උරුම ලද්දෝ (පස්වන කොටස)
 

කුමාරි : සෙනෙවි කුමාරයා වීථී සංචාරය කරනවා වෙන්නැති..?


සේවිකා :
පබට විහිළු. ඒත් ඔබ දන්නවා ද යුද්ධයෙන් අයිති කර ගත්ත වටිනා තඹ හැළි වල රන් රිදී මුතු මැණික් පුරවලා ලු. ඒ වස්තුවෙන් මේ දේශයට තව අවුරුදු තුන්හාරසීයක්වත් දුකක් නැතිව ජීවත් වෙන්න පුලුවන් ලු.


කුමාරි : එහෙනම් විශාල ජයග්‍රහණයක් ලබලා. ඉතින් වෙන...?  වෙන මොනවා ද..?


සේවිකා : (තරහෙන්) කුමාරිට ඕන තොරතුරු දැනගන්න නෙමේ අපිට විහිළු කරන්න. මුතු මැණික් වලට ආසා නැති ගැනියෙක් හැබෑ ගෑහැනියෙක් වෙන්න බැහැ.


කුමාරි : හිතන්නකෝ මං හැබෑ ගෑනියෙක් නෙමේ කියලා. ඕව ගැන වැඩක් නෑ කතා කරලා. අපි නිහඬ වෙමු.

සේවිකා : (මඳක් සිනාසී) කුමාරිට තරහ ඇවිත්...මං විහිළු කලේ නෑ. නෑ ඔය බොරු තරහක්. දැන් සෙනෙවි කුමාරයා මෙහාට එනවනේ. අපිත් එක්ක මොන කතා ද...?

සෙනෙවි : (හඬ නගා සතුටින්) කුමාරි, එහෙනම් කුමාරි මං එනකන් මඟ බලාගෙන හිටියා ද..?


සේවිකා : (කලබලයෙන්) කුමාරි සෙනෙවි කුමාරයා ඇවිත්. අපි දන්නෙම නෑ ළඟට එනකන්.


කුමාරි : (තමාට) මොනවා කියන්නද මටම තේරෙන්නේ නැහැ.


සෙනෙවි : (සතුටින්) කුමාරි, ඇයි කල්පනා කරන්නේ? මහා යුද්ධයකින් ඔබේ පියාට කීර්තියත් ධනයත් බලයත් මං අරන් දුන්නා. ඒත් ඔබ මං දිහා බලාගෙන ඉන්නේ දරුණු අපරාධකාරයෙක් දිහා බලාගෙන ඉන්නවා වගේ?


කුමාරි : යුද්ධයෙන් ලබාගත්ත දේ ගැන මං එක්ක කතා කරන්න එපා.


සෙනෙවි : (ආඩම්බරයෙන්) අපි දෙන්නට දැන් සැපෙන් ජීවත් වෙන්න පුලුවන්. අපි දෙන්න ට විතරක් නෙමේ, අපේ දරුවන්ට මුණුපුරන්ට මී මුණුපුරන්ට.

 

කුමාරි : අනුන්ගේ සැප සම්පත්වලින් ද අපි සැප විඳින්නේ...?

සෙනෙවි : නෑ ඒ අපේ සම්පත්. කවුරු වෙනුවෙන් ද මං යුද්ධ කළේ.

කුමාරි : කවුරු වෙනුවෙන් ද...?

සෙනෙවි : ඔබ වෙනුවෙන්

කුමාරි : මගේ පියා මාව රටින් පිටුවහල් කරන්න තීරණය කරලා.

සෙනෙවි : ඇයි ඒ..?

කුමාරි : යුද්ධයට අකමැති නිසා නමුත් ඔබ කියනවා මං නිසා යුද්ධ කළා ලු.


සෙනෙවි : පියාණන් එහෙම කරයි කියලා මං හිතන්නේ නෑ.


කුමාරි : මගේ පියාණන් කිව්ව වචනය වෙනස් නොකරන පාලකයෙක් විදිහට ප්‍රස්දධයි. මං හිතන්නෙ නෑ ඔහු මං වෙනුවෙන් හරි, ගත්ත තීරණය වෙනස් කරයි කියලා...


සෙනෙවි : එහෙම වුණොත් මං ඒ ගැන පියාණන්ට කතා කරන්නම්.


