සභායෙහි කලබලය මඳක් අඩු වූ පසු කොටි රාළ හාමි කරුනු විමසන්නට වූයේ ය. අලි රාළ හාමි ට වූයේ කිමෙක් ද යනු හේ කිසි සේත් නො දනී. වෙන දන්නා එකෙකු ළඟ ඇති සැටියෙක් ද නො පෙනේ හිවල් හාමි පමණක් මඳ සිනායෙන් යුක්‌ත ව පසකට වී ඉඳී.
සෙසු සියල්ලෝ ම කැලැඹී සිටිති. අන්තිමේ දී කොටි රාළ හාමි සිවල් හාමි ළඟට කැඳවා කරුනු විමැසුයේ ය. " හිවල් හාමි අපේ අලි හාමිට කුමක් වුණා දැ" යි කියන්නට පිළිවන්ද," හිවල් හාමි මුහුණ හරවන්නට වූයේ ය. හිස කසන්නට වූයේ ය. බිම බලන්නට වූයේ ය. කොටි රාළ හාමි ගේ නො ඉවැසිල්ල වැඩි වන්නට වූයේය.
" කියන්න, හිවල් හාමි කියන්න. දන්නා දැයක් කියන්න."
" රාළ හාමි, මට හරියට ම කියන්නට පිළිවන් කමෙක් නැහැ, එහෙත් වට පිට බලා විමසනවා නම් හොඳයි." කවුරුත් වට පිට බලන්නට වූහ. අවතාරයක් වත් පෙනෙන්නට නැත.
" කිමෙක් ද හිවල් හාමි ? ඔබට වට පිට බැලුවාම අවතාර වත් පෙනෙනවා ද ?"
" අනේ රාළ හාමි, වට පිට බලන්නට කීවාම උඩත් බලන්නට එපා යැ ? අර ගස් උඩ ඉන්නා අවතාරය දුටුවේ නැද්ද" සැබැවිනුත් සැබෑවෙකි.
කටුසු හාමි ගසේ උස් අත්තෙක අග සිට සිනා සෙයි. තමා දුටු බව දැන වැඩියෙන් ම සිනාසෙයි. " කටසු හාමි කටුසු හාමි " යයි සභායෙන් නැගුණු මහ හඩ අසා, කොක් හඩලා සිනා සෙයි. අලි රාළ හාමිගේ අවුල දැන සිටි සියල්ලෝ කාරණය හොද හැටි තේරුම් ගත් හ. වෙන වතාවෙක දී නම් සියල්ලවුනට සිනා පහළ වනු නියත ය.
එහෙත් මේ වතාවෙහි වැඩි දෙනාට පහළ වූයේ සිනාව නොවේ. කෝපය යි. අවුරුද්දකට පසු පැමිණි මහා උත්සව දිනය කටුසු හාමි නිසා ඉලවු දිනයක් වැනි වීම
කෝපයට හේතුවක් වනු අරුමයක් නො වේ. කොටි රාළ හාමි වෙවුලන්නට වූයේ ය. හේ කට අයා ගත් වන ම කටුසු හාමි දෙස රවා ගෙන සිටී. දොඩන්නට උත්සහා කරන බව නම් පෙනෙයි.
එහෙත් වචනයෙකුත් මුවින් පිට නො එයි. ඔහුගේ කෝපය එතරම් බලවත් ය. කටුසු හාමි ට සිනාවට මුත් කෝපයට ඉඩෙක් නැත. එ හෙයින් හේ හිස නවා කොටි රාළ හාමිට ආචාර කොට, යළිත් හිස ඔසවා, " ආයිබෝවන් , රාළ හාමි" ය යි කිහිප වරක් ම කීයේ ය.
" වසා පිය, ජඩයා, කට, ගස උඩ සිට අවතාර දක්‌වා අපේ සභාව පාළු කළා මදි ව මෙන් දැන් විහිළු කරන්නටත් එනවා!"
" ඇයි රාළ හාමි, එ පමණ කිපුණේ ? මා කිපෙන්නට තරම් දැයක් කළා යැ ? ආචාර කිරීම විහිළුවෙක් ද ? " ආයිබෝවන් " කීම විහිළුවෙක් ද ?"
" තා වැනි නිවටයකු ගේ ආචාරය, " ආයිබෝවන් " කීම, අපට කුමට ද ? තගේ තරම තා නොදන්නා බවයි වරද ?"
" මා දන්නවා, රාළ හාමි, මගේ තරම. එ පමණෙක් ද ? මා රාළ හාමි ගේ තරමත් දන්නවා."
" තට මගේ තරම දැන් පෙන්වනවා."
" මා දන්නවා රාළ හාමි ගේ තරම, රාළ හාමි නම් රාළ හාමි ගේ තරම දන්නේ නැ. මට රාළ හාමිට කළ හැකි එකම උදව්ව අර අලි රාළ හාමිට කළා වගේ රාළ හාමිට රාළ හාමි ගේ තරම අඳුන්වා දීම යි."
