතර පය කඳ ඈඳ උඩට නඟන්නට සැරසුණා පමනකි. ඟිසට හොද කල්පනාවක්‌ පැමිණියේ ය.
" මෙ තැන දීම මුන් මරා කෑම නොහොබී. මුන් කළ චපල කමට වචනයක්‌ දෙකක්‌ කියා මගේ තරම හඟවා මුන් මරා කමි.
හතුරා වුවත් හොරෙන් මැරීම මහ නිවට කමෙකි. මම මුන් ඇඳ පිටින් ම උස්‌සා ගෙන කැකයට යෙමි. "

මේ කල්පනාව හිසට නැගෙනවාත් සමඟම කොටි රාළ හාමි ඇඳ යටට ඇදුණේ ය. හිස ඇඳට දුන්නේ ය. ඇඳ අහසින් යන්නට මෙන් සෙමෙන් සෙමෙන් නැඟෙන්නට විය. කොටි රාළ හාමි දෙ අතින් ඇඳේ දෙපැත්ත අල්ලා ගෙන එය නිසල කොට දෙ පයින් යන්නට වන.

වාසනාවකට මෙන් ඒ වර කොටි රාළ හාමිට හමුවූයේ වැටේ ඉඳි කඩුල්ල තුබුණ තැනය. රාළ හාමි සෙමෙන් ඇඳ බිම තිබී ය. සෙමෙන් කඩුල්ලේ පොලු ඇද දැමී ය. සෙමෙන් ඇඳ යළිත් හිසට දින, සෙමෙන් ම දෙපය නැගීය. දැන් ඇද වන මැද්දෙහි කොටි හිස පිටින් ගමන් කරයි.

අතු අඟක්‌ ඇගෙහි වැදීමෙන් බාල ළමයා අවදි විය. කවර පුදුමයෙක්‌ ද ? ඇද යෙයි. මහත් කොට හඩ නගන්නට පෙරැ ළමයා සිතා බැලීය. ඇඳ දෙ පස කොටි අත් දෙක ඔහුට පෙනෙයි. නිදන අයියා ඔහුට පෙනෙයි. කාරණය ඔහුට දැන් පැහැදිලිය.

එ හෙයින් නිහඩව, ළං වූ ගසෙක එල්ලෙමින් අයියාට පයින් සන් කොට ගස මුදුණට ඇදුණේ ය. ඉතිරි ළමයා ද පිබිද කාරණය හොද හැටි තේරුම් ගත්තේ ය. මල් බෑයා කළ සැටි හේ නොදනී. එහෙත් පණ බේරා ගැනීමට කැමැති කාට වුණත් එ වෙලෙහි කළ යුතු සේ පෙනෙනුයේ එක ය.

එ නම් කුඩා ළමයා කළ සේ ගසකට නැගීමය. එ හෙයින් ලොකු ළමයා ද අතු අගක්‌ අල්ලා ගෙන ගසකට නැගුණේ ය. කොටි රාළ හාමි ගේ පිපාසයේ අඩුවෙක්‌ නැත. බඩ සයේ අඩුවෙක්‌ නැත. කෝපයේ අඩුවෙක්‌ නැත. එ හෙයින් ඇඳ උඩ බරේ අඩුව
ඔහුට නොදැනේ.

නැගෙන සූර්යයා වන සතුන් බඳින්නට මෙන් දුවවන රැස්‌ රැහැන් අතු අස්‌සෙන් කොළ අස්‌සෙන් යනු ද පෙනේ. එ වනයේ මැද එළිමහනෙකි. ඉදිරියට පැමිණියේ. කොටි රාළ හාමි ඇඳ බිම හෙළා ගොරවා ගෙන එය උඩට පැන්නේ ය.

අහෝ අභාග්‍යයකි! කොහි ද ළමයි ? තමා ඇඳ පිටට ගන්නා විට ළමයින් ඇඳෙහි ම හොත් බවට කොටි රාළ හාමි ට මඳ වුව ද සැකයෙක්‌ නැති. එහෙත් දැන් ?
සිදු වීයේ කිමෙක්‌දැ යි සිතා ගැනීම කොටි රාළ හාමිට අමාරු නොවේ. එ හෙයින් හේ ගස්‌ උඩ බලමින් ආ පාරේ ම සෙමෙන් සෙමෙන් යන්නට වන්නේය.

මද තැනක්‌ යන විට අලි රාළ හාමි දක්‌නට ලැබිණ. හේ හිවල් හාමිට යම් කිසිවක්‌ කියමින් සිටියේ ය. කොටි රාළ හාමි ට එක්‌ වර ම හැරී දිවෙන්නට සිත් විය. එහෙත් එයට ඉඩ නොලැබුණේ ය. " අර කොටි රාළ හාමි " යයි හිවල් හාමි හඬ නගා කීය.

කොටි රාළ හාමි ඉතා නොකැමැත්තෙන් ම ඉදිරියට අවුත් අලි රාළ හාමි ට ආචාර කොට සිටියේ ය. බසක්‌ කියන්නෙක්‌ එහි නැත. කොටි රාළ හාමි කෝපයෙන් පිපිරෙයි. ංලි රාළ හාමි ලජ්ජා යෙන් හැකිලෙයි. හිවල් හමි නො ඉවසිල්ලෙන් කරකැවෙයි.
කර කැවෙමින් වට පිට බලන හිවල් හාමිට ගසක්‌ උඩ හුන් ළමයෙක්‌ පෙණින. ඒ කවරෙක්‌ ද ? යි කියමින් හිවල් හාමි ඔහු දැක්‌වීය.

ළමයා දුටු කොටි රාළ හාමි අලි රාළ හාමිත් මතක නැති කොට, තමා ද මතක නැති කොට, ගොරවා ගෙන ගසට පැන්නේ ය. මහත් භයට පැමිණි ළමයා, " කටුස්‌සා, කටුස්‌සා, කටුස්‌සා " යි කියමින් මහ හඬ නැඟීය.

කොටි රාළ හාමිට සිහිය ආයේ ය. එ හෙයින් හේ මහත් ආදරයක්‌ දක්‌වමින් " අනේ මගේ හොද පුතා, ටිකක්‌ අල්ලා ගන්න. " යි කියමින් ගසින් බිමට පැන කිසිත් නොබලා දිවීය. අලි රාළ හාමි ට මුළු ලොව මතක නැති විය. හේ එක්‌ වරම දුවන්නට මහත් වේගයෙන් හැරුණේ ය.

එක්‌ පැත්තෙකින් ගසකට පිට දී උන් හිවල් හාමි ට අලි රාළ හාමි ගේ ඳළ ලැබුණේ එවිට ය. එක්‌ දළෙක හිවල් හාමි ඇමුණුණේ ය. අලි රාළ හාමි එ වගක්‌ නොදැන
කැලය පොඩි කෙරෙමින් දිවී ය. දළෙහි හිවල් හාමි ඇමිණී උන් බව පෙණුනේ අලි රාළ හාමි ගෙදරට අවුත් හති අරින විට ය.

බඳ පලා ගෙන ගිය දළේ හි හුන් හිවල් හාමි අන්තිම බැල්ම අලි රාළ හාමි ට හෙළා " අනේ, රාළ හාමි, අරඑ ළු පැටවුන් දෙන්නා අපේ හාමිනේට දෙන්නැ " යි කී ය.

කුමාරතුංග මුණිදාසයන්ගේ "හීන්සැරය" නම් ළමා කෘතිය ඇසුරෙනි.

(c) Shilpa Sayura Foundation 2006-2017