චරිත
ගොවියා
දෙවියා
පොලිස් රාළහාමි
බිරිඳ
ගොවියා - (තමාටම-විඩාපත් හඬින්) මද්දහනත් වෙච්චි. ඒත් කෝ මේ මනුස්සයා...? තාමත් නැහැ...? (අනුකම්පාවෙන්) එක අතකට ඒ මනුස්සයටත් ඒක වැඩක් යෑ..? වැඩ දාහක්. ළමයි, ගේ දොර, වත්ත පිටිය, ඉවුම් පිහුම්, ඇඳුම් පැළඳුම්, පොළට කඩේට...ඕවාත් අනිවාර්යයෙන් සිද්ධ වෙන්න ඕන දේවල්නෙ. මම උදේ හිට රෑ වෙනකන් කුඹුරෙ. කොරටුවෙ. (ඈතින් යමක් දැක) ඕ...එනවා වගේ...(තරමක් සිනාසෙමින්) යන්තන් ඡායාව දැක්කත් සා පිපාසා සංසිදුනා වගේ...සංසාර බැඳීමක්...(බලාපොරොත්තු කඩ වී) මේ වෙන කවුද...?ළමයින්ගෙ අම්මා නමේ...එන්නෙ නම් මේ පැත්තට
දෙවියා - (ආචාරශීලිව) සමාවෙන්න කරදරයක් නම්..මට පැන් ටිකක් දෙන්න පුළුවන්ද...?
ගොවියා - පැන් කිව්වෙ වතුර ද...?
දෙවියා - ඔව්. මට මහන්සියි. පිපාසයි.
ගොවියා - දෙන්නම්...ඕන තරම් දෙන්නම්... ආ බොන්න... හැබැයි පොල් කට්ටෙන් තමා ... බොන්න වෙන්නෙ.
දෙවියා - (වතුර බොයි)
ගොවියා - පුදුම පිපාසයක්නෙ තිබිල තියෙන්නෙ...?
දෙවියා - ඔව් ඇත්තට ම. ඔබට පිං
ගොවියා - ඉතින් ඇයි මග දී කාගෙන් හරි, කඩේකින් හරි වතුර ටිකක් ඉල්ලා නොගත්තේ..?
දෙවියා - ඒ කිසිම කෙනෙකුගෙ මුහුණ බලලා උදව්වක් ඉල්ලා ගන්න මට හිතුනේ නැහැ.
ගොවියා - අපූරු කතාවක්, එකිනෙකාගේ උදව් උපකාර නැතිව කොහොමද අපි ජීවත් වෙන්නෙ...?
දෙවියා - ප්‍රශ්නෙ නම් ගැඹුරුයි. ඒත් මට ඒක ප්‍රශ්නයක් නෙමේ. මගේ ප්‍රශ්නෙට උත්තරයක්...
ගොවියා - (තමාට) පිස්සෙක් ද...? ත්‍රස්තවාදියෙක් ද...? දාර්ශනිකයෙක් ද...? මගේ ප්‍රශ්නෙට උත්තරයක්....
දෙවියා - (සැහැල්ලුවෙන්) ආදරණීය මිත්‍රයා, මම පිස්සෙක් ත්‍රස්තවාදියෙක් දාර්ශනිකයෙක් නෙමේ. අවුරුදු දහස් ගණනක් තිස්සේ සිරගෙදරක ජීවිතය ගත කරලා අමාරුවෙන් නිදහස ලබා ගෙන හැංගෙන්න තැනක් හොයන කෙනෙක්.
ගොවියා - (කලබලයෙන්) අනේ දෙවියනේ මේ මොන වින්නැහියක්ද අපට වෙන්න යන්නෙ...? අපරාධකාරයෙකුට රැකවරණ දුන්නා කියලා අපි රාජ උදහසට ලක්වේවි.
