උරුම ලද්දෝ (තුන්වන කොටස)
 

සෙනෙවි : දැන් ඔබට තේරෙනවාද යුද්ධය ඕනෑ කාටද කියලා ...?


කුමාරි : ඇයි ඔබට බැරි යුද්ධයට විරුද්ධව කතා කරන්න...?


සෙනෙවි : බිත්තරේ ගලක හැපුණත් ගල බිත්තරේක හැපුණත් වෙන්නෙ එකම දේ.


කුමාරි : මගේ පියාට ඕනෑ විශාල යටත් විජිත ඇති කර ගන්න. අධිරාජයෙක් වෙන්න.


සෙනෙවි : නෑ ඒකම නෙමේ. වැසියන්ගේ අතීත උරුමයන් අනාගත පරපුරට ආරක්ෂා කරලා තියන්නත් පියතුමාට වුවමනා යි. ඒ එක්කම ජනතාවගේ ජීවිතය වඩා සුඛිත මුදිත...


කුමාරි : (බාධා කරමින්) යුද්ධ කරලා ජීවිතය සැපවත් කරන්න බෑ. මල සිරුරුවලට සැප දෙන්න පුළුවන් ද...?


සෙනෙවි : නුවමනා පැහිච්චකම් වලින් ඔළුව පුරවා ගන්න ගෑනියෙක් එක්ක තර්ක විතර්ක කරන්න මම දන්නෙ නැහැ.


කුමාරි : (තදින්) යන්න එපා යුද්ධයට.


සෙනෙවි : ඔබේ පියාගෙ බලාපොරොත්තු ජයග්‍රහණය කරවන්න මං පොරොන්දු වෙලා ඉන්නෙ. මම ඒ පොරොන්දුව ඉෂ්ඨ කරනවා. ඉන් පස්සේ ඔබව දිනා ගන්න එක මට සුළු දෙයක්.


කුමාරි : යුද්ධයක් දිනා ගන්නවා වගේ ගෑනියෙක් දිනා ගන්න බැහැ. ලේසි නැහැ.


සෙනෙවි : (තමාට) ඔබව දිනා ගන්න හැටි මම දන්නවා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන්, හොදින් හෝ නරකින්...(හඬ නගා) ඔබ මට ජයග්‍රහණය පතන්නේ නෑද්ද...?


කුමාරි : (තමාට) කොහොමද මං හිතට විරුද්ධව ඒක කරන්නේ?


සෙනෙවි : හෙට අනිද්ද මරණයට කැප වෙච්ච මිනිහෙක් දිහා බලන්න වගේ ඔබ මා දිහා බලන් ඉන්නේ.



**********************************************************

සේවිකා : (කනගාටුවෙන්) උතුමාණෙනි, දැන් දවස් පහක් වුණා කුමාරි හරියට කෑමක් බීමක් ගන්නේ නැහැ.


පියා : ඇයි මොකද...? ඇයට අසනීපයක්ද...?


සේවිකා : නැහැ. පෙනෙන විදියට නම් අසනීපයක් නැහැ.

පියා : වෛද්‍යවරයා මොකද කියන්නේ....?

සේවිකා : කුමාරි වෛද්‍යවරයා ළඟට යන්න එන්නෙ නෑ

පියා : එහෙම නම් ඇයට අසනීපයක් නැතිව ඇති.

සේවිකා : යුද්ධය නිසා කුමාරි ඉන්නේ හිත් වේදනාවෙන්.

පියා : අපි යුද්ධයෙන් ජය ලබන බව ඇය දන්නේ නැද්ද..?

සේවිකා : උතුමාණෙනි, සමාවෙන්න. මිනිස් ඝාතනයක් කරලා ලබන ජය කුමාරි හෙළා දකිනවා.

පියා : කුමාරි තාම දැරියක්. නුඹ ඇයට කරුණු පැහැදිලි කරලා දෙන්න ඕනෑ. ලෝකය ගැන ඇගේ දැනීම බොහොම ටිකයි.

සේවිකා : උතුමාණෙනි, කුමාරි අප හිතන විදිහෙ ළා බාල බොළඳ තරුණියක් නෙමේ.

පියා : එහෙම නම් ඒක ආඩම්බරට කාරණයක්. ගිහින් ඇයට කියාපන් මම ඇය බලන්න එනව කියලා.

******************************************************

කුමාරි : (තරහෙන්) සේවිකා මොකටද පියාණන්ට මං ගැන කියන්න ගියේ...?

සේවිකා : නොකියා ඉන්නෙ කොහොමද...?


කුමාරි : කට පියාගෙන හිටියම අදහස් පිටවෙන්නෙ නැහැනේ...?


සේවිකා : හරියට කෑමක් බීමක් ගන්නේ නැහැ. අසනීපයක් වුණොත් පියතුමා ඒ ගැන අහන්නෙත් මගෙන්....


කුමාරි : පියාණන් සතුටු වෙන විදිහටවත් සෙනෙවි කුමාරයා සතුටු වෙන විදිහටවත් කෙටියෙන් කිව්වොත් ඔය හැමෝම සතුටු වෙන විදිහට මට සතුටු වෙන්න බැහැ.

සේවිකා : (කරුණාවෙන්) කුමාරි මං කියන දේ ටිකක් අහන්න. ලෝකයේ වැඩි දෙනා හිතන විදිහට හිතන්න පුරුදු වෙන්න.


කුමාරි : වැරදි විදිහට වුණත්.


සේවිකා : ඔව් වැරදි දේකට අනූනම දෙනෙක් කියනවා නම් හරි කියලා. එක්කෙනෙක් වැරදියි කිව්වට ප්‍රයෝජනයක් නැහැ. එහෙම කිව්ව කෙනෙක් දිහා ලෝකයා බලන්නේ අපරාධකාරයෙක් දිහා බලන විදිහට.


කුමාරි : එහෙනම් සේවිකා මං දිහා බලනවා ඇත්තෙත් අපරාධකාරයෙක් දිහා බලන ඇහැකින්.


 

සේවිකා : නෑ මගේ කුමාරි, ලෝකය අපිට ඕන විදිහට කිසිදාක කරකැවෙන්නේ නැත්නම් අපි ලෝකෙට ඕන විදිහට පිනුම් ගහමු. පෙරළෙමු.


කුමාරි : ලෝකේ හදන්න බැරිද කාටවත්?


සේවිකා : මෙච්චර කල් පැවතුණ ඉතිහාසයෙන් ඔප්පු වෙන්නෙ ලෝකේ හදන්න ආපු උතුම් මනුෂ්‍යයන්ට හතුරෝ ගල් පෙරලපු හැටි, කුරුසෙට තියල ඇන ගහපු හැටි, ගමේ රටේ ඉන්න නොදී පන්නාපු හැටි.


කුමාරි : සත්‍ය ජයගන්නවා කියන්නේ බොරු?


සේවිකා : ඔව් ජයගන්නේ සත්‍ය නෙමේ. මුදල්, වස්තුව.


කුමාරි : (කිපෙමින්) සේවිකා ඔබට ලජ්ජා නැද්ද ඔය වගේ බාල කතා මං එක්ක කියන්න?

 
සේවිකා : හොඳයි එහෙම නම් මම ඇත්ත පහදලා නොදී කට වහ ගන්නම්....අන්න කුමාරිගෙ පියතුමා එනවා. එකටෙක කියන්න යන්න එපා...පියාණන්ට තරහ එයි.

(c) Shilpa Sayura Foundation 2006-2017