උරුම ලද්දෝ (දෙවන කොටස)
 

කුමාරි : එහෙනම් සේවිකා කියන්නෙත් පියතුමා අසල්වැසි රාජ්‍ය එක්ක යුද්ධ කරන එක සාධාරණයි කියලා ද...?


සේවිකා : ඔව්.


කුමරි : ඔබ පුදුම ගැහැනියෙක්...


සේවිකාව : ඇයි එහෙම කියන්නේ...?


කුමාරි : ගැහැනියක් හැම වෙලේම යුද්ධය හෙළා දකින්න ඕන...


සේවිකාව : (සරදම් ලෙස) සමාවෙන්න කුමාරි...ඔබට නම් පිස්සු. පිරිමි යුද්ධ කරන්නෙ ගැහැනුන්ගේ ආදරයත් ගෞරවයත් දිනාගන්න....සෙනෙවිතුමා වුණත් පියතුමා එක්ක එකතු වෙලා යුද්ධයට යන්නේ ආදරය දිනාගන්න.


කුමාරි : මම යුද්ධයට කැමති නැහැ. සේවිකා ඔබ මෝඩයි. ලෝකය ජීවත් කරන්නයි ගැහැනිය ඇති වුණේ. යම්කිසි ගැහැනියක් විනාශයට අනුබල දෙනවා නම්, ඈ ගැහැනියක් නෙමේ.


සේවිකාව : ඔබ අසාමාන්‍ය ගැහැනියක් වෙන්න උත්සාහ කරනවා නේද...?


කුමාරි : නෑ...මම ජීවිතයට ආදරෙයි. ගහට කොළට මලට ගඟට මුහුදට මුළු ලෝකෙට ම මම ආදරෙයි.


සේවිකාව : ඇයි බඹරුන්ට සමනළයින්ට..?


කුමාරි : විහිළු කරන්න එපා. මේ විහිළු කරන වෙලාවක් නෙමේ...


සේවිකාව : මේ බණ කියන වෙලාවකුත් නෙමේ...අපේ දේශ සීමාවෙන් වටිනා පුරාවස්තු ගොඩක් මතුවෙලා. රත්තරන් මුතුමැණික් දියමන්ති ආභරණ පුරවපු තඹ හැලි හතක් ඒ අතරේ තියෙනවා...පුරාණ රජවරුන්ගේ බිසෝවරුන්ගේ කුමාරිකාවන්ගේ ආභරණ...ඒවා අයිති අපිට...(තරහෙන්) නමුත් අසල්වැසි රාජ්‍යය ඒවා අයිති කරගෙන. ඉඩ දෙන්න බෑ ඒකට... කෝ අපේ අනාගත පරපුරට අතීතයේ ආශ්චර්යය..? අපි නේද ඒවා ආරක්ෂා කරන්න ඕන...? ඒකයි පියතුමා සෙනෙවි..?

කුමාරි : (බාධා කරමින්) තමන්ගේ මතය නිවැරදියි කියලා ඔප්පු කරන්න ඕන තරම් තර්ක කරන්න පුළුවන්. ධනයෙන් බලයෙන් අහංකාරයෙන් උමතු වෙලා සේවිකාත් කතා කරන්නේ.

*****************************************************

සෙනෙවි : ඔබ යුද්ධයට අකමැති වුණාට ඔබේ පියා...?


කුමාරි : (බාධා කරමින්) ඔබ කියන්නේ මගේ පියා යුද්ධයට කැමතියි කියන එක නේද? මගේ පියාත් ධනයෙන් බලයෙන් උදම් වෙලා....ධනයෙන් බලයෙන් අහංකාර වුණ ඔළුවක් හැම වෙලේම හිතන්නේ තමන් ගන්න තීරණ නිවැරදියි කියලා.


සෙනෙවි : ඔබ විවේචනය කරන්නේ ඔබේ ම පියා ව.


කුමාරි : හරි වැරැද්ද තේරුම් අරන් කතා කරන්න සෙනෙවි.

සෙනෙවි : (තරහෙන්) ඔබයි හරි වැරැද්ද තේරුම් ගන්න ඕනෑ. මම වස්තු තණ්හාවෙන් බලයෙන් උදම්වෙලා යුද්ධෙට යනවා නෙමේ. යුද්ධය ඕනෑ ඔබේ පියාට. මම ඔබට කියන්නම් ඔහු මේ ගැන දරන අදහස.


********************************************************

පියා : (අතීතයෙන්) (අණ කරණ ජඬකින්) මේ යුද්ධයේ දී අපි බලාපොරොත්තු වෙන්නෙ එකම දෙය යි. ඒ මොකද්ද කියලා සෙනෙවි දන්නවා?


සෙනෙවි : විශේෂයෙන් තඹ හැලි හත.


පියා : නෑ තඹ හැලි හත විතරක් නෙමේ. ජයග්‍රහණය, ලැබුණොත් අපිට පුළුවන් අසල්වැසි රාජ්‍ය සේරම යටත් කර ගත්තත්.


සෙනෙවි : (තමාට) මොකද්ද මේ මිනිහාට හැදිලා තියෙන පිස්සුව? මගෙ මුළු ජීවිතයම යුද්ධයට යට කරවන්න ද මෙයා හදන්නේ..?


පියා : වුවමනා කරන හැම දේම ලෑස්තියි. අපිට උදව් කරන්න කැමති රාජ්‍ය හුඟක් තියෙනවා. දැනටමත් දේශ සීමාවෙ අාරක්ෂක භටයෝ යුද්ධය පටන් අරන්. ඔබට තියෙන්නේ ගිහින් නායකත්වය දෙන්න.


සෙනෙවි : මෙච්චර ඉක්මන් තීරණයක් ගැන මං හිතුවෙ නැහැ.


පියා : (ඔහු කියන්න නොතකමින්) අප දැන් ම අසල්වැසි රාජ්‍ය යටත් කරන්න ඕන. ජය මිසක් පරාජය අහන්න මම ලෑස්ති නැහැ. මම හිතන්නේ දේශසීමාවේ සේරම පුරා වස්තු අපේ රාජ්‍යයට අයිති ඒවා. ඒවා ආරක්ෂා කරන එක අපේ යුතුකමක්. හ්ම්....දැන් සෙනෙවිට යන්න පුළුවන්.

(c) Shilpa Sayura Foundation 2006-2017