බිරිඳ - (පුදුමයෙන් බයෙන්) තාත්තා බලවත් දේශපාලනඥයෙක් ද?
දෙවියා - ඊට වඩා නරක කෙනෙක්.
බිරිඳ - උපදේශකයෙක්ද?
දෙවියා - නැහැ, උපදේශකයන්වත් දණ ගස්සන කෙනෙක්.
බිරිඳ - හරි...හරි...මට තේරුණා පාතාලයෙක්...
දෙවියා - පාතාලයටත් ආශිර්වාද කරන කෙනෙක්.
ගොවියා - (දමනාපයෙන්) තාත්තා කෙනෙක්ගෙ රැකවරණ ආදරය නැතුව අවාසනාවන්ත මවු කුසකින් ලෝකයට බිහිවුණ පළමු මිනිහා ඔබ නෙමේ මිත්‍රයා. කණගාටු වෙන්න එපා. මිනිහෙක් ශ්‍රේෂ්ඨ වෙන්නෙ උපතින් නෙමේ ක්‍රියාවෙන්. යහපත් දේම කරන්න. දයාවෙන් ලෝකය බලන්න. කරුණාවෙන් ඇහුම්කන් දෙන්න.
දෙවියා - (ඇඩුම්බරව) මං ඔය කියන සේරම දේවල් කළා. ඒත් අතරමැදියො මාව කෙළෙසුවා. මාව විකුණුවා. ඔබ කියන ඔය වෙළෙඳපොළ ආර්ථිකයෙ මගේ අභිමානයත් මිල කළා.
ගොවියා - සේරටම මුල නුඹ නුබේ වටිනාකම තේරුම් නොගැනීම කියලයි මට හිතෙන්නෙ...නුඹේ උත්පත්තිය මොන ආකාරයෙන් වුණත් අපි ඒක හැල්ලුවට ලක් කරන්නෙ නැහැ. කරුණාකරලා ඔය කඳුළු පිහදාගෙන මට කියනවා බලන්න ඔහේගෙ උත්පත්තිය ගැන.
දෙවියා - මට බයයි. මං මේ ලෝක ධාතුවට ම බයයි. මම අම්මෙක් නැති එකෙක්. කානු පල්ලක හරි අම්මා කෙනෙකුගේ කුසෙන් උපන්නොත් වටිනා කමක් තියෙනවා.
ගොවියා - මහේ මේ අලුත් මෝස්තරේ නල බබෙක්ද..? නැත්නම් ජාන තාක්ෂණයෙන් උපන් පිටපත් බබෙක්ද..? මොකා වුණත් කමක් නැහැ කියනවා කවුද ඔහේ...?
දෙවියා - ඔහේ මාව අත්අඩංගුවට ගන්නවා ද..?
ගොවියා - නැහැ.
දෙවියා - මාව පොලිසියට අල්ලලා දීලා තෑග්ගක් ගන්න හිතනවා ද...?
ගොවියා - නැහැ. කොහෙත්ම නැහැ. පොලිස් රාළහාමිගෙන් මං එහෙම කතාවක් ඇහුවෙ ඔහේගෙ වගතුග හොයා ගන්න.
දෙවියා - මාව බළල් අතක් විදිහට පාවිච්චි කරලා අයුතු ලාභ ප්‍රයෝජන ගන්නවාද...?
දෙවියා - මාව බළල් අතක් විදිහට පාවිච්චි කරලා අයුතු ලාභ ප්‍රයෝජන ගන්නවාද...?
ගොවියා - (තරහෙන්) නැහැ...නැහැ...නැහැ...බළල් අතකින් මං කුඹුරු කොටන්න ද...?
බිරිඳ - (කරුණාවෙන්) ඔච්චර තරහ ගන්න එපා. මේ අසරණයා බයෙන් දුකෙන් හෙම්බත් වෙලා.
ගොවියා - මොකටද බය වෙන්නෙ...? මොකටද දුක් වෙන්නෙ...? කාටත් දුෂ්කර අවස්ථාවලට මුහුණ දෙන්න වෙනවා. අපි වැටුණේ නැද්ද...? ඒත් අපි නැගිට්ටෙ නැද්ද...? පරාජය භාර අරන් මේ විදිහට කඳුළු හලන එක ලජ්ජාවක්.
බිරිඳ - (තරහෙන්) සතා සිව්පාවා ට විතරක් නෙමේ ගහට කොළට, ගඟට මුහුදටත් ආදරය කරන ගොවියෙක් ඔහේ. මට නම් හිතාගන්න බැහැ කවුද ඔහේගේ කරුණාව හොරකම් කර ගත්තේ කියලා?
ගොවියා - මේ අවුරුදු පහළොවෙ කෙල්ල කාලෙ මට කියපු කතා ආයෙත් පටන් ගන්නද හදන්නෙ...?
බිරිඳ - ඔව්. ඔහේ මට තාමත් අවුරුදු දහ අටේ කොල්ලෙක්.
ගොවියා - (මෘදු තරවටුවක්) කට...කට...රටේ ලෝකෙටත් ඇහෙනවා. එක අතකට ඔහේ හරි. අර අරයා බොහොම දුකෙන්. හැබැයි කවුරු වුණත් යහපත් මිනිහෙක්. බත් නොකෑවේ සුවඳින් බඩ පිරෙනවාට නෙමේ අපිට මදි වෙයි කියලා.
දෙවියා - මං මිනිහෙක් නෙමේ. මාව තේරුම් ගන්න.
ගොවියා - මිත්‍රයා, නුඹ අපේ කාලේ නාස්ති කරනවා. නුඹ කවුරු වුණත් මට කමක් නෑ. මගෙන් නුඹට යම් උදව්වක් උපකාරයක් ඕනෑ ද..?