" තෝ ද, බල, මට මගේ තරම හඳුන්වා දෙන්නේ ? තා දන්නේ නැද්ද අලි රාළ හාමිට කළ හරිය කරන්නට බැරි බව ? බලා පිය අලි රාළ හාමි ගේ නාසය වාගේ නො වෙයි මගේ නාසය. එහි තට යන්නට ඉඩ නෑ. "
" රාළ හාමි හිතා ඉන්නේ නාසයේ නොගොස් කිසිවක් කරන්නට බැරිය කියා, ඇයි රාළ හාමි, එසේ සිතන්නේ ? මා කොහි ගියත් කිම, එයින් රාළ හාමි ගේ තරම රාළ හාමිට දැනුණොත් ?"
" නාසයේ යන්නට බැරි හෙයින් තට යන්නට පුළුවන් මගේ කටේ පමණයි. තා එහි ගියත් බය ගන්නට එපා. මා ඉක්‌මණට පිට කරනවා, " තුං තුං " කියා පිටකරනවා."
" තුං තුං කියන්නට වේද, " අනේ අම්මේ ? කියමින් බිම පෙරැලෙන්නට වේ ද යනු රාළ හාමි දන්නේ නෑ. ඉන්න, ඉන්න. වැඩි දවසක් නො යවා රාළ හාමිට මා උගන්වනවා."
" උගන්වාපිය දැන් ම."
මෙසේ කියමින් කොටි රාළ හාමි කටුසු හාමි උන් ගසට නගින්නට වූයේ ය. හිවල් හාමි ඉදිරියට අවුත් රාළ හාමි නැවැත්වී ය. " නිකම් ඉන්න රාළ හාමි, එ බඳු කුඩාවුන් සමඟ පොරට යෑම රාළ හාමිට තරම් නොවේ. දුටුවේ නැද්ද අලි රාළ හාමි ට වුණ කරදරය.?
කොටි රාළ හාමි නො දෙඩුවේය. ඔහුගේ කෝපය දෙඩුවේය.
" කුඩා එකා කුඩා සැටියට සිටිය යුතුයි. අලි රාළ හාමි ගේ නො දැන්මෙන් කරදරයට වැටුණා ට අපි කුමක් කරමු ද, එකකුට ඉඩ දුන් හොත් සියලු කුඩා වුන් එක්‌වී අප වනසනවාට සැක නැ."
මේ අතර කටුසු හාමි ද නිකම් නො සිටියේ ය. අතු අග සිට මෙසේ කීය.
" එන්න, එන්න, රාළ හාමි, මා දුවන්නේ නෑ. රාළ හාමි පිළිගන්න සැරසී සිටිනවා."
මේ වචනය අසා කොටි රාළ හාමි අහසින් යන්නට සැරැසුණේ ය. හිවල් හාමි හරස් විය. කොටි රාළ හාමි ගේ කනට කොඳුරා හේ යම් කිසිවක් කීයේ ය. කොටි රාළ හාමි එයින් සන්සුන් වූ සැටියෙක් පෙණින.
හිවල් හාමි ඉදිරියට පැමිණ කටුසු හාමි දෙසට හැරී දෙඩුයේ ය.
" කටුසු හාමි."
" ඇයි යාළුවා ?"
" ඔබ කියන්නේ අපේ මේ රළ හාමි සමඟ පොරයක් බඳන්නට වුවත් ඔබට පුළුවන් බව ද ?"
" එයත් මහ කාරියෙක් ද හිවල් හාමි ? එහෙනම් දැන් ම ගසින් බැස එනවා."
" හා හා, දැන් එපා. වේලාවක්] නියම කර ගනිමු. මා පසු ව ඔබට කියනවා. ඔබේ නිකන් ම කටේ හපන්කම් ද ? කරන්නට පිළිවන් දේ ද ? යනු අපි බලමු."
" හොඳයි. නියම දාට රාළ හාමි නාවොත් ?"
" එ ගැන මා වග කියනවා. මට පෙනෙන්නේ කටුසු හාමි ගේ කටේ සපන්කම් වාගෙයි. රාළ හාමි කාට ද බය ?"
" කාට වුවත් බය නැති බව කාටත් තේරෙනවා. අර ඌරු හාමිත් කීවා නොවැ ?"
" කමෙක් නෑ දෙඩීමෙන්, මා එනවා රාළ හාමිත් සමඟ. දිනත්, තැනත් පසුව කියනවා. ඔබ එනවා ද ?"
" නගුට අග වත් පණ තිබුණොත් එනවා එනවා ම යි."
මෙතෙකින් දෙඩීම නැවැතිණ. කොටි රාළ හාමි වරින්වරැ ගැහෙන්නට වූ නමුත් හිවල් හාමි ඔහු නළවා ගත්තේ ය. රැස්‌ව සිටියෝ සිය නිවෙස් බලා යන්නට වූ හ.