කුමාරි : මම කාගෙවත් අනුකම්පාව බලාපොරොත්තු වෙන්නෙ නැහැ සෙනෙවි.


සෙනෙවි : කුමාරි දුර දිග බලලා, හිතලා වැඩ කරන්න, පුරුදු වෙන්න.


කුමාරි : ඔබ කතා කරන්නේ දර්ශනවාදියෙක් වගේ, නමුත් හරි දැකීම මොකද්ද කියලා ඔබට ම තේරෙන්නේ නෑ.


සෙනෙවි : ඔබ කනගාටු වෙන්නේ යුද්ධය නිසා මිනිස්සු මැරෙනවට ද?

කුමාරි : ඔව්


සෙනෙවි : මරණය කොහොම හරි සිදුවිය යුත්තක්. ඔබේ පියාගේ බලපෑමට යි මම පෙරමුණට ගියේ.


කුමාරි : ඔබ ඇයි කාගෙවත් දාදුකැටයක් වුණේ.


සෙනෙවි : ඔබට ගැටෙන්න ඕන පියතුමා එක්ක ද...? මං එක්ක ද..?

කුමාරි : කා එක්කවත් ගැටෙන්න මට වුවමනාවක් නෑ


සෙනෙවි : ඔව්, අපි ඔය සේරම අමතක කරලා දාමු. දැන් අපිට පුළුවන් සතුටෙන් ජීවත් වෙන්න. පියතුමා කිව්වා අපේ විවාහය ඉක්මනින් කරන්න ඕනෑ ලූ.


කුමාරි : පියතුමා මොකද්ද කිව්වේ...?

සෙනෙවි : (සතුටෙන්) අපේ විවාහය....


කුමාරි : (ශෝකයෙන්) නෑ සෙනෙවි කවදාවත් අපි අතර විවාහයක් වෙන්නේ නැහැ.


සෙනෙවි : (පුදුමයෙන්) කුමාරි...?

කුමාරි : (තීරණාත්මක) ඔව්. මම ඔබට කැමති නැහැ. කාගෙවත් දාදු කැටයක් වෙලා කාටවත් ඕනෑ විදිහට නැමෙන රූකඩ චරිතයකට මං කැමති නැහැ.


සෙනෙවි : (අහංකාරයෙන්) මම මගේ දේශයට කීර්තිය ධනය බලය ගෙනාවා, ගෞරවය ගෙනාවා.


කුමාරි : (ප්‍රතික්ෂේප කරමින්) මට ඒ කිසි දෙයක් අගේ නැහැ.


සෙනෙවි : (සැක සහිතව) පියාණන්ගේ වචනයට විරුද්ධව වෙන්න ඔබට බැහැ...?


කුමාරි : පියාණන් කියන හැමදේට ම එකඟ වෙන්න මට බැහැ.


පියා : (ඈත සිට කලබලයෙන්) සේවිකා සෙනෙවි කුමාරයා ආවා ද මෙහාට...?


සෙනෙවි : ඔව් උතුමාණෙනි, කුමාරිත් එක්ක කතා කර කර ඉන්නවා.


පියා : සෙනෙවි සෙනෙවි.


සෙනෙවි : අන්න කුමාරි පියාණන් එනවා මේ පැත්තට. ඔබේ පියාට සතුට දරා ගන්න බැරි තරම්. දන්නවා ද ඔය එන්නේ මොනවට ද කියලා...?

කුමාරි : නෑ ආවාම කියාවිනෙ

සෙනෙවි : අපේ විවාහය ගැන කතා කරන්න.

පියා : (කලබලයෙන්) සෙනෙවි. පුරාවිද්‍යාඥයෝ කණ්ඩායමක් අර තඹ හැලි විවෘත කළා.

සෙනෙවි : (උද්වේගයෙන්) හුඟක් රන් රිදී මුතු මැණික්...?

පියා : (බාධා කරමින්, ශෝකයෙන්) නෑ මොකුත්ම නෑ. දිරලා දිරලා දූවිලි වුණ ධාන්‍ය වගයක් විතරයි ඒවා ඇතුළේ තිබුණේ.

 

(c) Shilpa Sayura Foundation 2006-2017