දෙවියා - ඔබට මගෙන් නිදහස් වෙන්න ඕන වෙලා..?
ගොවියා - ඔව් ඇත්තෙන් ම.
දෙවියා - නිදහසේ වටිනාකම ඔබ දන්නවා. මාත් ඒකයි හිර ගෙදරින් පැන්නෙ.
ගොවියා - අන්තිම වතාවටයි අහන්නේ කවුද ඔහේව...හිර කළේ..?
ගොවියා - අන්තිම වතාවටයි අහන්නේ කවුද ඔහේව...හිර කළේ..?
දෙවියා - (ශෝකයෙන්) මං කිව්වෙ කපුරාලයි, පූසාරියි, පූජකයොයි එකතු වෙලා මාව හිර කළා.
බිරිඳ - (තරහෙන්) ඔහේ දේවාල, කෝවිල්, පල්ලි, පන්සල් කොල්ලකන්න ඇති...? චිහ් විතරක්. මේ වගේ නිධන් හොරු නිසා ආගම විනාශ වෙනවා.
දෙවියා - ආගම කියන්නෙ වස්තුවක් ද?
බිරිඳ - තව පණ්ඩිතකම් කියවන්නත් පටන් ගත්තා. අනේ මේ? මේ යකා එළවලා දාන්න.
දෙවියා - මං යකෙක් නෙමේ. මට වැඩිය යකා හොඳයි.
බිරිඳ - යකා හොඳයි කියන මේකා මොකාද...?
ගොවියා - දෙන්නාම ඔය තර්ක විතර්ක නතර කරගත්තොත් හොඳයි. දැයියො එක්ක පැටලෙන්නෙත් යකා එක්ක පැටලෙන්නෙත් කාන්තා පක්ෂය තමා. ඕවා ඔහෙට පුරුදු නැති වුණාට මට පුරුදුයි. හොඳයි දැන් ඉතින් ඔහේ ඔහේගෙ නිදහස හොයා ගෙන යන දේවාලෙක යනවා.
දෙවියා - (මහ හඬින් වැලපෙමින්) අනේ ගොවිරාලේ මාව දේවාලෙකට නම් දක්කන්න එපා. ඒ හිර ගෙදරින් මම පැනලා ආවේ අමාරුවෙන්. අවුරුදු දාස් ගණනක් තිස්සේ, කල් බලලා කල් බලලා අමාරුවෙන් එළියට පැන්නා.
ගොවියා - (තමාට) අවුරුදු දාස් ගානක් තිස්සේ...? අමුතු කතා කියනවා. හිමාල වනයේ හිටපු ඉසිවරයෙක්ද මන්දා. අන්තිම වතාවට එක ප්‍රශ්නයක් අහනවා... මිත්‍රයා, නුඹ ගැන මට දුකයි. නිදහස නැති ජීවිතයකින් පලක් නැහැ. ඒත් නිදහස දෙපතුල ළඟට එන්නෙ නැහැ. නුඹ නුඹේ නිදහස හොය ගෙන පලයන්. දැන් ඉතින් මම කුඹුරට යන්නද..?
දෙවියා - එතකොට මගෙ උත්පත්තිය...?
ගොවියා - ඒකෙන් මට වැඩක් නෑ...
දෙවියා - වැඩක් තියෙනවා. දැන් මහන්සියෙන් ජීවත්වෙන අය මං ගැන දැන ගන්න ඕන. මාව ලෝකෙට පත්පාද කළේ
බිරිඳ - කවුද..?
බිරිඳ - කවුද..?
දෙවියා - කපුරාලයි, පූජකයයි, පූසාරියි. අම්මෙක් අප්පෙක් නැති අනාථයෙක් විදිහට උන් මාව උප්පාද කරලා දිළිසෙන සළුපිළි අන්දවලා? සූසැට අභරණ පළන්ඳවලා පූජාසනේ උඩ හිටෙව්වා. හතර වටේට දැල් ගැහුවා. ඊට පස්සේ මොන ක්‍රමයකින් හරි මිනිස්සුන් ට මාව විකුණ විකුණා හම්බ කළා.
බිරිඳ - (තරහෙන්) දෙවියො කෝප වෙන කතා මේ.
දෙවියා - දෙවියො කෝප වෙනවා නෙමේ. ශෝක වෙනවා. තැරැව්කාරයෝ වගේ අතරමැදියො වගේ පූජකයො කපුරාලලා, පූසාරිලා මාව විකුණන එක මට ඉවසන්න බැහැ තවත්. තක්කඩියන්ගේ පුතෙක් වුණ තරමට ම මටත් බෑ තවත් තක්කඩිකම් කරන්න.
ගොවියා - (හඬ දී සතුට ප්‍රකාශ කරමින්) හරියට හරි. දෙවියෙක් වුණත් කොණ්ද පන තියෙන්න ඕන. ඔන්න ඔහොමයි වැඩ කරන්න ඕන.
බිරිඳ - (තරහෙන්) ඔහේත් එහෙනම් දෙවියන් යදින්නෙ? කුඹුරට බහින්නෙ අහසට පොළොවට වැඳලා? තව අහංකාර කතා...?
ගොවියා - (බාධා කරමින්) කවුද දෙවියො නැහැ කියන්නෙ? අහස පෝළෝව ඉර හඳ තාරකා කඳු, ගංගා, අව්ව, වැස්ස, සුළඟ අපට දෙවියෝ. අම්මා තාත්තා ගුරුවරු අපට දෙවියෝ. කවුද දෙවියෝ නැහැ කියන්නෙ.....?