දෙවියා - නෑ. නෑ. කලබල වෙන්න එපා. සිරගෙදර ඉඳගෙනත් මම අප්‍රමාණ මනුෂ්‍ය සංඛ්‍යාවකට පිහිට වුණා. දුකට සැපට, ගමනට බිමනට, විභාගෙට විවාහෙට...කියලා වැඩක් නැහැ. මට දැන් ඕනෑ ඒ සේරම අමතක කරන්න.
බිරිඳ - අනේ...අනේ මං බැලුවා ළමයින්ගේ තාත්තා අද පේන්න නැත්තෙ ඇයි කියලා...? පැලට වෙලා යාළුවෙක් එක්ක ලොකු කයියක්. බඩගිනි නැද්ද අද...?
ගොවියා - බඩගිනියි...බඩගිනියි. මේ අපේ මිත්‍රයාටත් කෑම ටිකක් දෙන්න ඕන...
බිරිඳ - (කනගාටුවෙන්) කන්න තියෙනවා. ඒත් රස ද මන්දා? රතු කැකුළු බතුයි, පොල් සම්බෝලයි. බෑඳපු කරවලයි.
දෙවියා - එහෙම කෑමක් මං ජීවිතේට කාලා නැහැ
ගොවියා - (අමනාපයෙන්) හිර ගෙදරදී කෑවෙ, හැම් බේකන්, චීස් බීස් ද...? සමාවෙන්න ඕන..මෙහෙ ඒවා නැහැ.
දෙවියා - මං චීස්, බීස්, හැම් බංකන් ඉල්ලුවා නෙමෙයිනෙ. මට පුරුදු පලතුරු, රසකැවිලි, තැඹිලි, කුරුම්බා....
ගොවියා - කුඹුර මායිමේ තැඹිලි ගහක් තියෙනවා. බත් කාලා පස්සේ තැඹිලි ගෙඩියක් බොමු. මේ මට ඔහේගෙන් ආ...නැහැ...මහත්මයාගෙන් වැදගත් කාරණයක් අහගන්න තියෙනවා.
දෙවියා - අහන්න, දන්න දෙයක් නම් කියන්නම්.
ගොවියා - මහත්තයා කරන්න ගිය මන්ත්‍ර ගුරුකමක්, බලියක්, තොවිලයක්, හූනියමක් වැරදිලා ප්‍රශ්න ඇති කරගෙන හිරේ විලංගුවේ වැටුණ කෙනෙක්ද...?
බිරිඳ - (තමාට) මොකක්...මේ මිනිහා හිරෙන් පැනලා යන කෙනෙක් ද....? පලතුරු කකා, කැවිලි කකා, තැඹිලි බිබී හිරබත් කන්න සුළුපටු කෙනෙකුට බැහැ.
දෙවියා - ගොවි මහත්තයාගෙ ප්‍රශ්නෙට හාමිනේට බය හිතිලා. කාන්තාවෝ, කොහොමත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හදි හූනියම් වලට බයයිනෙ. මම එහෙම අයටත් පිහිට වෙලා තියෙනවා.
බිරිඳ - අනේ එහෙම නම් කොච්චර ලොකු දෙයක් ද? මටත් ඒ වගේ පිහිටක් ඕන. අපේ හතුරෙක් මෙයාට හූනියකම් කරලා...
ගොවියා - (තරවටුවෙන්) ඒ සැරේ මොකද්ද ළමයින්ගෙ අම්මාට හැදුණ පිස්සුව...? නිශ්ශබ්දව ඔය කෑම ටික බෙදලා ගත්තා නම් (දෙවියාට) හුරතල් විහිළු කතා වැඩක් නැහැ. ඇත්තටම ඔහේ හිර දඬුවම් වින්දෙ මොන වරදකට ද...?
බිරිඳ - (දයාවෙන්) කාගෙ හරි ප්‍රශ්නෙකට සෙත් කවියක් කියන්න හැදුවම විරුද්ධකාරයෝ අංචි අදින්න ඇති. එහෙම නේද අයියණ්ඩි...?
ගොවියා - (සැරෙන්) ආයෙත් කට දැම්මා. මේ මිත්‍රයා අපේ හාමිනේට සාස්තර යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කිව්වොත් ඊට වැඩිය දෙයක් නෑ.
