උරුම ලද්දෝ
 

චරිත


සෙනෙවි
පියා
කුමාරි
සේවිකාව


කුමාරි : ලෝකේ ලස්සන වෙන්නෙ සාමය නිසායි. සාමය ඇත්නම් මිනිස් ජීවිතෙත් ලස්සන යි.


සෙනෙවි : ඇත්ත කුමාරි....නමුත්...


කුමාරි : (බාධා කරමින්) නමුත් කියලා තවත් කියන්න කියන්න දෙයක් නෑ...ඔබ මොනවා කිව්වත් ඒ සත්‍යය බොරු වෙන්නෙ නැහැ කවදාවත්...ම


සෙනෙවි : (ආයාචනා හඬකින්) කුමාරි, මේ අහන්න ටිකක්...අපි මේ ප්‍රශ්නෙ දිහා පලල් විදිහට බලන්න ඕන...ඔබ මීට වැඩිය අවබෝධයකින්.


කුමාරි : (බාධා කරමින්) මං ඔබට ආයෙත් කියන්න කැමතියි. ඔයගොල්ලො ගන්න තීරණ වැරදියි. අපි හැමෝම යන්නෙ සොහොන් බිමෙන් ඉවරවෙන ගමනක්....


සෙනෙවි : (තරහෙන්) සොහොන් බිමෙන් ඉවරවෙන ගමනක් කියලා මිනිහෙකුට ජාතියක්, ආගමක්, කුලයක්, සංස්කෘතියක්, රටක්, රාජ්‍යයක් නැද්ද..?


කුමාරි : ඒ මොනවා තිබුණත් වැඩක් නෑ මිනිස්කමක් නැතිව


සෙනෙවි : (සිනාසෙන හඬින්) පිස්සු කුමාරියක් .... ඔබ දන්නෙ නෑ අපි මේ ජීවත් වෙන්නේ මිනිස්කම සල්ලිවලට ගන්න පුළුවන් යුගයක...


කුමාරි : (වේගයෙන්) ඔබ කතා කරන්නේ වෙළෙන්ඳෙක් වගේ. මං කැමති නෑ වෙළෙන්ඳෙකුට..


සෙනෙවි : ඔබ කතා කරන්නේ සිහින කුමාරියක් වගේ. මට බෑ සිහින ලෝකයක ජීවත් වෙන්න...


කුමාරි : ඔබ කියන්නේ අපි දෙපැත්තට යන දෙන්නෙක් කියලාද...?


සෙනෙවි : එහෙම නොවේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා...


******************************************************

පියා : (උපහාසයෙන්) මෝඩයා....බොළඳ කෙල්ලකගේ ප්‍රේමකතා වලට මුළාවෙලා තමන්ගේ අයිතීන් අමතක කරන්න තරම් නුඹ දුර්වලයි කියලා මං හිතුවෙ නෑ.

සෙනෙවි : (ගෞරවයෙන්) උතුමාණෙනි, කුමාරි ඔබේ දුව... ඈ බොළඳ කෙල්ලක් නෙමේ.


පියා : මගේ දුව වුණත්, වෙන කාගෙ හරි දුවක් වුණත ඇත්ත ඇති සැටියෙන් පිළිගන්න ඕනෑ...තාවකාලික සැනසීමකට සතුටකට ඇය මේ දේශයේ පෞරාණික අයිතීන් බිල්ලට දෙන්නයි හදන්නේ...


සෙනෙවි : නැහැ උතුමාණෙනි.


පියා : (තීරණාත්මකව) කතා කරන්න එපා. අපි අපේ රටේ පෞරාණික අයිතිය රැකගන්න ඕනෑ. දේශ සීමාවෙන් මතුවෙන සේරම වස්තු අයිති අපිට යි. ඒ නිසා අපි කොහොම හරි ඒවා අපට අයිති කරගන්න ඕන.


සෙනෙවි : කොහොම හරි අයිති කරගන්න? කොහොමද ඒ?


පියා : යුද්ධ කරලා.


සෙනෙවි : යුද්ධය ගැන නෙමේ මට දැනගන්න ඕන. අනුන්ගෙ දෙයක් බලෙන් අයිතිකරගෙන.

පියා : සෙනෙවි...සෙනෙවි...කියන්නේ මම මං පහරන පල් හොරෙක් කියලාද...?


සෙනෙවි : නෑ උතුමාණෙනි, අනුන්ගේ දෙයක් තමන් සතු කර ගෙන ඇති ප්‍රයෝජනේ මොකද්ද..?

 

පියා : මෝඩයා මේ මහ පොළොවේ කොච්චර නම් බලවත් රාජ්‍ය අනුන්ගේ උරුම හිමිකම් තමන්ගෙ කරගෙන සතුටෙන් බැබළෙනවා ද..? අපි ඒ බලවතුන්ට දණ නමන්නෙ නැද්ද...? ගෞරව කරන්නේ නැද්ද..?


සෙනෙවි : නමුත් මේ මිනිස් ඝාතනය...?


පියා : යුධ පෙරමුණක නායකයෙක් යුද්ධය හෙළා දකිනවා නම් නිල ඇඳුම් ගලවලා තියලා ගෙදර යන්න පුළුවන්. (අවවාදයක් ලෙස) හැබැයි එකක් මතක තියා ගන්න ඕන, මම මගේ දුව විවාහ කරලා දෙන්නේ නිර්භීත මිනිහෙකුට....


 

සෙනෙවි : ඒක ඔබේ කැමැත්තක් මම යනවා....


පියා : (තමාට) ඔහ් සෙනෙවිට තරහ ආවා. වේගෙන් යනවා. මගේ දුව තමා මේ මිනිහගෙ ඔලුව නරක් කරන්නේ. හොඳයි...බලමු වෙන්නෙ මොකද කියලා...?

(c) Shilpa Sayura Foundation 2006-2017