කුමාරි : (තමාට) පියාණන් එන්නේ බොහොම සතුටෙන් වගේ ඒත්...?
පියා : දියණිය, මොකද මේ නුවමනා කලබල ඇති කරනවා කියන්නේ?
කුමාරි : නැහැ පියාණෙනි.
පියා : නැහැ නෙමේ. සාම,ය ගැන කතා කරන්න කුමාරිට වුවමනාවක් නැහැ. සාමය ගැන කතා කරන හැම කෙනෙක් ගැනම මං සැක කරනවා.
කුමාරි : මොනවට ද සැක කරන්නේ..?
පියා : ඒකට සාම කතා ඕන නැහැ. යුද්ධ කරනකොට යුද්ධය. කොහොම වුණත් කට පරෙස්සම් කර ගන්න එක හොඳයි. මට හුඟක් පැමිණිලි ඇවිත් තියෙනවා කුමාරි ගැන.
කුමාරි : පැමිණිලි ඇවිත්?
පියා : ඔව් චෝදනා....මගේ දේශයේ හැම පුරවැසියෙක් ම කැමති යි අපි යුද්ධය ජය ගන්නවට. නමුත් උඹ කැමති නැහැ.
කුමාරි : පියතුමා මොනවා ද මේ කියන්නේ...?
පියා : මම නුඹේ හිත කියනවා.
කුමාරි : මම අකමැති ජයග්‍රහණයට නෙමේ යුද්ධයට.
පියා : යුද්ධයෙන් තොර ජයග්‍රහණයක් නෑ. මෝඩ කෙල්ල නුඹේ ජීවිතය සැපවත් කරන්න ඕන හැමදේම මම කරනවා. නුඹට බැරි ද අනිත් මිනිස්සුන්ගෙ හිත් දූෂණය නොකර ඉන්න...?
කුමාරි : මං එහෙම දෙයක් කරල නැහැ.
පියා : නුඹ මගේ දුව වුණත් මේ රාජ්‍ය සීමාව තුළදී අනිත් රටවැසියන් පිළිගන්න නීති රීති පිළිගන්න නුඹ බැදී ඉන්නවා.
කුමාරි : මම ඒවාට විරුද්ධ වෙලා නැහැ.
පියා : නුඹ දැඩි හිතක් තියෙන ගැහැනියක්. ඕනෑම ගැහැනියක් කැමතියි තමන් විවාහ ගිවිසගෙන ඉන්න පුද්ගලයා ශ්‍රේෂ්ඨ රණකාමියෙක් වෙනවා දකින්න. නමුත් නුඹ කැමති නෑ. නුඹට ඕන ගිහි ජීවිතෙන් ඈත් වෙන්නද...?
කුමාරි : නෑ මම පැවිදි වෙන්න කොහොමටවත් කැමති නැහැ.
පියා : (කේන්තියෙන්) එහෙම නම් නුඹේ මේ සිතුම් පැතුම්වල තේරුම මොකද්ද?
කුමාරි : මම යුද්ධයට කැමති නැ. සෙනෙවි කුමාරයා යුද්ධ කරනවට මම කැමති නැහැ.
පියා : (ගැඹුරින්) හැම තරුණයෙක්ම දේශය සතු වස්තුවක්. දේශය හැම තරුණයෙක් ම සතු වස්තුවක්. ඒ නිසා දේශය රැක ගන්න හැම කෙනාම පෙරමුණට යන්න ඕන.
කුමාරි : කාගෙන්ද මේ දේශය රැකගන්නේ..?
පියා : (තරහෙන්) මට සිද්ධ වෙනවා නුඹ ව පිටුවහල් කරන්න. මේ දේශයේ ඉන්න බැරි නම් නුඹ කැමති ඕනෑම තැනකට යන්න පුළුවන්. අපි යුද්ධයෙන් ජයග්‍රහණය ලබලා ඉවරයි.
සේවිකා : (බියෙන් සෙමින්) කුමාරි අයියෝ කුමාරි තවත් එක වචනයක් කතා කරන්න එපා දෙවියන්ගෙ නාමෙට. පියාණන්ට හොඳටම කේන්ති ඇවිත් අන්න යනවා.
කුමාරි : පියාණෙනි...
සේවිකා : යන්න අරින්න. පියාණන්ට යන්න අරින්න. ඇති යන්තන්. මම හිතුවා මහා විපතක් වෙයි කියලා...
කුමාරි : මොකද් ද විපත..? පියාණන් මාව පිටුවහල් කරාවි එච්චරයි....
සේවිකා : ඒක හොඳ දෙයක් ද...?
කුමාරි : ආත්ම ගෞරවය ඇතිව ජීවත්වෙන්න පුළුවන් තැනකට යන්න මම කැමතියි. පියාණන් කතා කළේ බලයෙන් මත්වෙලා.
සේවිකා : ඔබ ඉවසන්න ඕන.
කුමාරි : මට බැරි කාලේ. ඒ කියන්නේ මම පුංචි කාලේ පියතුමා මට හොඳින් ආදරෙන් සලකලා තියෙනවා. ඒකට මම ගෞරව කරන්න ඕන. ඒ නිසා මම ඉවසනවා.
සේවිකා : (සතුටින්) මට නම් පේන්නෙ සෙනෙවි කුමාරයා යුද්ධයෙන් පස්සේ තවත් ලස්සන වෙලා. හරියට ඈත පුරාණෙ හිටපු තේජවන්ත සෙන්පතියෙක් වගේ.
කුමාරි : (උදාසීනව) සේවිකා පුරාණ රජ කාලේ සෙන්පතිවරු දැකලා තියෙනවා ද...?
සේවිකා : දැකලා නැහැ. අහල තියෙනවා.
කුමාරි : ඒ වුණාට කතා කරන්නේ දැකලා වගේ?
සේවිකා : මං එහෙම උපමාවක් කිව්වෙ කුමාරිගෙ පෙම්වතා ගැන නේ. ඔබ ඒකට සතුටු වෙන්න ඕන.
කුමාරි : බොරු වර්ණනාවලට මං කැමති නැහැ.
සේවිකා : අනේ අනේ කුමාරි? සෙනෙවි කුමාරයාගේ නිර්ශීතකමට පෞරෂත්වයට වීරත්වයට මුළු දේශය ම ගෞරව කරනවා. යන යන හැම තැනක දී ම රට වැසියෝ ඔහුට ප්‍රීතිඝෝෂා කරනවා. ඔය ඇහෙනවා ද ....?
(දුරින් මිනිසුන්ගේ ඝෝෂා හඬක් ඇසේ)