බිරිඳ - (අහංකාර ලෙස) හරියට ඒවායින් තමාට පලක් ප්‍රයෝජනයක් වුණේ නැහැ වගේ....කට වරද්දගන්න එපා දෙයියනේ....
දෙවියා - (තමාට) මෙයා මට ද දෙයියනේ කිව්වේ? වෙන්න බැහැ. (හඬනගා) මේ ගොවි මහත්තයා, මගේ දැනීමේ හැටියට නම් මිනිහෙකුගෙ බලවත් සෙත් කවියක් දුර්වල වස් කවියක් බිරිඳ.
බිරිඳ - ඔය ඉතින් ඕවාට කතා නොකර ඉන්න පුළුවන්ද...? මිනිගෙ වස් කවිය ගෑනිලු.
දෙවියා - මං කිව්වනේ සෙත් කවියක්...
පොලිස් රාළහාමි - (උස් හඬින්) කවුද පැලේ...? ඉන්න කෙනෙක් එළියට ආවා නම්.
බිරිඳ - පොලිස් රාලහාමි කෙනෙක්...මහා විනාශයක් වෙන්නයි යන්නේ. කවුරු හරි ඔත්තුව දෙන්න ඇති හිරකාරයෙක් අපේ පැලට රිංගුවා කියලා. ඕවා නම් ජාකෝලිස්ලගෙ වැඩ. ඒ මිනිහා තමා අපට හතුරුකම් කරන්න බලාගෙන ඉන්නෙ...අනේ දෙයියනේ මගේ අහිංසක ස්වාමි පුරුෂයා, උන්දෑව කුදලාගෙන ගියාම කවුද මේ කිරි වැදීගෙන එන ගොයම ආරක්ෂා කරන්නේ...? මහා අපල කාලයක්...
පොලිස් රාලහාමි - පැලේ කවුරුත් නෑ වගේ. අපිට මොකෝ අපි යමු.
ගොවියා - සමාවෙන්න ආයුබෝවන් අපි මේ බත් කටක් කන්න කියලයි හැදුවේ...? මොකද දන්නෙ නැහැ කුඹුරටම ගොඩ වැදුණ කාරණාව...?
පොලිස් රාලහාමි - කුඹුරෙ එහා කෙළවරට හරක් දෙන්නෙක් පැනලා. අපි එළවලා දැම්මා. සමහර විට ආයෙ උන් ඒවි.
ගොවියා - ඔබතුමාට බොහොම පිං. මටත් පොඩි කාරණයක් දැනගන්න තියෙනවා.
පොලිස් රාලහාමි - මොකද්ද..?
ගොවියා - රටේ ලොකු අපරාධකාරයෙක් හිර ගෙදරින් පැනලා ඇවිත් රට පුරා කරක් ගහනවාලු.
පොලිස් රාලහාමි - එක් කෙනෙක් නෙමේ සිය දහස් ගානක්. ඒවාට ඉතින් වග කියන්න අපි බැඳිලා නැහැනේ.
ගොවියා - සමහර විට අල්ලලා ගෙනත් දුන්නොත් ලොකු ගානක් දෙනවා ඇති.
පොලිස් රාලහාමි - (තරහෙන්) මිනිහො, උඹ උඹේ වැඩක් බලා ගනින්, හොරු අල්ලන්න..? හොරු අල්ලන්න උඹට තියා අපිටත්
ශක්තියක් නැහැ. බලයකුත් නැහැ. ඉහළින් ඉන්න අය ඒ අයට පිහිට වෙනවා.
ගොවියා - ඉහළින් ඉන්නෙ දෙවිවරුනෙ රාලහාමි..?
පොලිස් රාලහාමි - දෙවිවරු...? මේ මම උඹෙන් ප්‍රශ්නයක් අහන්නද..?
ගොවියා - මගෙන්...?
පොලිස් රාලහාමි - ඔව් උඹෙන්. කියාපන් මට, උඹේ කන්අඩිය හොඳට තියෙනවා ද...?