කොටි රාළ හාමි පස්‌ස වත් නො බලා දිව ගොස් ගම අද්දර ගසකට නැගී අතීතය බලන්නට පටන් ගත්තේ ය. ඔහු ගේ ඇසි පිය ගැසීම පවා දැන් අමාරුය. කීප වරක් ම කනේ කැසිල්ල ඇති වූ නමුත් කනට අත ඔසවන්නට සිතු තරමින් ම වේදනාව දැනේ. කිසිලි අස්‌සේ රතු වු තැන් කිහිපයකි.
" අනේ, අනේ, අනේ කලියුගයේ හැටි! ඇසත් කටුසු හාමි කෑවා! කනත් කටුසු හාමි කෑවා! කිසිල්ලත් කටුසු හාමි කෑවා. එහෙම වුණත් මම කොටි රාළ හාමි! එ නිකම් ම කටුසු හාමි! මගේ සුවඳ දැනුණු කළ මහ ගෝන්නු, තඩි ගෝන්නු, තියුණු අං ඇති මුවෝ අසලෙක වත් නො සිට පැන දුවති. .. නිවට කටුසු හාමිට බියෙන් කැලය බිඳ ගෙන දිව ගෙන ආයෙමි.
" ඉතින් මා කෙසේ ගෙදර යන්නට ද ? හාමිනේ ට කුමක් කියන්නට ද ? ගොදුරක් සොයා ගන්නට වත් කෙසේ එළියට එන්න ද ? ඉතින් මා ඉන්නේ කුමකට ද ?´" මෙසේ කියන කොටි රාළ හාමි ට නිකම් ම ඇඬුණේ ය. ඔහුගේ දෑසින් කඳුළු කඩා හැලෙන්නට විය. කට හොදට ම පළල් වී නාසයෙන් සොටු ද ගලන්නට විය.
මේ අස්‌සේ ගස මුදුනෙන් මහ හිනාවක් ඇසී කොටි රාළ හාමි ට උඩ බැලුණේ ය. ළමයි දෙන්නෙක් ගස මුදුනේ භයින් මිරිකී හිඳිති. භයත් මතක නැතිව උන් සිනා සුණේ කොටි රාළ හාමි ගේ හැඬීමට ය. කොටි රාළ හාමි හැඩීම වහා නැවැත්වී ය. ඉක්‌බිති යස සිතිවිල්ලෙන් උපන්නේ ය. එ නම් කටුසු හාමි ගෙන් පළිගන්නා සිතිවිල්ල ය.
තමනට වූ අවුල ළමයින් ට දැනෙන්නට ඇත්දෝහො යි සිතීමෙන් වූ ලජ්ජාව නො පෙන්නා කොටි රාළ හාමි දොඩන්නට වූයේය.
" ඔබ මෙහි කුමක් කරනවා ද ?"
වැඩි මහලු ළමයා බියෙන් බියෙන් දෙඩුවේ ය. " නිකම් ඉන්නවා."
" මා අදුනනවා ද ?"
" අදුනනවා."
" අඳුනනවා නම් මා කියනදේ කරනවා ? නැත්නම් දෙන්නා ම අල්ලා ගෙන කනවා."
" අනේ කියන දෙයක් කරනවා අප මරන්න එපා."
" කටුසු හාමි අඳුනනවා ද ?"
" අඳුනනවා"
" ඌ මරා දමන්න පුළුවන් ද ?"
" පුළුවනි, පුළුවනි. ධක ගල් පාරින් මරා දමන්නට පුළුවනි."
" එහෙනම් මරා දමනවා ද ?"
" ඔව්, ඔව්, මරා දමනවා."
" මා අඩ අඩා දැන් කී දේ ඇසුණා ද ?"
" ඔව් "
රළ හාමි ගොරවන්න වූයේ ය.
" නෑ, නැ, ඇසුණේ නෑ." යි ළමයි දෙදෙනා ම කී හ.
" එහෙනම් ඇසුණා ය කීවේ."
" ඒ නකම් කියැවුණා "
" හොදයි, ඇසුණත් කාට වත් කියන්නට නම් එපා. කීවොත් දෙන්නට ම යන කළ දන්නවා නො වැ ?"
”" අනේ ඇහුණෙත් නෑ, කාටවත් කියන්නෙත් නෑ."
" හොඳා අසුවුණ හැටියේ ම කටුසු හාමි මරා දමන්නට ඕනෑ."
" හොඳම යි "
කොටි රාළ හාමි ගසින් බැස ගියේ ය.
ඔහු බොහෝ ඈත ගිය පසු ළමයි දෙදෙන ගසින් බැස ගෙදර දිවූවෝ ය. කොටි රාළ හාමි ගේ තර්ජනය ඔවුන්ට ගෙදර දී නො මතක විය.
" අම්මේ කාරණයක් දන්නවා ද?"
" කවර කාරනයක් ද, පුතා "
" කොටියා කටුස්‌සාට භය නොවැ"
" බොරු කියන්නට එපා "
" අම්මේ නිකම් ඉන්න. කොටියා ම කීවා"
" කුමක් කීවා ද ?"
" කොටියා ගේ ඇසත් කටුස්‌සා කෑවා ය. කනත් කටුස්‌සා කෑවා ය. කිහිල්ලත් කටුස්‌සා කා$වා ය කිවා. කියා හොඳටම ඇඬුවා."
" කොහි ද ? "
" අපි දෙන්නා ගසක් උඩ උන්නා. කොටියා ගසට නැගී ඉඳ ගෙන එසේ කියා ඇඬුවා "
" ඔබ බයවුණේ නැද්ද ?"
