බිරිඳ - පොලිස් රාලහාමි අයියණ්ඩි අල්ලා ගන්න එනවා ද කියලා මම හොඳට ම බය වුණා.
දෙවියා - මොකට බය වෙන්නද?
බිරිඳ - හිර ගෙදරින් පැනලා ආපු අපරාධකාරයෙක් වහන් කරන් තියා ගන්න එක දඬුවම් ලැබිය යුතු වරදක්.
දෙවියා - එහෙමද..?
බිරිඳ - ඔව්, ඒ අතින් අපේ මිනිහා අයියණ්ඩිට කළේ ලොකු උපකාරයක්.
දෙවියා - එහෙම නම් ඉතින් අර විශාල දියවන්නා බංගලාවෙ ඉන්න විශාල අයට විශාල දඬුවම් දෙන්න එපා යෑ...? අපරාධකාරයොයි, අපරාධකාරයො ආරක්ෂා කරන අයයි මොන තරම් නම් ඒ බංගලාවල ඉන්නවද...?
බිරිඳ - අපි ඔය අනුන්ගෙ ගෙවල් වලට ජනේලයෙන් එබිලා බලන්නෙ නැහැ අයියණ්ඩි. ඒ වැඩේට අපේ මනුස්සයා තදින් ම විරුද්ධයි. හැම දේ ම මූණට. හැම දේ ම මහ දොරින්, එළිපිට, ඇඟ පතින් පුංචි වුණාට අපේ මිනිහා යකෙකුටවත් බය නැහැ.
දෙවියා - සාමාන්‍යයෙන් ගොවියා අවංකයි. දහදිය මහන්සිය ඇඳුනනවා. ඒකමයි, මම මේ පැත්තට හැරුණේ....
බිරිඳ - ඇත්තට ම අයියණ්ඩි ඔබ කවුද? අපරාධකාරයෙක් කියලා මූණෙන් නම් කියන්න බැහැ. දුප්පත් පවුලක වෙන්නත් බැහැ. අම්මලා කසාදෙට විරුද්ධ නිසා ගෙදරින් පැනලා යන ගමනක්ද?
දෙවියා - ඕවා ආදි කාලෙ මෝස්තර කතා. දැන් අම්මා තාත්තා නෙමේ මහා බ්‍රහ්මයා විරුද්ධ වුණත් කොල්ල කෙල්ලව බඳිනවා, බඳින්න ඕන නම්...මං ඔය ප්‍රශ්න හොඳට දැකල පුරුදු කෙනෙක්...
ගොවියා - (සතටෙන්) පොලිසියෙන් ආව නිසා ජාකෝලිස්කාරයා එයාගෙ හරක් දෙන්නාව ඇඳගෙන ගියා. පොලිසියෙ ඇත්තන්ට ඉඳහිට හරි මෛත්‍රි හිතක් පළ වෙන එක ලොකු දෙයක්. (හඬ නගා) මේ ඔහේට ඇහෙනවද? අපේ අමුත්තාට කන්න දුන්නා ද?
බිරිඳ - අයියණ්ඩි කෙසෙල් කොළේ තිබුණ කෑම ටිකට ඉව ඇල්ලුවා, සුවඳ බැලුවා, බඩ පිරුණා කිව්වා.
ගොවියා - හත් අවුරුද්දකින් වතුර උගුරක් නොලැබුණා වගේ හතර හන්දි පණ නැතිව පැලට ගොඩ වුණේ.
දෙවියා - ඇත්ත, ඒත් මං ජීවත් වෙන්නෙ සුවඳ ආඝ්‍රාණය කරලා. නඟාගේ කෑම සුවඳයි. කන්න ඕනෙ නැහැ. සුවඳක් නැතිනම් තමා කිඹුලා කිරි මැටි ගිලිනවා වගේ ගිල දාන්න ඕන.
බිරිඳ - අයියණ්ඩි ආහාරවල සුවඳින් ජීවත්වෙන්නෙ දෙවිවරු නේද..?
ගොවියා - එයා ඕන සංවිධානෙකට බැඳිද්දෙන්. මගේ දේව මිත්‍රයා, අපි වෙළෙඳ පොළ ආර්ථිකයේ ස්ත්‍රි මිල ගැන කතා කරමු..මොන කෙහෙල්මල් ආර්ථික වෙළෙඳ පොළේ හරි ස්ත්‍රිය ස්ත්‍රීත්වයේ අගය තේරුම් නොගත්තොත් එයාට මිලක් නියම වෙනවා. ස්ත්‍රිය දැනගන්න ඕනෑ තමාට අගයක් තියෙන බව. දියණියක්, සොහොයුරියක්, පෙම්වතියක්, බිරිඳක්, මවක් විදිහට තමා මේ ගින්නෙන් දැවෙන ගිනිගත් ලෝකයට අමා වැස්සක් බව ස්ත්‍රිය තේරුම් ගන්න ඕන.
බිරිඳ - මං කවදාවත් ළමයින්ගෙ තාත්තගේ හිත රිදෙන වචනයක් කියලා නැහැ. මං ලේ කිරි කරලා පොවලා ඔහේගෙ දරුවෝ පස් දෙනෙක් හදලා දුන්නා. දරුවෝ කුසේ තියාගෙන හිටපු කාලෙත් මමයි ඔහේට බත ඉව්වේ ..අයියෝ...
ගොවියා - මං ඒවට ගෞරව කරනවා. ඒක තමා අපි දෙන්නාගෙ සංසාර බැඳීම.
දෙවියා - මාතෘත්වයට නම් මගේත් ලොකු ගෞරවයක් තියෙනවා. සෙනෙහස නිසා ලේ කිරිවෙලා, ලස්සන ගබඩාවක තැන්පත් වෙලා ළදරුවාගේ කුස පුරවන කොට අවට තියෙන කඳු, ගංගා, අහස, පොළොව, ගස්වැල් විතරක් නෙමේ බංකු පුටු, අල්මාරි, ඇඳන් පවා අම්මාට හිස නමනවා.
බිරිඳ - (තමාට) පව් දෙයියනේ, ඒ කතාව කිව්ව ලස්සන. අනේ මගේ ඇස්වලට කඳුළුත් එනවා. (හඬනගා) අයියණ්ඩි ඔබේ අම්මා කවුරු වුණත් එයා උතුම් කාන්තාවක්.
දෙවියා - නැහැ. ඒතරම් සංවේදි උත්පත්තියක් මට නැහැ. මාව ලෝකෙට බිහි කළේ මහා පව්කාර, තක්කඩි, බොරුවෙන් ම ජීවත්වන අධමයෝ.