" හොදටම බයවුණා, කටුස්‌සා මරණවා කියා යන්තම් බේරී ආවා "
අම්මා හොදටම සිනාසුණා ය.ළමයින් ගේ පියා ද කථාව අසා සිනා සුණේ ය. කුස්‌සි අම්මා සිනා සිසී ගොස් ගොන් හාමිට කීය.
ගොන් හාමිට එදා පිදුරු එපා විය. සිනායෙන් ම දවස ගෙවුණේ ය. බලු හාමි ගොන් හාමිගෙන් කථාව අසා සිනාව නවතා ගන්නට බැරිව කහින්නට පටන් ගත්තේ ය. කැහැ කැහැ ගොස් බළල් හාමිට කථාව කීයේ ය. බළල් හාමි, එ කථාව විස්‌වාස කොකෙළේ ය.
" කොටි රාළ හාමි කටුසු හාමිට බයයි ? නෑ නෑ මට විශ්වාස කරන්නට බැහැ. කටුසු හාමි කවරෙක් ද ? කොටි රාළ හාමි කවරෙක් ද ?
කොටි රාළ හාමි සිටිය දෙන්, කටුසු හාමි අපට කොපමණ බය ද ? මතක නැද්ද අපෙ හාමිනේ අර එකකු අල්ලා ගෙන කෑ හැටි ? කාලා කාස රෝගය හැදී කෙට්‌ටු වුණ සැටි ? කෙට්‌ටු කෙනෙකුන් දුටුවා ම කටුස්‌සන් කාපු බැළලි වාගේ ය., කියන්නට පටන් ගත් සැටි. ඉතින් එබදු නිවට කටුසු හාමිට කොටි රාළ හාමි බය වේ ද ?"
බලු හාමි කථාව සම්පූර්ණ සත්‍යයක් බව තදින් ම කියා සිටියේ ය. එය අසන්නට ලැබුණු සැටි කීය. බළල් හාමි පුදුමයට පැමිණියේ ය.
" කොටි රාළ හාමි බොහෝ ම නපුරු යි. කළ ගුණ දන්නේ නෑ. එ ගතිය නිසා මෙ වැනි විපත්තියක් වුණා දැ යි මා දන්නේ නෑ. එහෙත් විශ්වාස කරන්නට ඉතා ම අමාරු යි."
" ඇයි කොටි හාමි කළ ගුණ දන්නේ නැත කියන්නේ ?"
" ඔහුට ගස් යන හැටි ඉගැන්නුවේ අපේ පියා. නගින්නට ඉගැන්නුවා විනා බහින්නට ඉගැන්නුයේ නැත කියා ඔහු අපේ ඔහු අපේ පියා මරා ගලක් උඩ තබා, කොළ ගොඩෙකින් වැසුවා. ඉතින් බලන්න කො තරම් දරුණෙක් ද කියා."
ගසෙක සිට මොවුන් ගේ කථාව අසා සිටි ලේ හාමි " ටිං ටිං " ගාමින් සිනා සිසී ගස් දෙසීය පනහක මුදුනින් පැන ගෙන ගොස් කැලේ මැද විල ළඟ ගසෙක නැවැති සිනා සිසී පෙරැලෙන්නට විය. විලේ සිටි ඉඳිඹු හාමි මෙය දැක " ලේන හාමිට පිස්‌සු ද ?" යි ඇසීය. ලේන හාමි සියලු කථාව ඉඳිබු හාමිට කීයේ ය. ඉඳිබු හාමි දියේ දි ම සිනා සී, මොල අස්‌සේ දිය ගොස්, මහත් අමාරුවට පැමිණියේ ය.
එදා ඉඳිබු හාමි ට නින්දක් නැත. කොටි රාළ හාමි වෙන කොහි නොගියත් රෑ විල ළඟට එන බව හේ දනී. එහෙයින් බලා සිටියේ ය. ඉඳිබු හාමිනේ සමඟ කථාව කියා සිනා සිසී සිටියේ ය. මහ රෑ මේ එන්නේ කොටි රාළ හාමි. ඉඳිබු හාමි කථාව නවත්වා ඉදිරියට අවුත් ආචාර කෙළේය.
" ආයුබෝවන්, රාළ හාමි " " ආයුබෝවන් ඉඳිබු හාමි "
" රාළ හාමි, මහ අවුලක් වුණා ය කියන්නේ ?"
කොටි රාළ හාමි ගැස්‌සී සිටියේ යැ. ඒ බව සඟවන්නට මහ සිනාවක් සී " කවර අවුලෙක් ද ?" යි ඇසීය.
" රාළ හාමි කටුසු හාමිට බයේ දිවුවා ය කියන්නේ ?"
" කටසු හාමිට බයේ ?" කවරෙක් ද එය කීයේ ?"
" ලේන හාමි කීවා "
" ඔහුට කීවේ "
" ඒ නම් මහ දිග කථාවක්.
රාළ හාමි. ලේන හාමි, බලු හාමිත් බළල් හාමිත් දොඩවනවා අසා ගෙන සිටියා. බලු හාමිට කීයේ ගොන් හාමි, කුස්‌සියේ අම්මා ගොන් හාමිට කීවා. ගොවි ගෙදර හාමිනේ හොවි හාමිට කියනවා කුස්‌සියේ අම්මාට ඇසුණා. ගෙදර ළමයින් දෙන්නා ගොනි හාමිනේ ට කථාව කීව."
කොටි රාළ හාමි කෝපයෙන් පුපුරන්නට විය. මේ ප්‍රවෘත්තිය පැතුරුණු සැටි ඔහුට හොඳ සැටි තේරුණේය. හේ බසක් නොකියා, පැනුත් නොබී ම, හැරුණේ ය.
